Home » නිවේදන කලාවේ දකුණේ හඬ රුවන් තොටගමුව

නිවේදන කලාවේ දකුණේ හඬ රුවන් තොටගමුව

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

දකුණේ හඬ පෞරුෂය රුවන් තොටගමුව” යන නාමයත් සමඟ ප්‍රසංග වේදිකාවට පා තබන ඔහු දිවයිනේ ප්‍රසංග වේදිකා නිවේදකයන් අතර ප්‍රසිද්ධ හඬ පෞරුෂයක්. අද රසඳුනෙන් අපි ඔහු සමඟ කතා කරමු.

රුවන් ඔබ ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

මගේ ගම ගාල්ල. රත්ගම දේවපතිරාජ ජාතික පාසලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. පාසල් කාලයේ ඉඳලම නිවේදනයට බොහොම කැමැතියි. ඒ නිසාම පාසලේ නිවේදකයා බවට පත් වුණේ මම. පාසලෙන් තමයි නිවේදනයට මූලික පන්නරය ලැබුණේ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ වසර දෙකක් ජාතික තරුණ සේවා සභාවේ නිවේදන පාඨමාලාව හැදෑරුවා. ඉන් අනතුරුව මම ප්‍රාදේශීය මට්ටමේ ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා. 2003 යෞවන සම්මාන උළෙලේ ගාල්ල දිස්ත්‍රික්කයේ හොඳම නිවේදකයා බවට පත් වෙන්න මට හැකියාව ලැබුණා. ස්වාධීන රූපවාහිනිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ක්‍රියාත්මක කළ තුරුණු ශක්ති සෞන්දර්යය වේදිකාවේදී නිවේදන අංශයේ පළාත් තරගවලින් තුන් වැනි ස්ථානය ලබා ගත්තා. ෆ්ලෑෂ් බැක්, සනිධප, ඔක්සිජන්, ඩිලයිටඩ්, පවර් පැක් වගේ දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් එක්ක මම වැඩ කරලා තියෙනවා. විවිධ ප්‍රදේශවලින් මට ප්‍රසංග නිවේදනයට ආරාධනා ලැබෙනවා.

ප්‍රසංග වේදිකා ක්ෂේත්‍රයේ ඔබේ නම හදා ගන්න එක අද කාලෙට සාපේක්ෂව බලනකොට දුෂ්කර වුණා ද ?

ඇත්තෙන්ම. එදා අද කාලයේ වගේ තාක්ෂණය ගොඩක් දියුණු තැනක තිබුණේ නෑ. සමාජ මාධ්‍ය නෑ. අපි ගැන තොරතුරු දෙන්න පුළුවන් වුණේ පත්තරෙන්. කටවුට්වල වුණත් ෆොටෝ එකක් දාන්න බෑ. ස්ක්‍රීන් ප්‍රින්ටින් තමයි තිබුණේ. ඒ වගේ ගොඩක් අවම පහසුකම් එක්ක තමයි ඒ කාලයේ අපි නමක් හදා ගත්තේ.

ඔබට නිවේදනය සඳහා ආභාසය ලැබුණු පුද්ගල චරිත හිටිය ද ?

පාසල් කාලයේ ඉඳලම හේමසිරි හල්පිට මහත්මයා සම්බන්ධ වෙන ප්‍රසංග නරඹන්න මම පුරුදු වෙලා හිටියා. වේදිකාව අසලටම ගිහින් මම එතුමන්ගේ නිවේදනය හොඳින් අහගෙන ඉන්නවා. ඒක මට ගොඩක් වටිනා අවස්ථාවක් වුණා.

මේ වෙනකොට ඔබේ වෘත්තීමය තත්ත්වය ?

නිවේදනයට අමතරව මම ප්‍රසංග සම්බන්ධීකරණ කටයුතු කරනවා. දිනූ ඉවෙන්ට් නමින් මට සම්බන්ධීකරණ ආයතනයක් තියෙනවා. ඒ වගේම මෙත් මඟ බෞද්ධ රූපවාහිනී නාළිකාවේ සම්ප්‍රවේශකයෙක් විදියටත් මම කටයුතු කරනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද ?

නිවේදනය සම්බන්ධ පාඨමාලාවක් ආරම්භ කරන්න මගේ අදහසක් තියෙනවා. ඊට අමතරව දිවයින පුරා විසිරිලා ඉන්න ප්‍රසංග වේදිකා නිවේදකයන්ගේ නිවේදක නාමාවලියක් හදන්නත් මං බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ ස්තූති කරන්න ඕන මගේ බිරිඳට සහ මගෙ දුවට. ඔවුන් මා වෙනුවෙන් ලබා දෙන සහයෝගයට. මගේ මේ ගමනට ආශීර්වාදයක් වුණ හැමදෙනාවම මම මේ වෙලාවේ සිහිපත් කරනවා.

කුමුදිකා ඩී සපුතන්ත්‍රී

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division