වන ජීවී ඡායාරූප කලාව යනු ගැඹුරු කලාත්මක භාවනාවකි. පරිසරය සමඟ ඒකාත්මික වෙමින් සොබාදහමේ නියමයන් හා ඒකමිතිකව සංයමයෙන් සිදු කරන මේ ගැඹුරු කලාත්මක ව්‍යායාමය හරහා නිර්මාණය වන ඡායාරූපයක් තුළ සෞන්දර්ය ඉක්මවා ගිය ගැඹුරු මානව අාධ්‍යාත්මික ප්‍රකාශනයක් ගැබ් වී ඇත.
බොහෝ විට එක් ඡායාරූපයක් යනු දින ගණනක් තුළ කළ අභ්‍යාසයක ප්‍රතිඵලයකි. ඒ වෙනුවෙන් මැසි මදුරු උවදුරු දරාගෙන පැය ගණන් නොසෙල්වී වන දහන තුළ ස්ථානගත වී සිටීමටත් සැතපුම් ගණන් පා ගමනින් මහා දුර්ග තරණය කරන්නටත් ගස් ගල් මත දින පහන් කරන්නටත් සිදු වන අවස්ථා සුලබය.
එවැනි කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් ඇගයීමක් ලැබීම වන ජීවී ඡායාරූප ශිල්පියකුට සුළුපටු දෙයක් නොවේ. ඉන්දියාවේ මුම්බායි නුවරදී පසුගියදා පැවති දකුණු ආසියාවේ ප්‍රමුඛතම වනජීවි ඡායාරූපකරණය ඇගයීමට ලක් කරන තරගය වන ‘සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් දි ඉයර්’ තරගාවලියේදී 2023 විශිෂ්ටතම ඡායාරූපකරණයට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ වනජීවි ඡායාරූප ශිල්පියකු සමත් වූයේය.
ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පීන් අවස්ථා ගණනාවකදීම මෙම තරගයේ විවිධ කාණ්ඩ යටතේ සම්මාන හිමිකර ගැනීමට සමත්ව තිබුණද මෙරටට මෙම විශිෂ්ටතා සම්මානය හිමි වූයේ උක්ත තරග ඉතිහාසයේ මුල්ම වරට වන අතර, ඒ ජයග්‍රහණය ගෙනා තරුණයා තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක ය. අප විස්මයටත් ආනන්දයටත් පත් කරන විශේෂ කාරණාව මේ සම්මානයටත් වඩා අපූරුය. ඒ, මේ තරුණ ඡායාරූප ශිල්පියා විශේෂ අවශ්‍යතා සහිත අයකුවීමය.
තරිඳුට ඔබට අපට මෙන් පහසුවෙන් ඇවිද යා හැකි නොවේ. උපතින්ම ඇති විශේෂ තත්ත්වය තුළ ඔහු ඇවිද යන්නේ මහත් ආයාසයෙනි. වනජීවි ඡායාරූප ශිල්පියකුට තිබිය යුතු යැයි මෙතෙක් අප විශ්වාස කළ ශාරීරික යෝග්‍යතා නිර්ණායක තුළ තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක නැත. එහෙත් උත්සාහයෙන් දැවැන්ත හිතක් සහිත පුද්ගලයකුට ලෝකයේ කළ නොහැක්කක් නැති බව තරිඳු අපට කියා දෙන්නේ ‘සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් දි ඉයර්’ සම්මානය රටට දිනා දෙමිනි.
සම්මානිත ඡායාරූපයේ පසුබිම් කතාව
මේ සම්මානයට පාත්‍ර වන ඡායාරූපය ද අතිවිශේෂ විරල සිද්ධියක අවස්ථාවක් රූපණය කළේය. යාල වන දහනේ තල්ගස් මංකඩ ප්‍රදේශයේදී කොටියෙක් වල් ඌරෙකු දඩයම් කරන්නේය. එක්වරම පැමිණෙන මාරක ව්‍යසනයෙන් බිය වන වල් ඌරා මර හඬ දෙමින් ජීවිතය අයැදිද්දී වන දහන තුළි මතුවන වල් ඌරන් රංචුවක් සිය සගයාගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් කොටියා වට කරගෙන පහර දෙන්නේය. අවසානයේදී කොටියා සිය ගොදුර අතහැර පලා යන්නේය. තරිඳු සිය කාචයේ සටහන් කරගන්නේ මේ දුර්ලභ සිද්ධියේ භාවයන් ප්‍රකාශවන අතිවිශේෂ අවස්ථාවකි. මේ අතිවිශිෂ්ට වන ජීවී ඡායාරූපය වෙනුවෙන් ඔහුට ‘සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් දි ඉයර්’ සම්මානය ලබා දීමට විනිසුරු මඬුල්ල විසින් තෝරා ගන්නේ කිසිම දෙගිඩියාවකින් තොරවය.
