නිවෙස්වල හා මහමඟ නවතා තිබෙන යතුරු පැදි සොරගන්නා කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු සමඟ ඔවුන් විසින් සොරාගත් රුපියල් ලක්ෂ දහයකට වැඩි වටිනාකම ඇති යතුරු පැදි හතරක් සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගියදාය.
සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ ‘වයි හන්දිය’ ප්‍රදේශයේදී ඉකුත් (24 දා) සවස යතුරුපැදිකරුවෙකු අනතුරට පත්විය.
යතුරුපැදිකරුගේ පාදයට බරපතළ තුවාල සිදුවී ලේ වහනය වීම නිසා වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථ සේවාවෙන් තුවාලකරු රාගම මහ රෝහලට ඇතුළත් කරන ලද්දේ ක්ෂණිකවය.
සපුගස්කන්ද පොලිස් වසමෙහි සිදුවූ මෙම අනතුර සම්බන්ධව තොරතුරු විමර්ශනයට රාගම රෝහලට ගිය පොලිස් නිලධාරීන්ට අදාළ තුවාලකරු හමු නොවන අතර එම පුද්ගලයා පාදයේ තුවාලය සහිතවම රෝහලෙන් පැන ගොස් ඇති බව පොලිස් නිලධාරීන් දැනගන්නේ එහිදීය.
රෝහලෙන් පැන ආ පාදයේ ආබාධ සහිත පුද්ගලයා මාකොළ ප්‍රදේශයේ ගැවසෙන බවට පොලිස් කොස්තාපල් (31805) චතුරංගට තොරතුරු ලැබී තිබුණේ ඉන් අනතුරුවය.
මාකොළ ප්‍රදේශයේ පොලිස් නිලධරයන් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරි සිදුකරමින් සිටියදී පාදයේ තුවාල සහිතව කොර ගසමින් මාර්ගයේ පයින් ගමන් කළ සැක සහිත පුද්ගලයෙකු නවතා දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ඇතුළු තවත් තිදෙනෙකු එක්ව කලක සිට සිදුකරන ලද යතුරුපැදි සොරකම් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට පොලීසියට හැකි විය.
සැකකරු පොලීසියට පවසා ඇත්තේ මාර්ගයේ හෝ නිෙවසේ රාත්‍රී කාලයේ නවතා ලොක් කර ඇති යතුරුපැදිවල ලොක් එක කඩා කිසිම ආයාසයකින් තොරව වයර් අමුණා එය රැගෙන එන බවයි.
එසේ සොරාගෙන එන යතුරුපැදි උකස් මධ්‍යස්ථානවලට උකස් කර මුදල් ලබාගැනීම සහ තමා විසින්ම ගැනුම්කරුවන්ට විකුණා මුදල් ලබාගන්නා බව ඔහු පොලීසියට පවසා තිබිණි. ඒ සමාජ මාධ්‍යවල “සහන මිලට යතුරුපැදි” වශයෙන් මුහුණුපොතේ දැන්වීම් පළකරමිණි.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ කඩවත ඉහළකරගහමුල ප්‍රදේශයේ වයස අවුරුදු 27ක පුද්ගලයෙක්, කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ වයස අවුරුදු 24ක පුද්ගලයෙක් සහ සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 27ක පුද්ගලයෙකි.
මෙම සැකකරුවන් තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අය බව පොලීසිය පවසයි.
සැකකරුවන් විසින් එගොඩඋයන, ගල්කිස්ස, අඹේපුස්ස සහ දොම්පේ ප්‍රදේශවලින් සොරාගත් යතුරුපැදි හතරක් කඩවත ප්‍රදේශයේ කිහිපදෙනෙකුට විකුණා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙම අපරාධ ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ඒ අය නුදුරේම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය කියයි.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක, සහකාර පොලිස් අධිකාරි ඒ. එන්. ජී. පී. ගුණතිලක යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි සපුගස්කන්ද පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. බී. ඩී. හක්මන, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශාන් ගමගේ, සැරයන්වරුන් වන (32560) පෙරේරා, (19334) අබේරත්න, (3589) තිලකරත්න, (55713) පුෂ්පකුමාර, (4755) සකුන්තලා සහ කොස්තාපල්වරුන් වන (101260) සංකල්ප, (106803) වන්නිනායක, (31805) චතුරංග යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
සුදත් පුබුදු කීර්ති – දෙල්ගොඩ සමූහ