Home » ශ්‍රී ලාංකික බිරිය ඝාතනය කළ සාහසික සැමියා වසර 37කට සිපිරි ගෙට

ශ්‍රී ලාංකික බිරිය ඝාතනය කළ සාහසික සැමියා වසර 37කට සිපිරි ගෙට

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

සර 2022 දෙසැම්බරයේ 3 වැනිදා මෙල්බර්න් නුවරදී සිය දරුවන් ඉදිරියේදීම ශ්‍රී ලාංකික බිරිය නෙලොමි පෙරේරා ඝාතනය කිරීමේ චෝදනාවට ඇගේ සැමියා වූ දිනුෂ් කුරේරාට වසර 37ක සිරදඬුවමක් නියම විය. මෙල්බර්න් නුවර අයත් වන වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ මේ තීන්දුව ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියානු සියලු පුවත්පත්වල ප්‍රධාන පුවතක් බවට ද පත්වී තිබිණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අමන්දා ෆොක්ස් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඇසින් දුටු සාක්ෂි ප්‍රමාණවත් වූ බැවිනි. එමෙන්ම වසර 30ක සිරදඬුවමක් ගතකිරීමකින් තොරව ඔහුට සිය දඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීම ද විනිසුරුවරිය විසින් වළක්වනු ලැබීය.

බිරිය ඝාතනය වූයේ සිය ආත්මාරක්ෂාව සඳහා කටයුතු කිරීමට උත්සාහ දැරීමේදී බව දිනුෂ්ගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පුන පුනා කළ ප්‍රකාශය මේ අවාසනාවන්ත සිදුවීම සියැසින් දුටු ඔවුන්ගේ දරුවන්ගේ සාක්ෂිවලින් එහෙම පිටින්ම යටපත් වූ බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේය.

අත්පොරොවක් සහ පිහියක් භාවිත කරමින් දිනුෂ් කුරේරා කළ මේ අපරාධය චේතනාන්විතව සිදු කළ බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු වූ බැවින් දිනුෂ්ගේ පාපෝච්චාරණයෙන් ඔහුට කිසිදු නීතිමය වාසියක් ද අත් නොවිණි. එය පැහැදිලිවම ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් යුතුව කළ පහර දීමක් බවත්, අත්පොරොවක් සහ පිහියක් අතැතිව ඔහු නිවෙසට ඇතුළු වී ඇත්තේ පසුපස දොරටුවෙන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිදරව් වූ අතර, යොවුන් වියේ පසුවන කුරේරා පවුලේ දරුවන් ඒ පිළිබඳ සියලු තොරතුරු පොලීසියට ලබා දුන් ප්‍රකාශයේදී පැහැදිලිවම සඳහන් කර තිබිණි.

ඔවුන්ගේ 16 හැවිරිදි දියණියගේ සාක්ෂිය මේ ඝාතන නඩුවේ ප්‍රබලතම සාධකය බවට පත්වී තිබිණි. පියා විසින් මවට පිහියෙන් ඇන ඝාතනය කිරීමට උත්සාහ දැරීම වැළැක්වීමට දියණිය දැඩි උත්සාහයක නිරත වී තිබූ අතර, එහිදී ඇයට ද තුවාල සිදු වූ බව සඳහන් විය.

“ඔබේ අධික කෝපය ඝාතනය කිරීමේ අරමුණ ඉටු කිරිමට ඔබව පොලඹවා තිබේ. බිරියගෙන් නිදහස් වීමට ඔබට තිබූ එකම විකල්පය ඇය ඝාතනය කිරීම බවට ඔබ කල්පනා කර තිබේ. “නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය එසේ සටහන් කර ඇතැයි ද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. බිරිය ඝාතනය කිරීමෙන් නොනැවතී ඊට එරෙහි වූ ඔවුන්ගේ පුත්‍රයාට ද දිනුෂ් කුරේරා පහර දුන් බව පැමිණිල්ලේ නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කර තිබූ අතර, වසර 37ක සිරදඬුවම් නියම කිරීමේදී එම කරුණ කෙරෙහි ද විනිසුරුවරිය අමන්දා ෆොක්ස්ගේ දැඩි අවධානය යොමුවී තිබිණි.