සම්මානය දිනාගෙන පැමිණි තරිඳු, රටට අවශ්‍ය දිරිමත් ආදර්ශය කුමක් දැයි අපට කියා දුන්නේය. ඒ නිසාම මේ කතාව ඔබ ඇසිය යුතුම කතාවක් බව විශ්වාස කරමු.
“මම වනජීවී ඡායාරූපකරණය පටන් ගන්න, ඊට නැඹුරු වුණේ කාර්යාලයේ යාළුවොත් එක්ක විනෝද චාරිකා යද්දි ලැබෙන අත්දැකීම් එක්ක. අපි දවසක් යාල ගියා. මගෙ ළඟ කැමරාවක් තිබුණෙ නෑ. මේ ගමනෙදි තමයි මම ලංකාවෙ පළමුවැනි කොටියා සජීවී විදිහට ජාතික වනෝද්‍යානයකදි දැක්කේ. අපි කොටියට ගොඩාක් සමීප වුණා. කැමරාවක් තිබුණ මගේ යාළුවා ෆොටෝ ගත්තා. මගේ ළඟ තිබුණෙ ෆෝන් එක. මම පළමු වැනි වනජීවී ඡායරූපය ගන්නේ මගෙ ෆෝන් එකෙන්. යාළුවායි මමයි ගත්ත ෆොටෝ දෙක අතර විශාල වෙනසක් තිබුණා. මට එදා හිතුණා මම කැමරාවක් අරන් සත්තුන්ගේ ෆොටෝ ගන්න ඕන කියලා. ඒක මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කළ වැඩක්. ඒ හැරෙන්න ඡායාරූප ශිල්පියෙක් වෙන්න, සම්මානවලට ඡායාරූප ඉදිරිපත් කරන්න වගේ අදහසක් මට තිබුණෙ නෑ.
මම කැමරාවක් අරන් මුල්ම වනජීවී ඡායාරූපය ගත්තේ විල්පත්තුවෙදි. ඒක අන්තිමට පොඩි පිස්සුවක් වුණා. මම වනජීවී ඡායාරූපකරණය ගැන ලෝකයේ දැනුම හොයාගෙන හදාරන්න ගත්තා. හැම මාසයකම පඩිය ගත්තට පස්සෙ දවස් කීපයක් කැලේ ඇතුළට ගියා. ඒ අත්දැකීම එක්ක මට මේ රටේ ඉන්න ගොඩක් වනජීවී ඡායාරූප ශිල්පීන් ඇසුරු කරන්න ලැබුණා. ඒ ප්‍රවීණ ශිල්පීන් කිසිම කොන්දේසියක් නැතිව මට ඔවුන්ගේ දැනුම දුන්නා. මඟපෙන්වීම, අත්දැකීම් බෙදා ගත්තා. ඒ දැනුම සහ අත්දැකීම් හුවමාරුව සරසවියකින් ලබා ගත නොහැකි දැනුමක් මට ගෙනාවා. ඒ මානව ගුණය මට මහා ආත්මවිශ්වාසයක් ඇති කළා.
මා වටා හිටියා ඉතාම විශිෂ්ට මනුෂ්‍යත්වය පිරිලා ගිය සහෘදයො ටිකක්. ඔවුන් නොවන්න මට මේ කිසිම දෙයක් පහසු වෙන්නේ නෑ. ඔබ දන්නවා ද මම විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්. සෆාරි ජීප් එකට නැඟීමේ ඉඳලා ඇවිදින්න අපහසු මට හැම දෙයක්ම අභියෝගයක්. ඒ අභියෝග කවදාවත් සීමාකාරී සාධක කරන්න මගේ වටා හිටිය ආදරණීය මිනිස්සු මට ඉඩ දුන්නෙ නෑ. තරිඳුට ඇවිදින්න බෑ කියලා මාව නවත්තලා නොගිහින් වගුරු උඩින් ලඳු කැලෑ උඩින් ඔවුන් මාත් එක්ක ඇවිදන්න ගියා. මගේ කැමරාව, මගෙ බෑග් එක ඔවුන් ගත්තා. එවන් ගමනදි විඩාව ටිකක් වැඩිපුර දැනුණා තමයි. මට කවදාවත් ඒ සමූහය ඇතුළෙ වෙනස් කොට සැලකීම සිදු වුණේ නෑ. මම වෙනස් කෙනෙක් කියන හැඟීමවත් මට ආවෙ නෑ.
ඒ වාසනාව මට හැමදාම ලැබුණා. කුඩා අවධියේ මගෙ අම්මයි තාත්තයි, මගේ පාසලේ මිතුරන්වත් කවදාවත් මට වෙනස් විදිහට සැලකුවෙ නැති බව කිව යුතුයි. පසු කාලයේදී මට හමුවුණු යාළුවොත් එහෙමයි. වනජීවී කලාව පිළිබඳ හසළ දැනුමක් ඇති ශිල්පීනුත් එහෙමයි.” තරිඳු කීවේය. ඒ කතාව මේ සම්මානයටත් වඩා බොහෝ ඉහළින් ඇති එකක් බව විශ්වාස කරමි.
