ඇතැම් ආරක්ෂක අංශවල සේවයේ නිරතව සිටින හෝ සේවයෙන් ඉවත්වූ සේම සේවය අත්හැර පලා ගිය පුද්ගලයන් අපරාධ කල්ලි කණ්ඩායම්වලට එකතු වී ඔවුන් සමඟ සම්බන්ධව මත්ද්‍රය ජාවාරම්, කුලී ඝාතන සිදුකරන බව රහසක් නොවේ. එවැනි පුද්ගලයන් ගණනාවක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර සැඟවී සිටින තවත් පිරිසක් අල්ලා ගැනීම සඳහා ද විමර්ශන ක්‍රියාත්මකය.
ස්වයංක්‍රීය තුවක්කු මනා සේ භාවිතයට හැකි වීම, පුහුණුව, දක්ෂතාව, ඉලක්කයට වෙඩි තැබීමට හැකිවීම, වාහන ධාවනය, යම් අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව ඉතා ක්ෂණිකව පලා යාමේ හැකියාව නිසා ආරක්ෂක අංශවලින් ඉවත්වූ ඇතැමුන්ට පාතාලයෙන් ඇත්තේ හොඳ ඉල්ලුමක් බව පෙනෙන්නට ඇති ප්‍රධානම කාරණයකි.
ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලිසියෙන් ඉවත්වූ 750ක පමණ පිරිසක් සමාජයේ ගැවසෙමින් විවිධ අපරාධවල නිරතව සිටින බවට තොරතුරු හෙළිවී ඇති බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද පසුගියදා අනාවරණය කර තිබුණේ මහනුවර ප්‍රදේශයේදීය. කලකට ඉහතදී සිදුකරන ලද මේ විමර්ශනයේදී හෙළි වූයේ එලෙස පලාගොස් අපරාධ සිදුකරන පිරිස අතර සිටින හිටපු සෙබළුන් සංඛ්‍යාව වැඩි බවයි. මේ අතර එලෙස හිටපු සෙබළකු ඇතුළු තිදෙනෙක් සිදුකළ සොරකම් රැසක තොරතුරු හෙළිකර ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලිසියේ නිලධරයන් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය. ඒ හික්කඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.
හික්කඩුවේ දෙස් විදෙස් සංචාරකයන් ලැගුම් ගන්නා සංචාරක නිවාඩු නිකේතන තුනක් බිඳ රුපියල් ලක්ෂ 50ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් ගැන හික්කඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විමර්ශන ආරම්භ කර තිබුණේ පසුගියදාය. මේ ගැන අදාළ සංචාරක නිවාඩු නිකේතනවල කළමනාකාරිත්වය ද පොලිසියට පැමිණිලි කර තිබිණි. අදාළ සංචාරක නිවාඩු නිකේතනවලට ගිය පොලිස් නිලධරයෝ විමර්ශන ආරම්භ කළේ ඇඟිලි සටහන් ද සොයමිනි. සැක කටයුතු පුද්ගලයන් කීපදෙනෙක් ගැන පොලිසියට ඒ වනවිටත් තොරතුරු ලැබී තිබිණි. ඊට අමතරව පොලිස් නිලධාරින් තොරතුරු සෙව්වේ හික්කඩුව ප්‍රදේශයේ මීට පෙර සිදුවූ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ගැනය. ඒ මේ සංචාරක නිවාඩු නිකේතන තුන බිඳ භාණ්ඩ සොරකම් කිරීමට එම පුද්ගලයන්ගේ සම්බන්ධයක් ඇත්දැයි සෙවීම සඳහාය.
මෙලෙස පැති කීපයකින් විමර්ශන කටයුතු සිදුකරන හික්කඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හොඳ හෝඩුවාවක් ලැබිණි. ඒ මේ සංචාරක නිවාඩු නිකේතන තුන බිඳ බඩු භාණ්ඩ සොරකම් කළ අය පිළිබඳවය. මේ පිළිබඳ තොරතුරු ඉතාම විමසිල්ලෙන් සොයා බැලූ විමර්ශන නිලධාරින් සොයා ගන්නේ මේ සොරකමට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනෙකුම සිටින බවය.
ඒ අය පිළිබඳව තොරතුරු සොයාගත් පොලිස් නිලධරයන්ට හිටපු නාවික සෙබළකු සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ හික්කඩුව සහ බූස්ස ප්‍රදේශවලදීය.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද හිටපු නාවික සෙබළා මේ සොර කල්ලියට නායකත්වය දී ඇති බවට සැක කැරිණි. ඔහු ඇතුළු තිදෙනාගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයකු හඳුනා ගැනිණි. ඔහු ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලාගොස් සිටියේය.
අදාළ සංචාරක නිවාඩු නිකේතන තුන බිඳ සොරකම් කළ දේපළ අතර රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්වර්ණාභරණ, දෙස් විදෙස් මුදල් තිබුණ අතර එම දේපළවලින් කොටසක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. මේ කල්ලිය එලෙස සොරකම් කරන ලද මුදල්වලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා නවීන මෝටර් බයිසිකලයක් ද සොයා ගැනිණි.
කල්ලියේ ප්‍රධානියා බවට සැක කරන හිටපු නාවික සෙබළා බූස්සේ පදිංචිකරුවෙකි. ඔහු වසර 12ක සේවා කාලයකින් පසු සේවයෙන් ඉවත්ව සිටි අයෙකි. නාවික සෙබළා ඇතුළු සිවුදෙනා මුහුණු ආවරණය කරගෙන හිසට කැප් තොප්පි දමාගෙන රාත්‍රී කාලයේදී හික්කඩුව මුහුදු වෙරළට එකතු වී වෙරළ ආසන්නයේ පිහිටි අදාළ සංචාරක නිවාඩු නිකේතන තුනට ඉතා සූක්ෂ්මව ඇතුළුවී මෙම සොරකම් සිදුකර ඇති බව හෙළි වූයේ ඔවුන්ගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදීය.
එහිදී මේ පුද්ගලයෝ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ඩොලර් 2050ක් දියමන්ති මුද්දක්, රන් ගුළියක්, රන්මාල 3ක් සහ දෙස් විදෙස් මුදල් සොරකම් කර තිබිණි. මේ අය සොරකම් කළ සෙසු දේපළ සොයා ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළේ අනතුරුවයි. හිටපු නාවික සෙබළාගෙන් ප්‍රශ්න කෙරුණේ රැඳවුම් නියෝග මතය.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරිගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණසේන, උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, සැරයන්වරුන් වන (36642) ගාල්ලගේ, (57964) නන්දන, (10993) අසංක, කොස්තාපල්වරුන් වන (104885) සනිඳු, කොස්තාපල්වරියන් වන (9748) දිල්හානි, (9605) උදයංගනී යන නිලධාරින් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර
ඡායාරූප – අනුරාධ ප්‍රියදර්ශන කරන්දෙණිය සමූහ