Home » මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරමින් යළි පණ ගැන්වෙන සුගතදාස කෘත්‍රිම ධාවන පථය

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරමින් යළි පණ ගැන්වෙන සුගතදාස කෘත්‍රිම ධාවන පථය

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

කාලයක් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාරාදීසය බවට පත්ව තිබූ සුගතදාස ක්‍රීඩාංගණය මෙරට ඉහළම තලයේ පවතින ක්‍රීඩාංගණයක් ලෙස ජාත්‍යන්තර ඇගැයීමට පවා පාත්‍ර වූවකි. එය දේශීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ දස්කම් මුවහත් කරගැනීමේ තෝතැන්නක් බවට පත්වී තිබූ යුගයක් ද විය. මේ බහුකාර්ය ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන් විසිපන්දහසකට අසුන්ගත හැකි පහසුකම්වලින්ද, දෙස් විදෙස්ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පුහුණුකරුවන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නවාතැන් ගත හැකි තරු පන්තියේ හෝටලයකින්ද, පාපන්දු, රග්බි ක්‍රීඩා පිටියකින් හා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඔප් නංවන මීටර් 200 සහ මීටර් 400 කෘත්‍රිම ධාවන පථයකින් ද සමන්විත වූවකි. එහෙත් පසුගිය වසර කිහිපය පුරා සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථයේ ප්‍රමිතිය පහළට ඇද වැටී තිබූ අතර, ජල පැල්ලම් මතුවීම, ජලය රැඳීම ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ආකාරයට භාවිත කිරීමට නොහැකි තත්ත්වයකට පත්වී තිබිණි.

නිරීක්ෂණ චාරිකාවක්

පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේ සහ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති සුගත් තිලකරත්න සහ නියෝජ්‍ය තරුණ කටයුතු ඇමැති එරංග ගුණසේකර මහත්වරුන් එහි වත්මන් තත්ත්වය සියැසින්ම දැක බලා ගත්හ. ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට දැඩි අවධානයක් ද යොමු කළහ. ඒ අනුව ක්‍රීඩා ඇමැතිවරයා විසින් කෘත්‍රිම ධාවන පථය ඇතුළුව ක්‍රීඩා සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එය වසර ගණනාවක් පුරා නිසි පුහුණුවීම් සඳහා සුගතදාස ධාවන පථය භාවිත කිරීමට අවස්ථාව නොලැබූ මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අස්වැසිල්ලට කරුණක් ද වනු ඇත.

කැබිනට් අනුමැතිය හිමි වූයේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එලීම (Relaying), ධාවන පථය මැදින් පිහිටි ක්‍රීඩා පිටිය සකස් කිරීම, අවශ්‍ය විද්‍යුත් කාලගණන යන්ත්‍ර සවිකිරීම, ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු වැඩකටයුතු රැසකටය.

‘සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය යනු ජාත්‍යන්තරව පිළිගත් පළමු පන්තියේ ක්‍රීඩා පහසුකම් සපයන ක්‍රීඩා සංකීර්ණයක් වන අතර, සියලු පහසුකම් හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත මීටර් 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථවලින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රීඩා සංකීර්ණය වේ. මේ වන විට එහි පළුදුවීම් රාශියක් පවතින හෙයින්, ජාතික තලයේ ක්‍රීඩා තරගවලට පවා නුසුදුසු තත්ත්වයක පවතින බවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්තා කර තිබේ. ජාතික හා ජාත්‍යන්තර තලය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම කෘත්‍රිම ධාවන පථ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රතිසංස්කරණය කිරීම ජාතික වශයෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කාර්යයක් බව හඳුනාගෙන ඇත. ඒ අනුව සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීම, ඒ මැද පිහිටි පාපන්දු පිටිය සැකසීම, ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් කාලගණන යන්ත්‍ර සවි කිරීම සහ ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම යන කාර්යයන් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කිරීම පිණිස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.‘ යනුවෙන් ඒ සඳහා අනුමැතිය ලද කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

කෘත්‍රිම ධාවන පථයේ වත්මන් තත්ත්වය

ක්‍රීඩා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සුගතදාස ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු එහි කෘත්‍රිම ධාවන පථයේ වත්මන් තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමුවූ අතර, මේ පිළිබඳ මීට සතියකට පෙර සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වත්මන් සභාපති ගාමිණි වික්‍රමපාල මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ කියා සිටියේය.