තරිඳු සම්මානයට පාත්‍ර වූ ඡායාරූපය විශේෂ එකකි. මරණයේ මුවදොර අබියස සිටිනා සිය සගයා බේරා ගැනීමට කොටියා සමඟ සටන් කරන වල් ඌරන් රංචුව සහිත ඒ විරල ඡායාරූපය ගැන තරිඳු කතා කළේය.
“මේක ගත්තේ යාල ජාතික වනෝද්‍යානයේදි. තල්ගස් මංකඩ බංගලාවෙ අපි හිටියේ. බංගලාවට එද්දි තල්ගස්මංකඩට ප්‍රදේශයේ කොටි යුවළක් හිටියා කියන ආරංචිය ආවා. අපි බංගලාවට ඇවිත් කෑම කාලා ජීප් එකට නඟිනකොට කොටි දෙන්න ඒ අවට හිටියා කියන පණිවිඩය ආවා.
සම්මානයට ඉහළින් ඇති මනුෂ්‍යත්වය
මේ වගේ වෙලාවට අත්දැකීම් වටිනවා. කොටි හිටිය තැනට පිටිපස්සේ තිබුණෙ වතුර පිරුණ ජලාශයක් අපි දන්නවා කොටි වතුරට යන්නෙ නෑ. ඒ හින්දා අපි දැනගෙන හිටියා ඔවුන් විරුද්ධ පැත්තට තමයි එන්නෙ කියලා. හිතුවා වගේම කොටි යුවළ එළියට ආවා. එතකොටම වල් ඌරෙක් එතනින් මතු වුණා. අපි කැමරාව ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නවා. අපි බලාපොරොත්තු වුණේ දඩයමක්. කොටි දෙන ගහකට නැග්ගා. කොටියා පැන්නා වල් ඌරාට. ඌව අල්ලනකොටම වල් ඌරා මරහඬ දුන්නා. අපි කවදාත් හිතුවෙ නැති වැඩක් වුණේ. වල් ඌරා බේරගන්න එක පාරටම ඌරු රංචුවක් කැලෑවෙන් ආවා. ඇවිත් කොටියා එක්ක සටන් කරලා තමන්ගෙ මිත්‍රයා මරන්න දෙන්නේ නැතිව බේරගත්තා. මේ සියලුම සිද්ධි මගේ කැමරාවෙ සටහන් කරගත්තා. ඒක මගෙ ජීවිතේ අමතක නොවන අත්දැකීමක්.
මේක මගෙ ළඟ තිබුණා. දවසක් මම මේ ෆොටෝ එක මගේ සහෘද වනජීවි ඡායාරූප ශිල්පීන්ට පෙන්නුවා. ඔවුන් තමයි කියන්නේ මේක මරු නෙ. ඇයි මේක දාන්නෙ නැත්තේ කියලා. මම හිතන්නේ නෑ ලෝකයට දාන්න. ආසියාවෙ තියන හොඳම ෆෙස්ටිවල් එක ‘සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් දි ඉයර්’. මේ තරගයට මම දාන්නේ තරගයේ ක්ලොසින් ඩේට් එක දවසෙ. පින්තූර පහක් දාන්න පුළුවන් වුණත් මම දැම්මේ දෙකයි.” ඔහු කියන්නේ මේ තරගය සඳහා ඉදිරිපත් වීමත් සිය සහෘදයන්ගේ පෙලඹවීම මත සිදුවූ එකක් බවය.
“විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් විදිහට පොදුවේ සමාජය හිතන විදිහට කල්පනා කළොත් මට සෆාරි ජීප් එකට නඟින තැන ඉඳන් අභියෝග තියනවා. නමුත් ජීවිතයේ හැම දේම අපට තියෙන දෙයින් කරගන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය මේ ඡායාරූපය. ඒ ඡායාරූපය ගත්තෙත් සාමාන්‍ය මූලික කැමරාවකින්. සමහර අය පුදුම වෙනවා ඒ කැමරාවෙන් මම මේ ඡායාරූපය ගත්තද කියලා. අවශ්‍ය සංයමය කැපවීම සහ දැනුම තිබෙනවා නම් විශ්වාසය තිබෙනවා නම් තබෙන දේ තමයි හොඳම දේ. තියන දෙයින් පටන් ගන්න. අනික් කාරණාව, ජීවිතේට මහා දේවල් අවශ්‍ය නෑ. ආත්ම විශ්වාසයයි, අවශ්‍යම වෙලාවට තමන් අත් නොහරින ආදරණීය සහෘදයො කීප දෙනෙකුයි ඉන්නවා නම් නම් ජීවිතය ගොඩගන්න ඒ විතරක් ඇති. “ඔහුගේ ඒ දැක්ම සම්මානයකට වඩා වටිනා යමක් අපට ලබා දී ඇතැයි විශ්වාස කරමි.
ටානියා මෝසස්