– සුරම්‍යා ගැබිනියක් වුණේ මගේ අතින් නෙමෙයි කියලා මම සිය දහස්වරක් කෑ ගහලා අඬන්න ඇති
– සුරම්‍යාගේ අම්මාගේ කතාවත් එක්ක සුරම්‍යාට මා අතින් මොනවා වුණාද කියලා හිතාගන්න බෑ
– මාමා මාව බලන්න තවමත් හිරගෙදරට එනවා
“ජීවිතේ එකපාරක් හරි පොලිසියේ ළගින්න ඕන. හිරේ යන්න ඕන. එතකොට තමයි ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ.“ හීන් අඩියක් ගහපු දවසට පොඩි මාමා මිදුලේ අඹ ගහ යට ඉඳගෙන එහෙම කියනවා.
“තේරෙනවා නේද කොල්ලෝ උඹට මම කියන දේ?“ මාමා එහෙම කියන්නේ මගෙ ඔළුව අතගාන ගමන්.
“අදත් පටන්ගත්තා විකාර කියවන්න.“ අම්මා එහෙම කියන ගමන් මාව ගෙට එක්කගෙන යනවා.
අපේ මාමා එකත් එකටම හිරේ ඉන්න ඇති. මට ඒ දවස්වල එහෙමත් හිතුණා. ඒත් අම්මගෙන් ඒවා අහන්න බැරි නිසා මම නිහඬව හිටියා. මගේ තාත්තාට ටවුමේ රෙදි කඩයක් තිබුණා. තාත්තයි මාමයි තමයි කඩේ වැඩ කළේ. පවුලේ එකම ළමයා මම නිසා හැමදාම හැන්දෑවට කඩේට යන්න මටත් අවස්ථාව ලැබුණා. අම්මනම් ගෙදරටම වෙලා හිටියා. තාත්තා හැමදේම කළේ පිළිවෙළට. හැම රුපියලක්ම බොහෝම පරිස්සමෙන් පාවිච්චි කළේ. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මටනම් කිසිම අඩුපාඩුවක් තිබුණේම නැහැ.
මගේ තාත්තා මැරෙනකොට මම හිටියේ උසස්පෙළ පන්තියේ. තාත්තාගේ හදිසි මරණයත් එක්ක මට හිතුණා විභාගෙ ලියන්න බැහැ කියලා. ඒත් අම්මනම් හිතුවේ මම විභාගේ ලියලා කැම්පස් යයි කියලා. ඒත් මගේ අවාසනාව කියන්නේ මට විභාගය ලියන්න හිතුණෙම නැහැ.
තාත්තාගේ තුන් මාසේ පින්කම ඉවර වුණාට පස්සේ මම කඩේ කරන්න පටන්ගත්තා. මාමා මගේ තනියට ඉන්න එක අම්මට ලොකු හයියක් වුණා. අපි දෙන්නත් එක්ක දවසින් දවස ව්‍යාපාර දියුණු කරගෙන ගියා. රෙදි වර්ග, ඇඳුම් වර්ග තිබුණ අපේ කඩේට දවසකට හොඳ ආදායමක් ලැබුණා.
“මාමේ අපි තව වැඩට ගෑනු ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් විතර ගමුද?“ මම එහෙම ඇහුවා.
මාමගෙ අකමැත්තක් තිබුණෙත් නැති නිසා ඉන්ටර්විව් එකක් තියලා අපි ගෑනු ළමයි දෙන්නෙක්ව ගත්තා.
කාලය ගෙවිලා ගියා.
“නිමාලියි“, “සුරම්යයි“ තමයි කඩේ උදව්වට හිටියේ. ඒ දෙන්නා නරකමත් නැහැ. සුරම්‍යා හරි ලස්සනයි. සාමාන්‍ය පෙළ විභාගය විතරක් ලියලා තිබුණා. එයා කඩේ වැඩට ඇවිත් තිබුණේ ගෙදර අයගෙත් අකමැත්තක් නැති නිසා. සුරම්‍යා හැම දෙයක්ම පිළිවෙළට කරන ළමයෙක්. මාමත් මේ ළමයි දෙන්නා එක්ක හරිම සහයෝගයෙන් වැඩ කළේ.
සුරම්‍යා අපි ළඟ වැඩට ඇවිල්ලා අවුරුද්දක් විතර යනකොට එයා කොල්ලෙක් එක්ක යාළු වුණා.
“සර් දැන් සුරම්‍යාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවානේ.“ දවසක් නිමාලි හයියෙන් කිව්වා. ඒ මාමාට ඇහෙන්න. සුරම්‍යා ලැජ්ජාවෙන් හිනා වුණා බිම බලාගෙන.
සුරම්‍යා වෙලාවට වැඩට ආවා. හැමදේම පිළිවෙළට කළා. නිමාලිට වෙන රස්සාවක් ලැබිලා එයා අපේ තැනින් අයින් වෙලා ගියා. අපිට සුරම්‍යා බොහෝම විශ්වාස නිසා තව කවුරුවත් ඕනේ නෑ කියලා මාමා අම්මටත් කිව්වා.
ඇත්තම කිව්වොත් මට මගේ නිදහස උපරිමයෙන්ම තිබුණා මාමත් කඩේ ඉන්න නිසා. මගේ මාමාට අවුරුදු පනහත් පහුවෙලා තිබුණේ. එයාට විවාහයක් කරගන්න කවදාවත් උවමනාවක් තිබුණේ නැහැ. අම්මා කිහිප විටක්ම මාමට කසාද බඳින්න කියනවත් මට මතකයි. ඒත් මාමා ඒ හැම දෙයක්ම අතහැරලා හිටියේ.