නෙලොමි සහ ඇගේ සැමියා දිනුෂ් අතර පවුලේ ආරවුල එම සිදුවීමට පමණක් සීමා වූ එකක් නොවූ අතර, ඊට පෙර අවස්ථා කිහිපයකදීම ඇයට පහර දීමේ හේතුවෙන් ඔහුට එරෙහිව මෙල්බර්න් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබිණි. කුරේරා පවුලට අයත් මෙල්බර්න් නුවර සැන්ඩ්හර්ස් ප්‍රදේශයේ පිහිටි නිවෙසට යෑම තහනම් කිරීමට ද මෙල්බර්න් අධිකරණය නියෝග කර තිබූ බව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු අනාවරණය විය. දිනුෂ් පෙරේරා 2022 දෙසැම්බරයේ 3 වැනිදා රාත්‍රියේ ඔවුන්ගේ නිවෙසට ඇතුළු වූයේ එම නියෝගය ද කඩ කරමිනි. එම නියෝගය නිකුත් වෙද්දී දිනුෂ් කුරේරා ඔස්ට්‍රේලියාවේ සිටියේ නැති බවත් ඔහු නැවත ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ ඝාතනය සිදු කළ දිනයට දින කිහිපයකට පෙර බවත් වාර්තා විය. ඒ වනවිට දිනුෂ්ගෙන් දික්කසාදවීම සඳහා නෙලොමි පෙරේරා නීතියේ පිහිට පතා තිබූ බවත් එවැනි තීරණයක් ගැනීමට ඇය පොලඹවා ඇත්තේ තවදුරටත් සැමියාගේ පහර දීම් ඉවසාගත නොහැකිවීම හේතුවෙන් බවත් පැමිණිල්ලේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියට කරුණු ප්‍රකාශ කර තිබූ අතර, ඉන් පසුව බිරිය ඝාතනය කිරීමට ඔහු විසින් සැලසුම් කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු විය.

2022 දෙසැම්බරයේ 3 වැනිදා රාත්‍රියේ ඔහු පසුපස දොරටුවෙන් නිවෙසට ඇතුළු වී ඇත්තේ අත්පොරොවක් සහ පිහියට අමතරව පෙට්‍රල් කෑනයක් ද අතැතිව බවත්, බිරිය ඝාතනය කිරීම හැර ඔහුට වෙනත් කිසිදු අරමුණක් නොතිබූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු දෙගිඩියාවකින් තොරව පිළිගෙන තිබිණි.

බිරියට පහරදීම වැළැක්වීමට දරුවන් දෙදෙනා ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් ඇයට අත්පොරොවෙන් සහ පිහියෙන් පහර දී සාලය මැද මියයන්නට ඉඩ හැර ඔහු නැවත නිවෙසින් පිටව ගොස් තිබූ අතර, එම ප්‍රහාරය සඳහා ගත වී ඇත්තේ මිනිත්තු 14ක තරම් කෙටි කාලයක් බව පොලිස් වාර්තාවේ සඳහන් වී ඇත.

මවට පහර දී ලේ විලක් මැද ඇය දමා පියා නිවෙසින් පලා යෑමෙන් පසු ඔවුන්ගේ දරුවන් දෙදෙනා පත්වූ මානසික ව්‍යාකූලත්වය ඉතා බරපතළ බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අවබෝධ කරගත්තාය. එවැනි මානසික ව්‍යාකූලත්වයකට දරුවන් ඇද දැමීමේ අපරාධය ලොව කිසිදු අධිකරණයකින් සමාව නොලැබෙන බරපතළ තත්ත්වයක් බවට ඉදිරිපත් වූ පැමිණිල්ලේ නීතිඥවරයාගේ ප්‍රකාශයට ශ්‍රේෂ්ඨාධිකරණය මුළුමනින්ම එකඟතාව පළ කර තිබිණි.

මියයෑමට පෙර සිය දරු දෙදෙනා සියැසින් දැක බලාගත් නෙලොමි පෙරේරා අවසන් වරට කළ ප්‍රකාශය ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු වාර්තා විය. “මම මැරෙන්න යන්නේ…” ඒ, නෙලොමි සිය දියණියට කළ ප්‍රකාශය ඇගේ ජීවිතයේ අවසන් වදන් කිහිපය විය.

බිරියට පහර දීමෙන් පසු දිනුෂ් කුරේරා ඔවුන්ගේ පුත්‍රයාට ද පහර දී තිබූ අතර, පුත්‍රයාගේ හිස පසුපසට, උරහිසට සහ දණහිසට අත්පොරෝ පහරින් තුවාල සිදු වී තිබිණි. මවට පහර දී පියා පලා යෑමෙන් පසු නිවෙසින් පිටතට පැනගත් දරු දෙදෙනා එම සිදුවීම ගැන ප්‍රකාශ කිරීමෙන් පසු අසල්වාසීන් ගිලන් රථ සේවයට සහ පොලීසියේ හදිසි දුරකතන ඇමතුම් ඒකකයට එය දැනුම් දී තිබේ.

වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිනුෂ්ගේ ඉරණම තීන්දු කිරීමේ නඩු විභාගයට කුරේරා පවුලේ සමීපතමයෝ රැසක් සහභාගි වී ඇති අතර, ඔවුන් අසුන් ගෙන සිටියේ දිනුෂ් කුරේරාට මීටර් කිහිපයක් ඈතිනි. ඔවුන්ගේ ඇස නොගැටෙන්නට ඔහු ඉවත බලා සිටි බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එසේ කිරීමෙන් සිය සමීපතමයන්ගේ දෙනෙත්වලින් ගැලවීමට ඔහුට හැකිවූවත් බිරිය ඝාතනය කිරීමේ චෝදනාවට ඔහුට නීතියෙන් නම් කිසිදු ගැලවීමක් නොලැබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division