මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “විසේකාරී” ටෙලි නාට්‍යයේ මහාචාර්ය චේතියගේ චූටි දූ චනුකි බබා ඔබ කාටත් මතක ඇති. ඇය සම්බන්ධ කරගන්න මොහොතෙදි චනුකි බබා හිටියේ ළඟ එන නත්තලට නත්තල් ගහ සරසන ගමන්. නත්තල් දවසේ නත්තල් සීයා ඇවිත් තෑගි දෙනකම් චනුකි බබා මඟ බලාගෙන ඉන්නේ. ඇය නමින් ඉතාරා බෝමන්දි.
චනුකි ඔයා යන පාසල ගැන අපට මුලින්ම කියන්න ?
මගේ පාසල බප/ ජය ඔරුවල කනිෂ්ඨ විද්‍යාලය. මම ඉගෙන ගන්නේ දෙක ශ්‍රේණියේ.
ඔයා රඟපාන්න වගේම තව මොනවටද කැමැති?
මං බැලේ ඩාන්ස්වලට ආසයි. ඒ වගේම බැඩ්මින්ටන් ගහන්නත් ආසයි. තව අත්වැඩ කරන්න කැමතියි. මම පාසලේ සමනළ බාල දක්ෂිකාවක්.
ඉතාරාගෙ ගෙදර කවුද ඉන්නේ ?
මගෙ අම්මා, තාත්තා හරීන් පුෂ්පකුමාර, අයියා ලුවීන් දසස්. අපි එක්ක සීයත් ඉන්නවා. අයියා කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ ඉගෙන ගන්නවා.
ඇගේ රංගන කටයුතු පිළිබඳ තොරතුරු කියන්න මුලපිරුවේ ඉතාරාගෙ මව වන රංගන ශිල්පිනී රෝමා රෝෂී ජයකොඩි
දුව මුලින්ම සී.අයි.සී. සමාගමේ වෙළඳ දැන්වීමකට සම්බන්ධ වුණා. එයා සම්බන්ධ වුණු පළවැනි ටෙලි නාට්‍ය ‘මගේ ආදරේ‘. දෙවැනි ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙන “විසේකාරී” නාට්‍යය. මේ නාට්‍ය දෙකෙන් පළමුවෙන්ම රූපවාහිනියේ විකාශය වෙන්නේ විසේකාරී නාට්‍යය. මීට අමතරව දුව ගීත කීපයකටත් රංගනයෙන් එක්වෙලා තියෙනවා.
ඒ වගේම මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වෙන “රොකී” ටෙලි නාට්‍යයේ සියාරාගේ ළමා කාලය නිරූපණය කරන්නෙත් දුව. ඉතාරා Ice Killer කියන වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙනවා.
ඉතාරා ඔයාට රඟපාන්න ආස හිතුනේ කොහොමද ?
මගේ අම්මා ෂූටින් යන දවස් වලදි මමත් අම්මා එක්ක යනවා. අප්පච්චි ගෙදර ඉන්න වෙලාවට මං අම්මා එක්ක ෂූටින් යන්නේ නෑ. අම්මා එක්ක ෂූටින් කරන තැන්වලට ගිහින් පුරුදු වෙලා මටත් ආස හිතුනා රඟපාන්න.
නැවත ඉතාරා ගැන කියන්න හඬ අවදි කළේ ඇගේ මවයි.
දුව දන්නවා ෂූටින් ගියාම ඒ තැන්වල ඉන්න ඕන කොහොමද, මොනවද කරන්න ඕන කියලා. සිතාරා විදේශිනී තමයි දුවට රංගනයට එන්න උදවු කළේ. ඇගේ පළවැනි ටෙලි නාට්‍යයට දුවව සම්බන්ධ කර ගත්තා. ඒ මගේ ආදරේ ටෙලි නාට්‍යය. ඉදිරියේ දී විකාශය වෙන්න නියමිතයි. අලුත් ටෙලි නාට්‍ය දෙකකටත් දුවට කතා කරලා තියෙන්නේ.
ඉතාරා රඟපානකොට ඔයා එක්ක රඟපාන අනික් නැන්දලා මාමලා උදවු කරනවද ?
ඔව්, නැන්දලා මාමලා හැමෝම මට රඟපාන්න උදවු කරනවා. සෙට් එකේ ඉන්න හැමෝම මට ගොඩක් ආදරෙයි.
ඔයා රඟපාපු චරිතවලින් ආසම චරිතය මොකක්ද ?
මං ආසයි චනුකි බබාගේ චරිතයට.
චනුකි බබාගේ චරිතෙට රඟපානකොට දුක හිතෙන දේවල් එහෙම වෙලා තියෙනවද ?
ඔව්, එක සීන් එකකදි මගේ තාත්තා චේතිය මාව තල්ලු කරනවා. එතකොට මං වැටිලා අඬනවා. එහෙම තල්ලු කළාම මට ගොඩක් දුක හිතුණා. ඒ වෙලාවේ ඇත්තටමයි මං ඇඬුවේ.`
පාසලේ යාළුවෝ, උගන්නන ටීචර්ලා ඔයාගේ රඟපෑම ගැන මොකද කියන්නේ ?
එයාලට හරි සතුටුයි. හැමෝම මං රඟපාන නාට්‍යය බලනවා. මගේ පංතිභාර ටීචර් සුභාෂිනී විද්‍යාරත්න. ටීචර්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. පාසල් වැඩත් මං හොඳින් කරනවා.
ඉතාරා ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති ?
මම පයිලට් කෙනෙක් වෙන්න ආසයි.
මේ වෙලාවෙදී මං ස්තූති කරන්න ඕන මගේඅම්මා, තාත්තා, අයියා, මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු සියලුම ගුරුවරුන්ට. ඒ වගේම සිතාරා ආන්ටිටත්, මං එක්ක රඟපාන මාමලා නැන්දලා හැමෝටමත් මට උදවු කරන හැමෝටමත් ගොඩක් ස්තූතියි.
කුමුදිකා ඩී. සපුතන්ත්‍රි