එහෙම හිටිය මාමා කවදාවත් කෙනෙක්ට කරදරයක් කරයි කියලා මම හීනෙන්වත් විශ්වාස කරන්නේ නැහැ. ඒත් අපට එහෙම දෙයක් වුණා.
දවසක් මම යාළුවෙක්ගෙ උපන්දින පාටියකට ගියා. එදා දවල් එහෙට ගිහිල්ලා මම ෂොප් එකට එනකොට ෂොප් එකෙ පස්හය දෙනෙක් ඇඳුම් තෝරනවා. මාමා පේන්න හිටියෙත් නැහැ. සුරම්‍යා පේන්න හිටියෙත් නැහැ. මම කැෂියර් එකේ වාඩිවෙලා සල්ලි ගත්තා. කට්ටිය පොඩ්ඩක් අඩු වුණාට පස්සේ මම මාමා කොහේද කියලා බැලුවා. ඒත් මාමා පේන්නවත් නැහැ. ඊටත් ටිකකට පස්සේ සුරම්‍යා ගබඩා කාමරේ ඇතුළේ ඉඳලා එළියට ආවා. එයා අඬලා අඬලා මුහුණ හොඳටම ඉදිමිලා.
මම සුරම්යාගෙන් හේතු ඇහුවා. ඒත් උත්තරයක් ලැබුණේ නැහැ. මම හිතුවා එයාගේ කොල්ලා එක්ක මොකක්හරි ප්‍රශ්නයක් කියලා. එදා කඩේ වහන්න ඔන්න මෙන්න කියලා තමයි මාමා ආවේ. කොහෙද ගියේ කියලා ඇහුවට ඒකටත් උත්තර නැහැ. මාස කිහිපයක් ගෙවිලා ගියා. සුරම්‍යා වෙනදා වගේම ආවා ගියා. ඒත් එකපාරටම සුරම්‍යා දවස් දෙකක් ෂොප් එකට එන්නේ නැතිව අතහැරියා. මාමත් ගොළු වෙලා වගේ හිටියා. දවසක් හැන්දෑවක සුරම්‍යාගේ අම්මා ආවේ සුරම්‍යාගේ අක්කත් එක්ක.
මම ‘ඇයි…?‘ කියලා ඇහුවා. උත්තර ලැබුණේ නැහැ.
“උඹ මේ කෙල්ල බඳින්න ඕන…?“ සුරම්‍යාගේ අම්මා එහෙම කිව්වේ කෑ ගහලා මහ හඬින්.
“ඇයි මම බඳින්නේ…?“ මට එහෙම ඇහුණා.
ඒ කියන්නේ මගෙ දුවට ළමය ලැබෙන්න ඉන්න දරුවගෙ තාත්තා උඹ නෙමෙයි කියලද?
“මේ මම …?“
මම එහෙම ඇහුවේ පුදුම වෙලා. මම සුරම්‍යාගේ දිහා බැලුවා. එයත් හිටියේ අහක බලාගෙන. මේක මහ පුදුම කතාවක්නේ කියාගෙන මම සුරම්‍යා ළඟට ගියා. ඒ වෙනකොට මට හොඳටම ලැජ්ජා හිතිලා හිටියේ. අවට ඉන්නේ කවුද කියලවත් මට පෙනුණේ නැහැ. මට පුදුම තරහවක් ආවේ. ඒ ආව කේන්තියට මම සුරම්‍යාව තල්ලු කරලා දැම්මා. හිටපු හැමෝම වගේ කෑගහනවා මට මතකයි. මගේ හිතේ කේන්තිය මටම පාලනය කරගන්න බැරිව ගියා. දෙතුන් වරක් මම සුරම්‍යාගේ ඔළුව බිත්තියෙ අනින්න ඇති. මට මතක එච්චරයි.
මම එහෙම දෙයක් කළේ නැහැ කියලා කෑ ගහලා ඇඬුවා. සුරම්‍යා මැරුණා කියලා මම දැනගත්තේ දවස් දෙකකට පස්සේ. මාමා මාව බලන්න රිමාන්ඩ් එකට ආවා. එදා තමයි මට මාමා එයා අතින් සුරම්‍යාට වෙච්ච දේ කිව්වේ.
“ඇත්තම කිව්වොත් මට මාමාගේ මූණ බලන්න ලැජ්ජයි. දැන් මම දන්නවා මට නිදහසක් නැහැ කියලා. අම්මා මාව බලන්න ආවේ අඬාගෙන. කාටවත් බෑ මාව බේර ගන්න. මාමා මාව බලන්න එන්නේ නැහැ. මම එයාට කිව්වේ මගෙ අම්මව බලන්න කියලා.
ජීවිතයේ ගැලවීමක් නෑ කියලා මම දන්නවා. මට දැන් ඕන මේ සංසාරෙන් ගැලවෙන්න. මම දැන් බණ දහම් අහනවා… සිල් රකිනවා. නමුත් හැම මොහොතකම මම කළ වැරැද්ද මට සිහි වෙනවා.
පසුවදන
හිරගෙදරදී හමු වූ ඔහු දැන් මැදිවියේ පසුවන්නෙකි. යොවුන් වියේදී සිදු දෑ නිසා තවමත් සිතින් විඳවන්නෙකි. වැරැද්දක් වුවද ඔහු සිය මාමාට දොස් කියන්නේ ද නැත. මේක තමයි මගෙ කරුමය. මේ තමයි මම ජීවිතේ ගෙනාපු දේ. ගෙවලම ඉවර කරනවා ඇරෙන්න මේ කරුමවලට වෙන කරන්න දෙයක් නැහැ.
(විශේෂ ස්තුතිය – බන්ධනාගාර
දෙපාර්තමේන්තුවට)
ඉනෝකා සමරවික්‍රම