පසුගිය දින කීපයේදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොග පිටින් අත්අඩංගුවට ගනිමින් මහා පරිමාණ මත්කුඩු වැටලීම් කීපයක්ම සිදු කළේය. එලෙස සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ අනාවරණය වූ මත්ද්‍රව්‍ය ජාවාරම් එතෙක් ආරක්ෂක අංශ හඳුනාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාවාරම් නොවීම විශේෂත්වයකි.
එසේ අත්අඩංගුවට ගත් ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරමක් ලෙස මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ගාල්ල, නාගොඩ ද අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 294 මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගියදා වටරැකදී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 87ක් වූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ද එතෙක් ආරක්ෂක අංශවලට අනාවරණය නොවූ මහා පරිමාණ ජාවාරම්කරුවන් විසින් සිදු කරමින් තිබූ ජාවාරම් ලෙස සැලකේ.
ඒ අනුව මෙරට තුළට මත්ද්‍රව්‍ය තොග ගෙන එන තව තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් සිටින බව පසක් කරමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගෙන සැකකරුවක් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. ආර්. පාරමුල්ලගේ ඇතුළු කණ්ඩායමට හැකි විය. ඒ, ඉකුත් 11 දා සිදුකළ වැටලීමකදීය.
කහතුඩුව පොලිස් වසමේ, පොල්ගස්ඕවිට වෑතර රෝහල ආසන්නයේ නිෙවසක් කුලියට ගෙන සිදුකළ එම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම එස්ටීඑෆ් නිලධාරින් කොටුකර ගත් ආකාරය සටහන් වන්නේ මෙසේ ය. ඉකුත් 11 වැනිදා පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2හි නිලධාරියකුට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් විශ්වසදායි තොරතුරක් ලැබිණි.
“සර්… කැස්බෑව හතරමං හන්දියේ කලර් ලයිට් එක ළඟට තව ටික වේලාවකින් මෑන් කෙනෙක් එනවා… එයා සීටී හන්ඩ්‍රඩ් බයික් එකක එන්නේ… පොර අයිස් කිලෝ එකක පැකට් එකක් බිස්නස් කරන්න අරන් එන බව තමයි ආරංචිය…” යැයි කී එම තොරතුරුකරු එලෙස මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයා හොරණ දෙස සිට කැස්බෑව හතරමං හන්දියට එන බව කියද්දී එම පුද්ගලයාගේ හැඩරුව ඇතුළු බොහෝ තොරතුරු එම තොරතුරුකරුගෙන් එස්ටීඑෆ් නිලධාරියාට ලැබිණි.
තමන් ලද එම තොරතුර පිළිබඳව පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුම්වත් කිරීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකරගේ අධීක්ෂණයෙන් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2හි ස්ථානාධිපති සී. ආර්. පාරමුල්ලගේ ඇතුළු කණ්ඩායම ඉතා ඉක්මනින් කැස්බෑව හන්දියේ වර්ණ සංඥා පුවරුව ආසන්නයේ රැකවල්ලා සිටියේ අදාළ පුද්ගලයා පැමිණෙන තෙක්ය.
ගතවූයේ මඳ වේලාවකි. එදින පෙරවරු 9.30 පමණ වෙද්දී එම පුද්ගලයා තොරතුරුකරු කී ලෙසට සීටී හන්ඩ්‍රඩ් වර්ගයේ යතුරුපැදියකින් පැමිණියේය. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ එස්ටීඑෆ් නිලධාරින් කණ්ඩායම එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. ඔහු පරීක්ෂා කරද්දී ළඟ සඟවාගෙන තිබූ බෑගයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක පාර්සලයක් හමු වූයේ තොරතුරුකරුගේ තොරතුර ‘තිත‘ටම නිවැරැදි බව පසක් කරමිනි.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 27 හැවිරිදි පිලාන කංකානම්ගේ ක්‍රිෂාන් සංජුල හෙවත් සංජු නමැත්තෙකි. සංජු නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරුව එස්ටීඑෆ් නිලධාරින් සංජුගෙන් විමසුවේ ඔහු අයිස් මත්ද්‍රව්‍ය පාර්සලය රැගෙන ආවේ කොහි සිටද යන්න පිළිබඳවය. එහිදී සංජු තමන් එම අයිස් මත්ද්‍රව්‍ය පාර්සලය රැගෙන ආවේ කුමන ස්ථානයක සිට ද යන්න එස්ටීඑෆ් නිලධාරින්ට හෙළි කළේය.
“සර්… මේ බඩු මගේ නෙවෙයි… මං කරන්නේ ට්‍රාන්ස්පෝට් කරන එක විතරයි… මේක මං අරගෙන ආවේ පොල්ගස්ඕවිට… වෑතර ගෙදරක ඉඳලා…” යැයි ඔහු කීමත් සමඟ කැස්බෑව හන්දියේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකින් පිහිටි එම නිෙවසට එස්ටීඑෆ් නිලධාරින් සංජු රැගෙන ගියේය. නිෙවස පිහිටියේ පොල්ගස්ඕවිට වෑතර රෝහලට ආසන්න හොරණ – කොළඹ මාර්ගයේ කොළඹ දෙස සිට යන විට වම්පසින් පිහිටි අතුරු මාර්ගයක මීටර් 150ක් පමණ දුර ගිය විටය.
