Home » මම ඩයස්ගෙ නංගි නෙවෙයි

මම ඩයස්ගෙ නංගි නෙවෙයි

Mrs.Sri Lanka World කිරුළේ හිමිකාරිය ඉෂාදි අමන්දා

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

– Best Personality, Face Of The Year, Best Photogenic මිනි ටයිට්ල් තුනත් එක්ක මං Mrs Sri Lanka world ජයග්‍රහණය කළා
– මේ වගේ ජයග්‍රහණත් එක්ක ගොඩක් අයට ලැබෙන්නෙ බෑඩ් කමෙන්ට්ස් වුණත් මට ඒක හොඳ පැත්තට වුණා

චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ කැලීන් විවාහක රූ රැජන -2024 තරගය නිමාවට පත්වූවේ මෙවර කිරුළ ඉෂාදි අමන්දා සතු කරමිනි. ලබන වසරේ අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජන තරගය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ඇය ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකේය කාන්තාවක් වීම ද විශේෂත්වයකි. කුඩා කල පටන් රූපලාවණ්‍යය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඉෂාදි ලෝක විවාහක රූ රැජන කිරුළ ද උපන් බිම වෙත ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

“මං ප්‍රංශයේ පදිංචියට යන්නෙ පුංචි කාලෙදීමයි. පුංචි කාලෙ ඉඳන්ම මං බියුටි පැජන්ට්වලට ආස නිසා අම්මලා මාව රූපලාවණ්‍යය පැත්තට වගේම ෆැෂන්වලටත් යොමු කළා. මං මුලින්ම බියුටි පැජන්ට් එකක් ජයග්‍රහණය කරන්නේ 2009දී. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රංශයේ පැවැති Ms. South Asia පැජන්ට් එකට ඉදිරිපත් වෙලා. ඒ වගේම Ms. Sri Lanka Europe පැජන්ට් එකේ අවසන් පස්දෙනා අතරට ආවා. ඒ මං විවාහ වෙන්නත් කලින්. ගොඩක් දෙනාගේ ඉල්ලීම් තිබුණා Ms. Sri Lanka පැජන්ට් එකට ඉදිරිපත් වෙන්න කියලා. එදා මට හිතුණා මේ ඒකට වෙලාව නෙවෙයි කියලා. විවාහ වුණාට පස්සේ මගේ බියුටි පැත්ත ගැන ආත්ම විශ්වාසය වැඩි වුණා. බබා ලැබුණට පස්සේ තවත් වැඩි වුණා. ඔය අතරේ මට දිවිතුරා ටෙලි නිර්මාණයේ ශයිනිගේ භූමිකාවට පණ පොවන්න අවස්ථාවක් ලැබුණා. එතැනදිත් ගොඩක් දෙනා කිවුවා Mrs. Sri Lanka ඇප්ලයි කරන්න කියලා. විවාහ වෙන්න කලින් ඉඳන්ම ලැබුණු ඉල්ලීම් ගැනත් සලකා බලලා මං තීරණයක් ගත්තා. මං චන්දිමාල් සර්ට ඊමේල් කළා. ෆේස්බුක් හරහා මැසේජ් කළා. ඒත් ඒ වෙලාවේ කිසිම පිළිතුරක් ලැබුණෙ නැහැ. අන්තිමට මං ඩිරෙක්ට් ඔහුට මැසේජ් කරලා අයැදුම් කළා. ගිය අගෝස්තුවල ඔඩිෂන් තියාවි කියල හිතලා වැකේෂන් එකේ මහත්තයයි පුතයි එක්ක ලංකාවට ආවා. ඒත් පළමුවැනි ඔඩිෂන් එක තිබුණේ ඔක්තෝබර්වල. සතියක් ඇතුළත තීරණය කරලා මං තනියම ලංකාවට ආවා. මාස එකහමාරක විතර කාලයක් පුහුණුවීම් කළා. ලොකු කැපකිරීමක් කරලා ගොඩක් මහන්සි වෙලා දැඩි විශ්වාසයකින් Mrs. Sri Lanka පැජන්ට් එකට සහභාගි වුණා. Best Personality, Face Of The Year, Best Photogenic මිනි ටයිට්ල් තුනත් එක්ක මං Mrs. Sri Lanka world ජයග්‍රහණය කළා. ඒත් එක්කම අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විවාහක ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාවත් හිමිවුණා. ඒ සඳහා මේ වනවිටත් චන්දිමාල් ජයසිංහ, රුක්මාල් සේනානායක ඇතුළු ජාතික පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබනවා.”

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වීම නිසා මුහුද තේමා කරගනිමින් පවනී විසින් නිර්මාණය කරන ලද ඉෂාදිගේ නැෂනල් කොස්ටියුම්හි අපූර්වත්වය ද මෙම ජයග්‍රහණයට සෘජු සාධකයක් වන්නට ඇතැයි සිතේ. Mrs. Sri Lanka World කිරුළ වෙනුවෙන් ප්‍රංශයේ සිට තනිව ශ්‍රී ලංකාවට පැමිණි ඉෂාදිගේ ජයග්‍රහණය භුක්ති විඳීම සඳහා සිය පවුලම පැමිණ තිබීම තමන්ට විශාල ශක්තියක් වූ බව ද ඇය අප හා පැවසුවාය.

