Home » හංස ගීතය නොගයාම ගෙදර ගිය අශ්වින්

හංස ගීතය නොගයාම ගෙදර ගිය අශ්වින්

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

න්දියාවට දඟපන්දු යවන්නන්ගෙන් අඩුවක් නොතිබුණත් ලෝක ක්‍රිකට් පිටිය දිග්විජය කිරීමට අවස්ථාව ලැබෙන්නේ අතළොස්සකට පමණි. ඊයේ පෙරේදා හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් 38 හැවිරිදි රවිචන්ද්‍රන් අශ්වින් ද එවැනි ආකාරයේ පන්දු යවන්නෙකි. අනිල් කුම්බ්ලේගෙන් පසුව ඉන්දියාවෙන් බිහිවූ අතිවිශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන අශ්වින් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභී දඟපන්දු යවන්නන් අතර තුන්වැනි ස්ථානයට පත්ව සිටින අතර, ඔහුට ඉදිරියෙන් පසුවන්නේ මුත්තයියා මුරලිදරන් (කඩුලු 800ක්) සහ අනිල් කුම්බ්ලේ (කඩුලු 619ක්) පමණි.

මේ දිනවල පැවත්වෙන ඔස්ට්‍රේලියානු සංචාරය අතරමැද ආපසු ඉන්දියාව බලා පැමිණියේ ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගත් බවට නිවේදනයක් ද නිකුත් කරමිනි.

හිටිහැටියේම ලෝක ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අශ්වින්ට බලපෑ කාරණාව මෙතෙක් අනාවරණය වී නැත. ඔහු ඒ ගැන වැඩිපුර තොරතුරු ප්‍රකාශ කිරීමට ද ඉදිරිපත්වී නැත. එබැවින් දැනට ඇති වාර්තාවලට අනුව ඔහුගේ හදිසි සමුගැනීම ලෝක ක්‍රිකට් පිටියේ විස්මයට කරුණක් වී තිබේ.

වැඩිම කඩුලුලාභී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානයේ පසුවන අශ්වින් ටෙස්ට් තරග 106කදී බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 537කි. ඉන්දියානු ක්‍රීඩකයන් අතුරින් ඔහු දෙවැනි වන්නේ ටෙස්ට් තරග 132කදී කඩුලු 619ක් දවාලූ කුම්බ්ලේට පමණි. අනිත් අතට පිතිහරඹයෙන් නම් ඔහු කුම්බ්ලේට වඩා පසුවන්නේ ඉදිරියෙනි. කුම්බ්ලේ ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 2506ක් රැස් කළ අතර, අශ්වින් ටෙස්ට් ලකුණු 3503ක් රැස් කර ඇත්තේ ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් සමගිනි. ඒ අතින් ඔහු ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවටත් ඇතුළත් වී සිටී.

වසර 2011 නොවැම්බරයේ නවදිල්ලි නුවරදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ මේ දකුණත් දඟ පන්දු යවන්නා ‘දුස්රා‘ සහ ‘කැරම් බෝල්‘ පන්දුවලින් ලෝක පූජිත පිතිකරුවන් දමනය කළ අවස්ථා ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ අඩුවක් නැත. ඒ අතුරින් 2016 ඔක්තෝබරයේදී නවසීලන්තයට එරෙහිව ඉන්ඩෝර් පිටියේ ඔහු ලකුණු 140කට කඩුලු 13ක් දවාලීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස ඉතිහාසයට එක්වී තිබේ. ඒ හැරුණු විට තරගයකදී කඩුලු 10කට වඩා දවාගත් අවස්ථා 8කුත්, ඉනිමකදී කඩුලු 5කට වඩා දවාගත් අවස්ථා 37කුත් වාර්තා අතර තිබේ. ඉනිමක කඩුලු 5ක් සම්පූර්ණ කළ පන්දු යවන්නන් අතර ඔහු පසුවන්නේ දෙවැනි තැනය. එහි පළමු තැන සිටින්නේ අවස්ථා 67කදි එම වාර්තාව තැබූ මුත්තයියා මුරලිදරන් පමණි.

ටෙස්ට් තරගවලට අමතරව එක්දින තරග 116කදි කඩුලු 156කුත්, විස්සයි20 ජාත්‍යන්තර තරග 65කදි කඩුලු 72කුත් දවාගෙන ඇති අශ්වින් ඉදිරියේදී ජාත්‍යන්තර විස්සයි20 ෆ්‍රැන්චයිස් තරගාවලි සඳහා පමණක් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ.

ඔහුගේ හදිසි සමුගැනීම ඉන්දීය පිලේ සෙසු සගයන්ගේද විමතියට හා කනගාටුවට කරුණක් වී ඇති අතර, රෝහිත් ෂර්මා ප්‍රකාශ කර ඇත්තේ අශ්වින් යනු වඩාත් ගෞරවාන්විත සමුගැනීමක් ලැබිය යුතු ක්‍රීඩකයකු බවය. හිටපු ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කර්, කපිල් දේව් ඇතුළු තවත් ක්‍රීඩකයන් රැසක් අශ්වින්ගේ සමුගැනීම ගැන කනගාටුව සහ සිත්තැවුල ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යජාල අතරට සටහන් මුදා හැර ඇති අතර, ජාත්‍යන්තර ක්‍රීඩකයෝ ද ඒ අතර වෙති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division