‘දැනට තියෙන කෘත්‍රිම ධාවන පථය එලා තිබෙන්නේ මීට අවුරුදු 6කට විතර කලින්. දැන් ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ. තැනින් තැන පිම්බිලා වතුර පැල්ලම් මතුවෙලා තියෙන්නේ. දැනට පැච් දාලා පාවිච්චි කරන්නේ. ජාතික පාසල් ක්‍රීඩා උලෙළටත් තාවකාලික පිළියම් යොදලයි පාවිච්චි කළේ. ඒත් සාමාන්‍යයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වේගය මනින්නේ කාලය අනුවයි. ධාවන පථයේ තත්ත්වය අනුව ඒ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් අතරට එන්න අසීරුයි. ඒක බරපතළ ප්‍රශ්නයක්. ධාවන පථය විතරක් නෙවෙයි ඒ මැද තියෙන පිටියත් වල් වැදිලයි තියෙන්නේ. කම්කරුවන් යොදාගෙන එදිනෙදා වැඩකටයුතු කරගෙන ගියත් හරියාකාරව ඒ කටයුතු සිදුවෙලා නෑ. නිසි ක්‍රමවේදයකට අනුව මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවිය යුතුයි. ආලෝකධාරා කුලුනුවල, ටයිමිං මැෂින්වලත් ප්‍රශ්න තියෙනවා.‘ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වත්මන් සභාපතිවරයා එසේ කීවේය.

ජාතික මලල ක්‍රීඩා තරගාවලි පැවැත්වීමේ සහ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය පුහුණුවීම් කටයුතු කිරීමේ අවස්ථා අහිමි කරමින් වසර 2013 සිට තාවකාලිකව වසා දමා තිබූ සුගතදාස ක්‍රීඩාංගණයේ මීටර් 200 සහ මීටර් 400 කෘත්‍රිම ධාවන පථ නැවත එලීම අවසන් වරට සිදුවූයේ මීට වසර 7කට පෙරය. 2017 වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා එය ආරම්භ වූයේ ටෙන්ඩර් කැඳවීමේදී මතු වූ විවිධ ගැටලු හේතුවෙන් වසරකට ආසන්න කාලයක් පුරා ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ප්‍රමාද වීමෙන් පසුවය. එසේ වුවද අවසන් වරට ටෙන්ඩර් කැඳවා එලන ලද කෘත්‍රිම ධාවන පථයේ ජල පැල්ලම් මතු වූයේ මාසයක් ගතවීමටත් පෙර බව එවකට වාර්තා විය. එම කරුණු අනාවරණය වූයේ 2018 වසරේ මැයි මාසයේ මුල් භාගයේදී එවකට එහි නිරීක්ෂණයක නිරත වූ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශ (Central Engineering Consutancy Bureau – CECB) වාර්තාවකිනි. එම කෘත්‍රිම ධාවන පථයේ දකුණු අන්තයේ සහ ‘ඩී‘ කොටසේ ඇතැම් ස්ථානවල ජලය රැඳී පවතින බවත්, එම ස්ථාන අතින් තද කිරීමේදී ඉන් පිටතට ජල පැල්ලම් මතුවන බවත් එම වාර්තාවේ සඳහන් වී තිබිණි. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ව්‍යාපෘති පිළිබඳ අතිරේක සාමාන්‍යධිකාරිවරයා ලෙස එවකට කටයුතු කළ ටී.ජී.ඩී.ටී. ධර්මවර්ධන මහතාගේ අත්සනින් යුතුව එම ධාවන පථයේ නැවත එලීම සිදු කරනු ලැබූ ඇක්සස් කොනිකා ජේ.වී. සමාගමට එම වසරේ මැයි මස 8 වැනිදා දිනයෙන් යුතුව ලිඛිතව දැනුම්දීමක් ද සිදු කර තිබූ බව වාර්තා විය. එහි පිටපත් එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයාට ද යවා ඇතැයි වාර්තා විය.

