උදා හිරු කිරණ වෙනදා වගේම මුලින්ම සිප ගත්තේ උසම තුරු අගිසිවල ළපටිම පත්‍ර. ක්‍රම ක්‍රමයෙන් ඒ තුරු අගිසිවල ළපටිම පත්‍රවල ලෙළදෙමින් තිබූ පිනි බිඳු මතට හිරු කිරණ වැටී අපූරුවට දිලිසෙන්න පටන් ගත්තා. තුඟු තුරු කොතරම් හිරු කිරණ වළකාලීමට තැත් කළත් අතුපතර කොළ අතරින් හිරු කිරණ පෙරී මිහිකත මතට ද පතිත වන්නට අරගලයක නිරත වුණා. එහෙත් තුඟු ගස් හැමවිටම හිරු එළියේ දැවෙමින් ඒ හිරු කිරණවල දාහෙන් අප ගිනියම් නොකරන්නට වග බලා ගත්තා.
තුරු වියන යටින් අපි මේ ගමන් අරඹන්නේ හියාරේ රක්ෂිතය වෙත යන්නටයි. ගාල්ල නගරයේ සිට කිලෝමීටර් දාහතක් දුර ගෙවා පැයක පමණ කාලයක් ගෙවාගෙනයි අප මේ වනයට ළඟා වන්නේ. වනය ඇතුළට පය තැබීමට මත්තෙන් මඳක් නවතින්න. අප මේ ඇතුළු වන්නේ අපූර්ව වන පියසකට. එහි නිවැසි සොබාදම් දියණියගේ දරුවන් බෙහෙවින් සාමකාමී නිදහස් දිවියකුයි ගෙවන්නේ. ඔවුන්ගේ නිවෙසට ඇතුළු වන අප ඔවුන්ගේ නිදහසට, ආරක්ෂාවට නම් තර්ජනයක් විය යුතු නැහැ. බුදුන් වහන්සේ පවා දේශනා කරන්නේ නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයක් බවයි. ඉදින් ඔබගේ නිසරු වාගාලාපවලින් පරිසරය දූෂණය කරන්නට එපා. ශබ්ද නඟා කතා කිරීමෙන් ඔවුන්ගේ නිදහසට බාධා පමුණුවන්න එපා. මේ පොදු කරුණු හියාරේ රක්ෂිත වනය සම්බන්ධයෙන් පමණක්ම නොව, සෑම වන පියසකටම ඇතුළත් වීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.
වියළි කොළ ඔබේ දෙපයට පෑගී සරසර හඬ නඟාවි. ඒ නිසාම හැකි තරම් සෙමෙන් පා තබන්න. ඒ වගේමයි අවධානයත් ඉතා වැදගත්. ඊට හේතුව මේ වනයේ උරගයන් බහුලවීමයි. ඔබ නොදැනුවත්වම හෝ ඔවුන්ගේ රජ දහනේදී ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වුවහොත් ඔවුනුත් පෙරළා ඔබට බියවීම නිසාම හිංසා කරාවි. ඒ නිසා නිරතුරුවම පරිස්සමෙන්.
වනයේ වැඩි දුරක් ඇවිද යාමට ප්‍රථම ඔබට හියාරේ ජලාශය මුණ ගැසෙනවා. ඔබ ගමන් ආරම්භ කළේ හිමිදිරියේ නම් රන්වන් හිරු කිරණ වැටී ජල තලය දිස්න දෙන අපූරුව වැව් තාවල්ලේ ඉඳගෙනම නරඹන්නට හැකියි. ජලතලය මතට වැටෙන හිරු කිරණ ක්‍රමයෙන් ජල තරංග හා දිය වී යන අයුරු මනස්කාන්තයි. ඒ අතර හිරු එළියේ රශ්මිය වැව් දිය මතට එක්වන නිසාදෝ එහි වැසි මත්ස්‍යයන් වරින්වර ජලාශය මතින් උඩට පනින අයුරු ඔබට දිස්වේවි. ඒ විතරක් නොවේ නිසොල්මනේ බලා සිටින්න, ඒ මත්ස්‍යයන් ජලතලය මතින් කරණම් ගසන විටදීම උකුස්සන් ක්ෂණයෙන් උන් ඩැහැගන්නා සජීවී දසුන් මෙහි සුලබයි. නමුත් ඒ උකුස්සා ඊට පෙර සිටියේ කොතැනකදැයි ඔබට දුටුවේ නැති බව නම් මට විශ්වාසයි. මන්ද උකුසු වර්ග කිහිපයක්ම මේ ජලාශය සමීපව වාසය කළත් දුරදක්නයකින් තොරව ඔවුන් සිටින තැන දැකීම දුෂ්කර නිසා. මේ සියලු දේ නරඹන්නට නම් ඔබ නිසොල්මනේ පරිසරයේම කොටසක්ව සිටිය යුතුමයි. සොබාදහම හොඳම දේ දෙන්නේ ඇයට ආදරය කරන්නන්ටම පමණයි.