මේ පාර තරගයට සහභාගි වෙන්න මං ආවෙ තනියම. මහත්තයයි බබයි කොයිවෙලාවෙ හරි ඒවි කියන බලාපොරොත්තුව තිබුණත් මගේ අම්මයි තාත්තයි ඒවි කියල නම් හිතුවෙම නෑ. ඒක ඇත්තටම මට සප්‍රයිස් එකක්. ඔවුන්ගේ පැමිණීම මගේ ජයග්‍රහණයේ සතුට දෙගුණ කළා. මගේ මහත්තයා රවිනාත් බස්නායක. ඔහු මට ලබාදෙන සහාය වචනවලින් විස්තර කරන්න බෑ. පුතාවත් බලාගන්න ගමන් මගේ හැම වැඩකටම එන්නෙත් ඔහු. ඇත්තටම ඒ මගේ හෙවණැල්ල.

විවාහක රූ රැජන කිරුළ ජයග්‍රහණයත් සමඟින් ඇය ඩයස්ගේ නංගි ලෙස සමාජ මාධ්‍යවල වයිරල් වන්නට විය. එය කුමක් අරබයා නිර්මාණය වූවක්ද? එහි සත්‍යතාවක් තියේද යන්න විමසීමට ද අපි අමතක නොකළෙමු.

සමාජ මාධ්‍යවල මේ දවස්වල ශීඝ්‍රයෙන් පැතිරෙන්නේ මං ඩයස්ගේ නංගි කියලා. ඇත්තටම මං හෙක්ටර් අයියගෙ නංගි නෙවෙයි. ඒක වුණේ මෙහෙමයි. අපේ පවුල් දෙක හරිම එකමුතුයි. Mrs. Sri Lanka World අවසාන මහා තරගයේ ජයග්‍රහණයෙන් පස්සේ ඔක්කොම ස්ටේජ් එකෙන් ඉවත් වුණාටත් පස්සේ ඒ දෙන්නා ස්ටේජ් එකට නැඟලා මට සුබ පැතුවා. ඔවුන් දෙන්නා මගේ පසුපසින් ඉඳන් මට උදවු කළාට මෙතෙක් කාලෙකට ඒක ප්‍රසිද්ධ වුණේ නැහැ. හෙක්ටර් අයියගෙ වයිෆ් පාඨලී අක්කා මං දන්න කාලෙ ඉඳන්ම මගේ යාළුවෙක්. ඇය ජීවත්වෙන්නෙත් ප්‍රංශයේ. එයාලා මට ගොඩක් උදවු කරනවා. එදා ඒ දෙන්න ස්ටේජ් එකට නැඟපු එක වීඩියෝ කරල සමාජ මාධ්‍යවලට ශෙයාර් කරල තිබුණේ මං ඩයස්ගෙ නංගි කියලා. පෙනුමින් මං පාඨලී අක්කට සමාන නිසා ඊට පස්සෙ ඩයස්ගෙ වයිෆ්ගෙ නංගි කියලත් දාල තිබුණා. මේ වගේ ජයග්‍රහණත් එක්ක ගොඩක් අයට ලැබෙන්නෙ බෑඩ් කමෙන්ට්ස් වුණත් මට ඒක හොඳ පැත්තට වුණා. ඒ ගැන සතුටුයි.“

Mrs. Sri Lanka World ලෙස අභිෂේක ලැබූ ඉෂාදි අමන්දා පුංචි පුතෙකුගේ ආදරණීය මවකි. ඇය පසුපස සිටින ආදරණීය සැමියා රවිනාත්ගේ හමුවීම ඇයගේ ගමනට ආශීර්වාදයක් වී තිබිණි.

ඔහුත් ප්‍රංශයේ වෙසෙන කෙනෙක්. රවිනාත් මට හමුවෙන්නේ වැකේෂන් එකකට ශ්‍රී ලංකාවට ආපු වෙලාවක. ඔහු මගේ යාළුවෙක්ගෙ යාළුවෙක්. ඔහු දැනන් හිටියා මං කලින් ඉඳන්ම බියුටි පැජන්ට්වලට ඉදිරිපත් වෙනව කියලා. අපි අතරෙ සම්බන්ධයක් ඇති වෙලා මුලින්ම ලංකාවෙදි විවාහ වුණා. පස්සේ ප්‍රංශයෙදිත් විවාහ වුණා. හැමදාම ඔහු තමයි මගේ යෝධ සෙවණැල්ල.“

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජන තරග අභියෝගයට මුහුණ දීමට මේ වනවිටත් පුහුණුවන බව පැවසූ ඉෂාදී ලෝක රූ රැජන කිරුළත් ශ්‍රී ලංකාවට ගෙන ඒම තම අභිප්‍රාය බව ද පැවසුවාය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division