එම නිවෙසට ගිය එස්ටීඑෆ් නිලධාරින් නිෙවස පරීක්ෂා කරද්දී කාමරයක තිබූ වානේ කබඩ් එකක් ගැන අවධානය යොමු විය. එහි යතුර සංජු ළඟ තිබිණි. එම කබඩ් එක විවෘත කළ එස්ටීඑෆ් නිලධාරින්ට එහි තිබී හමු වූයේ මත්ද්‍රව්‍ය වර්ග රැසකින් යුතු තොගයකි.
ඒ තුළ අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ මත්පෙති වර්ග ද තිබිණි. අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂාවේදී නිවෙසේ එම කබඩ් එකේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5කට ආසන්න ප්‍රමාණයක් සහ ඩාන්සින් ෆිල් නමින් හැඳින්වෙන මත්පෙති 800ක ප්‍රමාණයක් හමු විය. එම වැටලීමෙන් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 12කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සංජුගෙන් ප්‍රශ්න කළේ එම මත්ද්‍රව්‍ය තොගය කාගේ ද යන්නයි.
“සර්… මේ බඩු එව්වේ කාංචනා… එයා ඩුබායි ඉන්නේ… කාංචනා මට කෝල් කරලා කියනවා අහවල් තැනට ගිහින් තියන්න… නැත්නම් අහවල් තැනට අරන් යන්න… එතෙන්ට කෙනෙක් එයි එයාට දෙන්න කියලා… ඒ එන කෙනා හඳුනාගන්න තොරතුරකුත් එයා මට දෙනවා… මං කැස්බෑවට අයිස් කිලෝ එකක් අරන් ගියෙත් එහෙම කාංචනා කියපු කෝල් එකකට…” යැයි සංජු හෙළි කළේය.
රුපියල් විසිදහසක මුදලකට එම නිවෙස කුලියට ගෙන සිටි සංජු, කාංචනා කී ස්ථානයක සිට එම නිවසට මත්ද්‍රව්‍ය තොගය ගෙනැවිත් ඇත්තේ ඉකුත් දිනෙකය. අනතුරුව ඇය දුරකතන ඇමතුම් දීමෙන් පසු ඇය කියන බඩු වර්ගය සහ ප්‍රමාණය රැගෙන කාංචනා පවසන ස්ථානයකට රැගෙන ගොස් දීම සංජුගේ කාර්ය බව ඔහු හෙළි කළේය. එම මත්ද්‍රව්‍ය තොගය හමුවූ නිෙවස මීට මාසයකට පමණ පෙරදී කුලියට ගත් නිවෙසකි. මත්ද්‍රව්‍ය ජාවාරම තනිකරම මෙහෙයවා ඇත්තේ ඩුබායි සිටින කාංචනාය. ඇය ඩුබායි සිට මෙරට සිටින සංජු මෙහෙයවමින් ජාවාරම කලෙක සිටම සිදුකර තිබුණේ වරින්වර කුලී නිවාස මාරු කරමිනි. මාස කීපයක් එක් කුලී නිවෙසක සිටින සංජු නැවත දින කීපයකින් වෙනත් කුලී නිවෙසකට යන බව කීවේ කාංචනාගේ නියෝගය අනුවය.
එසේම මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයන් ලෙස කුලී නිවෙස අවට මත්ලෝලීන්ට විකිණීමක් සංජු විසින් සිදු නොකරන බව කී අතර කුලී නිවෙසට කිලෝමීටර් කීපයක් දුරින් සිටින මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයන්ට පමණක් ඔහු කිලෝ ගණනින් මත්ද්‍රව්‍ය රැගෙන ගොස් දීම සිදු කළ බව කීවේය.
“මේ කිසිම බිස්නස් එකක සල්ලි මට ලැබෙන්නේ නෑ සර්… ඒ ඔක්කොම ගනුදෙනු සහ බඩු ගන්න අයගේ විස්තර දන්නේ… ඒ වගේ බඩු තියන්න… කුලී ගෙදරට බඩු ගේන්න ලොකේෂන් සියල්ල කියන්නේ කාංචනා…” යැයි සංජු වැඩිදුරටත් එස්ටීඑෆ් නිලධාරින්ට පැවසීය.
ඉතාම හොර රහසේ නිවාස කුලියට ගෙන එම ජාවාරම මෙහෙයවූ කාංචනා මෙතෙක් කිසිම ආරක්ෂක අංශයකට අනාවරණය නොවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව හෙළි වේ. ඒ අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගිය දින කීපයේ එවැනි සැඟවුණු මෙතෙක් අනාවරණය නොවූ නවතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීපදෙනකුගේම ජාවාරම්වල සුලමුල අනාවරණය කරගැනීමට සමත්වීම විශේෂත්වයකි.
අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය තොගය සමඟ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර කෙරිණි.
අමිල මලවිසූරිය