රක්ෂිතයේ පිහිටි වසර සීයකටත් වඩා ඉපැරණි ජලාශයෙන් තමයි කලකට ඉහත ගාල්ල නගරයට ජලය සපයා තිබෙන්නේ. එහෙත් මෙහි ජලය ගලා නොයන වැව් දියක්වීම නිසා එක තැන පල්වෙන ජලය බීමට නුසුදුසු යැයි පවසමින් මේ ක්‍රියාවලිය 2002 වසරේදී අත්හිටවනු ලැබුවා. 2003 වසරේ සිට මේ ජලාශය හා පහතරට වැසි වනාන්තරය ගාල්ල මහ නගර සභාවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් පවරා ගනු ලැබුවා.
හියාරේ රක්ෂිතය ඉටු කරන තවත් අනගි මෙහෙයක් ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ හා ශාක විශේෂ සඳහා එහි අභිජනන මධ්‍යස්ථානයක් පිහිටා තිබෙනවා. මෙහි තුවාල ලැබූ වන ජීවීන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පවා සිදු කරනු ලබනවා. ඒ වගේම නැවත වගා කිරීම සඳහා නිවර්තන කලාපීය ශාක සංරක්ෂණය කිරීමකුත් සිදු කරනවා. ඒ වගේම සමනලුන් ප්‍රිය කරන ඔබට නේක වර්ණ සමනල් විශේෂ හැත්තෑ අටක් පමණ මෙහිදී දැකගත හැකියි. ඒ අතරින් හියාරේ රක්ෂිතයටම ආවේණික වූ සමනල් විශේෂ තුනක් ද වාසය කරන බැව් සත්ත්වවේදීන් පවසනවා. මිරිදිය මත්ස්‍ය විශේෂ, උරග විශේෂ, උභය ජීවී විශේෂ වගේම ගොළුබෙල්ලන් විශාල ප්‍රමාණයක් මේ වනයේ දැක දැකගත හැකියි. ඒ වගේම ක්ෂිරපායි විශේෂ එකසිය පනහක් පමණ මෙහි නිවැසිව සිටිනවා.
ඔබට සමහරවිට දැනේවි ඔබේ සවන්පත් එක ම නාදයකින් නින්නාද වෙන බව. ඒ රැහැයියන්ගේ නාදය. එය මේ වනාන්තරයට එක් කරන්නේ කරන්නේ ගුප්ත බවක්. ඒත් එයින් මිදෙන්නට නම් නොහැකියි. ඔබ කුරුලු කූජන වෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකි තරම් නිරීක්ෂණයක් සහිත වූවකු නම් එකිනෙකට වෙනස් මාදිලියේ නාදාවලි රැසක් ඔබට ඇසෙන්නට පටන් ගනීවි. ඔබ අසා ඇති ජනවහරේ කියවෙනවා නයි බිත්තර පවා පිපිරෙන තරම් තියුණු නාදයක් ගැන. ඒ නාදයේ හිමිකරුවා තමයි අපි කවුරුත් දන්නා මොනරා. මොනරුන් මෙහි බහුලයි.