ප්‍රතිසංස්කරණයට ලක්කරයි

පසුව ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ සමාගම විසින් කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කර තිබූ අතර, එහි සඳහන් වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිවැරැදි ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව ඉදිකිරිම් කටයුතු ලබාගත් තම සමාගම විසින් සකස් කරනු ලැබූ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එලීමේ ක්‍රියාවලිය සහ සෙසු පිළිසකර කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවට පත් කර නොමැති බවය. එය නිල වශයෙන් සුගතදාස පාලනාධිකාරියට භාර දී නොමැති බවය. එසේ වුවත් අවශ්‍යතාව සලකා බලා තරගාවලි කිහිපයක් සඳහා ක්‍රීඩාංගණය තාවකාලිකව ලබාදීමට පියවර ගත් බවත් එම සමාගම ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය. එමෙන්ම තවත් සිවිල් ඉංජිනේරුමය කාර්යයන් කිහිපයක් සිදු කිරීමට නියමිතව ඇති බැවින් කෘත්‍රිම ධාවන පථයේ ඇතැම් ස්ථානවල ජල පැල්ලම් මතුවීම ගැටලුවක් ලෙස සැලකීමට නොහැකි බවත් එම සමාගම ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය. ඒ අනුව එම වසරේ මැයි මාසයේදීම 31 වැනිදා දක්වා ක්‍රීඩාංගණය සේවාලාභීන් වෙත ලබාදීම අත්හිටුවා එහි ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම නිමා කිරීමට නියමිත බවත්, මැයි මස 31 වැනිදා සුගතදාස පාලනාධිකාරියට නිල වශයෙන් භාර දෙන බවත් අදාළ සමාගම ප්‍රකාශ කර තිබූ බව වැඩිදුරටත් වාර්තා විය.

තරුණ කට­යුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර සහ ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහ­ත්වරු සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ කෘත්‍රිම ධාවන පථය නිරී­ක්ෂ­ණය කර­මින්.

තරුණ කට­යුතු හා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, තරුණ කට­යුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර සහ ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහ­ත්වරු සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ කෘත්‍රිම ධාවන පථය නිරී­ක්ෂ­ණය කර­මින්.

එය කෙසේ වෙතත් කෘත්‍රිම ධාවන පථය නැවත එලීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ එවකට කරුණු රැසක් වාර්තා වී තිබිණි. ලියුම්කරු විසින් එවකට මේ පිළිබඳ දිගින් දිගටම වාර්තා කළ අතර, එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය සිදු කළ ටෙන්ඩර් කැඳවීමට අනුව කෘත්‍රිම ධාවන පථය එලීමේ කොන්ත්‍රාත්තුව බාර දීමට තෝරාගත් ඉදි කිරීමේ සමාගමට ඇති සුදුසුකම් අභියෝගයකට ද ලක්වී තිබිණි. ඒ පිළිබඳ සෙසු ටෙන්ඩර්කරුවන් එවකට ක්‍රීඩා ලේකම් ඩී.එම්. ආර්.බී.දිසානායක මහතා වෙත විරෝධතාවක් ද ගොනු කර තිබිණි. ටෙන්ඩර් කැඳවීමේදී සුදුසුකම් ලෙස දැමූ ඇතැම් කොන්දේසි අදාළ සමාගමට පක්ෂග්‍රාහීව සිදුකළ බවට ද චෝදනා එල්ල වී තිබිණි. පළමුවර ටෙන්ඩර් කැඳවීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා රැසක් හේතුවෙන් ප්‍රතික්ෂේප වූ ටෙන්ඩර්කරුවන් ප්‍රසම්පාදන මණ්ඩලය වෙත අභියාචනාවක්ද ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව සිදුවූ පරික්ෂණයකින් පසු තෝරා ගැනීම නීත්‍යනුකූල නැති බැවින් ටෙන්ඩරය අහෝසි කරන ලෙස ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය නිර්දේශ කර තිබිණි. එම ටෙන්ඩරය අදාළ සමාගමට ලබාදීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණය වී තිබූ බව වාර්තා විය. අභියාචනා මණ්ඩලයේ නිර්දේශවලට එකඟ වූ එවකට කැබිනට් මණ්ඩලය නැවත ටෙන්ඩර් කැඳවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී තිබූ අතර, පසුව දෙවැනි වරට ටෙන්ඩර් කැඳවනු ලැබූ අතර, කෘත්‍රිම ධාවන පථය නැවත එලීමේ ටෙන්ඩරය පළමු වර ප්‍රතික්ෂේප වූ සමාගමටම නැවත ලැබී තිබිණි. කෙසේ වෙතත් කාලයත්, මුදලත් දෙකම වැය කළ එම ටෙන්ඩර් අර්බුදය අවසානයේදී එසේ නිමාවට පත්වූවද, අවසානයේදී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවූයේ වැඩි කාලයක් භාවිත කිරීමට නොහැකි තත්ත්වයකට පත්වූ කෘත්‍රිම ධාවන පථයකි.

මෙවර සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එලීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අතීතයේ සිදුවූ සියලු සිදුවීම් සැලකිල්ලට ගනු ඇතැයි ද, ඉදිරියේදී වැඩි කාලයක් භාවිතයට ගත හැකි ආකාරයේ නිසි ප්‍රමිතියකින් යුතු කෘත්‍රිම ධාවන පථයක් නිර්මාණය වනු ඇතැයි ද මලල ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව විශ්වාසය පළ කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division