සුවිශේෂි හැකියාවන් සහිත බොහෝ දෙනෙක් මේ ජන සමාජයේ සිටින බව රහසක් නොවේ. එවැනි අයට සමාජයෙන් වැඩි වටිනාකමක් ද ලැබී ඇත්තේ එම හැකියාවන්වල ප්‍රබලත්වය නිසාමය. එහෙත් එවැනි ‘වටිනා මිනිසුන්’ ද මත්ද්‍රව්‍ය විසින් ගිල ගැනීම නම් ඉතාම කනගාටුදායක තත්ත්වයකි. එවැනි කතා ඕනෑතරම් අසන්නට දකින්නට ලැබුණේ පසුගිය කාලයේදීය. දක්ෂ ක්‍රීඩකයන්, මෘදුකාංග ඉන්ජිනේරුවන් ඇතුළු විවිධ ක්ෂේත්රවල දක්ෂතා දක්වන පුද්ගලයන් ද මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් සැලකිය යුතු සංඛ්‍යාවක් පසුගිය දිනවලදී වාර්තා විය.
මේ කතාව ද එවැන්නකි. වාර්තා වූයේ බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායමක් පසුගිය දිනවල සිදුකරන ලද විමර්ශනයකදීය.
බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් අදාළ පළාත ඇතුළත පසුගිය දිනවල සිදුකරන ලද විමර්ශනවලදී ලොකු ප්‍රගතියක් අත්කරගෙන තිබුණේ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදුකරමින් අපරාධකරුවන් සැලකිය යුතු පිරිසක් ද අත්අඩංගුවට ගනිමිනි.
බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන්ට එම පළාතේ පොලිස් ස්ථානවලට වාර්තා වන එහෙත් නොවිසඳුන අපරාධ සම්බන්ධව තොරතුරු දෛනිකව වාර්තා වන අතර එම නිලධාරින් එම සිදුවීම් සම්බන්ධව ද තමන්ගේ සුවිශේෂි අවධානය යොමු කිරීම ද සම්ප්රදායකි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ රුපියල් ලක්ෂයකට වඩා වැඩි වටිනාකමින් යුතු ලැප්ටොප් පරිගණකයක් අඩංගු බෑගයක් එලෙසම සූදානම් කරන ලද හිස් බෑගයකට මාරුකර කිසිවකු විසින් සොරකම් කර තිබිණි.
ලැප්ටොප් පරිගණකය අයත් ශිෂ්‍යයා ඒ පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණු අතර එහි අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් ඒ ගැන විමර්ශන ඒ වනවිටත් ආරම්භ කර තිබිණි. එහෙත් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබුණේ නැත.
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මේ ගැන විමර්ශන පවත්වමින් සිටියදි බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ද මේ පිළිබඳව සොයා බලමින් සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාය. එලෙස පරීක්ෂණ පවත්වන පොලිස් සැරයන් (60161) වසන්තට අදාළ සැකකරු පිළිබඳව සියුම් හෝඩුවාවක් ලැබෙන්නේ ඔය අතරය.
මේ සැකකරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ලැප්ටොප් පරිගණකය සහිත ගමන් බෑගය සොරකම් කරගෙන යන දර්ශන ඒ අසල සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර ඒ අනුව සැකකරුගේ හැඩරුව ද සැරයන් වසන්ත අතට පත්ව තිබිණි.
ඒ අතර සැරයන් (60161) වසන්ත සොයා ගන්නේ අදාළ සැකකරු දෙහිවල වැල්ල ආශ්‍රිතව පදිංචිව සිටින බවයි. ඒ අනුව එහි ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගන්නේ දින කීපයක් ඇතුළතදීය.
සැකකාර පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී සැරයන් වසන්ත ඇතුළු කණ්ඩායම හෙළිකර ගත්තේ මේ පුද්ගලයා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක පසුගිය කාලයේ සිදුවූ සොරකම් රැසකට සම්බන්ධ අයකු බවයි.
සැකකරුගෙන් තවදුරටත් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ඔහු බම්බලපිටිය, වැල්ලවත්ත, ගල්කිස්ස, කොල්ලුපිටිය සහ දෙහිවල ප්‍රදේශවල සිදුකරන සොරකම් 8ක තොරතුරුය. අදාළ සොරකම්වලදී සැකකරු විසින් සොරාගත් භාණ්ඩවලින් කොටසක් සැකකරුගේ නිවෙසේ තිබියදී සොයා ගැනිණි. සෙසු භාණ්ඩ දෙහිවල, ගල්කිස්ස සහ ස්ටේස්පුර ප්‍රදේශවල පුද්ගලයන්ට අඩු මිලට විකුණා තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකිවිය.
මේ සැකකරුගේ ‘පැටිකිරිය’ සොයන පොලිස් නිලධරයන් හෙළිකර ගත්තේ ඔහු නාත්තන්ඩියේ පදිංචි අයකු බවයි. ඔහු කලක් වෘත්තීය මාර්ගෝපදේශකයකු වශයෙන් කටයුතු කර ඇති බවද ඔහුට භාෂා 7ක් චතුර ලෙස කතා කිරීමට හැකි අයකු බවද හෙළිවන්නේ ඔය අතරය.
මේ සැකකරු සොරකම් කර තිබුණු නවීන පන්නයේ ලැප්ටොප් පරිගණක හතක්, පාපැදි තුනක්, රූපවාහිනි යන්ත්‍රයක්, ජංගම දුරකතන සහ තීන්ත තොගයක් ද පොලිසිය සොයා ගන්නේ ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය. සොයා ගන්නා ලද එම තීන්ත තොගයේ වටිනාකම රුපියල් පන්ලක්ෂයකි.
මේ පුද්ගලයා කලක් ‘කොකේන්’ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිව සිටි අයෙක් වන අතර ඒ සඳහා ඔහුට විශාල මුදලක් වැය වී තිබේ. එම නිසා කොකේන් පානය අතහැර දැමූ සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍යවලට හුරු පුරුදුවී ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි විය. සැකකරු මේ වන විට දිනකට මත්කුඩු පැකට් 10 – 15 අතර සංඛ්‍යාවක් පානය කිරීමට හුරුපුරුදුව සිටි බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකාර පුද්ගලයාගේ වයස අවුරුදු 32කි. ඔහු ඉංග්‍රීසි, දෙමළ, හින්දි, අරාබි, රුසියන් සහ ජර්මන් භාෂා චතුර ලෙස කතා කිරීම සඳහා නිපුණතාවක් ලබා තිබිණි. අදාළ සැකකරු විසින් සිදුකරන ලද සෙසු අපරාධවල සුලමුල හෙළිකර ගැනීම සඳහා පොලිස් විමර්ශන පැවැත්වෙයි.
බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ජේ. එච්.එම්.එන්. ජයපත්ම, එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ යන නිලධරයන්ගේ උපදෙස් මත ඒකක 02 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක, සැරයන්වරුන් වන (56958) ප්‍රසන්න, (60161) වසන්ත, (61249) ලංකා, (40730) ධනුෂ්ක, කොස්තාපල්වරුන් වන (83774) සුධීර, (104607) සෙනෙවිරත්න යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
ඡායාරූප – බණ්ඩාරගම – බිමල් ජයසිංහ