ඒ වගේම පිළිහුඩු වර්ග හතරක්ම මෙහි දැක ගත හැකියි. මහ පිළිහුඩුවා, ගෝමර පිළිහුඬුවා, මල් පිළිහුඩුවා වගේම අපි නිරන්තරයෙන් දකින නිල් දුඹුරු පිළිහුඩුවාත් මෙහි සුලබයි. උකුසු වර්ගත් කිහිපයක්ම හියාරේ ජලාශය ආශ්‍රිතව දැකගත හැකියි. ඒ අතරින් බ්‍රාහ්මණ උකුස්සා නිරන්තරයෙන්ම ඒ අවට සැරිසරනවා. මීමින්නන්, ඉත්තෑවන්, හාවුන්, මුගටියන්, නරි වැනි සත්ත්ව විශේෂත් පහසුවෙන් දැකගත හැකියි.
එකිනෙකා හා හා වෙළී පැටලුණු වෘක්ෂලතා හිරු එළියට නම් මහපොළොව සිප ගන්න ඉඩ දුන්නේම නැහැ. ඒ නිසාම කැලෑවේ අසිරියෙන් මෝහනය වී සිටි අපටත් වෙලාව ගෙවී යනු දැනුණේ නැහැ. ගාල්ලට එන ඔබ මේ වැසි වනාන්තරයට නොපැමිණ නික්ම යන්න එපා. ඔබේ සරතැස නිවන්නට එය කදිම තෝතැන්නක්. ඔබේ සියලු දුක් කම්කටොලු වනයට පවසා එහි සන්සුන් බව හා දැහැන්ගත බව රැගෙන ඔබට නැවත පැමිණීමට හැකියි. එයයි ඕනෑම වනයක ඇති ආශ්චර්ය ය.
හියාරේ රක්ෂිතයට එන ඔබට ඒ අවට තවත් නැරඹිය හැකි තැන් කිහිපයක් තියෙනවා. මීපේ අම්බලම, යටගල රජමහා විහාරය, අට දානේ වලව්ව වගේම රූමස්සල හා මඩොල්දූව පිහිටා තිබෙන්නෙත් හියාරේ රක්ෂිතයේ සිට වැඩිදුරක නම් නොවෙයි. ඒ නිසා ගාල්ලට සංචාරයට එන ඔබට ගාල්ල උඩුගම මාර්ගයේ පැමිණ හියාරේ හන්දියෙන් හැරී කිලෝමීටර් දෙකහමාරක් පැමිණි විට ඉතා කෙටි දුරකදී වෙනස්ම අත්දැකීමක් විඳගත හැකියි. අධිවේගී මාර්ගයේ පැමිණෙනවා නම් නම් පින්නදූව පිවිසුමෙන් උඩුගම මාර්ගයේ පැමිණ හියාරේ හන්දියෙන් හැරී රක්ෂිතය වෙත පැමිණිය හැකියි. හියාරේ හන්දියේ රක්ෂිතය පිළිබඳ දැනුම්වත් කිරීමක් සහිත බෝඩ් එකක් සවිකර තිබෙනවා.
පහතරට තෙත්බිම් කලාපයේ අසිරිය විඳින්න හියාරේ රක්ෂිතය කියන්නෙ තෝතැන්නක්. හියාරේ කියන නම ම හැදී තිබෙන්නේ සිය ආර යන පද දෙක සන්ධිවීමෙන්. සිය ආර කියන්නේ සියක් දොළ පාර එහෙමත් නැත්නම් වතුර පාරවල් යන අරුත. එය කාලයක් තිස්සේ සුඛෝච්ඡාරණයට ලක් වීමෙන් තමයි සිය ආර හියාරේ ලෙසින් නාමකරණය වී ඇත්තේ. ඒ වදනින්ම ඔබට සිතාගත හැකියි නේද කොතරම් සිසිලසක් ඒ භූමියේ තිබෙනවා ද කියා. හියාරේ රක්ෂිතය කියන්නේ ඒ සිසිලස මුළු ගමටම, ප්‍රදේශයටම බෙදන වනාන්තරය. එය සොබාදම් දියණියගේ අපූර්වතම දායාදයක් කියා අප කියන්නේ ඒ නිසා.
සුමුදු චතුරාණී ජයවර්ධන