– නාඳුනන අයෙක් ලක්ෂ 29ක් අරන් පැන්නා යැයි ගෙහිමියා මුලින් පොලිසියට බොරු කියලා
– ගෙවත්තේ නිධානය නාගයෙක් රකිනවා යැයි පෙන්වන්න නයෙකුත් මිදුලට දාලා
– වංචාව කළේ ගෙහිමියාගෙන් ට්‍රැක්ටරයක් මිලදී ගන්න ආ කණ්ඩායමක සිටි අයෙක්
නිදන් ගැන නෑසූ අයකු නැති තරම්ය. නිදන් ගැනීමට ගිය ඇතැමුන්ට අන්තිමේදී හිරේ විලංගුවේ වැටී අතේ තිබෙන තුට්ටු දෙකද නැති නාස්ති කර ගැනීමේ සිදුවීම් ගණනාවක් පසුගිය දිනවලදී අසන්නට දකින්නට ලැබුණි. කුමන හෝ මාධ්‍යයකින් දිනපතාම පාහේ නිදන් ගැන සිදුවීමක් පුවතක් ප්‍රවෘත්තියක් දකින්නට අසන්නට තිබීමද දැන් දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී හමාරය.
‘ධන නිධාන’ ගැන ඉතාමත් සෝදිසියෙන් විමසිල්ලෙන් සිටින, ඒ ගැන සුවිශේෂී උනන්දුවක් දක්වන පුද්ගලයෝ මේ සමාජයේ එමට සිටිති. ඔවුන් ඔවුන් එක්වුණු තැනද ඇත්තේ නිදන් ගැන කතා බහය. සමහරු අත ඒ පිළිබඳ පුස්කොළ පොත් ද ඇත්තේය. එහෙත් අන්තිමට බලන විට එහෙම අය ගොඩගත් නිධානයක් ද නැත. ධන නිධාන සොයා ගිය බොහෝ දෙනෙකුට අන්තිමේදී සිදු වී ඇත්තේ හිරගෙදර ‘කල්දේරම් බතේ’ රස විඳීමටය. එහෙත් ඒවායින් පාඩම් ඉගෙන නොගත්ත ඇතැමුන් දිහින් දිගටම හති දමමින් දුවන්නේ ධන – නිධාන පසුපස වීමද කනගාටුවට කරුණකි.
මිථ්‍යා විශ්වාසවලම එල්බගෙන සිටින ඒ වාගේ සමහර මිනිසුන් ඕනෑම කෙනෙකුට ලෙහෙසියෙන් පහසුවෙන් රැවටෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වාගේ මෝඩ මිනිසුන් සිටීම ද ‘ලෝකෝත්තරයන්ට’ ගජ වාසියකි. ඒ එවැන්නන් රවටා මිල මුදල් ලෙහෙසියෙන් පහසුවෙන් කඩා වඩා ගත හැකි බව එම වංචනිකයින් හොඳින්ම දන්නා නිසාය.
‘නිදන් ඔස්තාර්’ කෙනෙකු ලෙස පෙනී සිටිමින් අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ නිවෙසකට පැමිණි පුද්ගලයකු නිවැසියා ඉතා සූක්ෂ්මව රවටා ඔහු සතු රුපියල් 29 ලක්ෂයක් සොරකම්කර පලා යෑමේ සිද්ධියක් පිළිබඳ පසුගියදා වාර්තා වූයේ අනුරාධපුර දිසාවෙනි. මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයකු පසුගිය දිනෙක අනුරාධපුර පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේ තමන්ට අයත් රුපියල් ලක්ෂ 29ක මුදල් කිසියම් පුද්ගලයකු විසින් හිසට පිස්තෝලයක් තබා තර්ජනය කර පැහැරගෙන ගිය බවය.
තවදුරටත් මේ පුද්ගලයා සඳහන් කර තිබුණේ තමාට අයත් ට්‍රැක්ටරයක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අයකුට අලෙවි කළ බවත් එය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් අතර සිටි අයකු පසුව නැවත තම නිෙවසට පැමිණ තමාගේ හිසට මෙලෙස පිස්තෝලයක් තබා රුපියල් ලක්ෂ 29ක් කොල්ලකා පලා ගිය බවත්ය.
මේ ගැන විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර කෙරෙන්නේ ඉන් අනතුරුවය.
නැවත වතාවක් මේ පුද්ගලයාගෙන් ප්‍රකාශ ලබාගත් කොට්ඨාස අපරාධ නිලධාරින්ට තේරෙන්නේ මේ පුද්ගලයාගේ පැමිණිල්ලේ පරස්පර තිබෙන බවය. පසුව ඔහුගෙන් ඒ ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී එම පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ල අසත්‍ය බව හෙළි වූ අතර සම්පූර්ණ සිද්ධිය හෙළිකර ගැනිමට පොලිස් නිලධාරින්ට හැකි වන්නේ එහිදීය.
අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පදිංචි මේ 70 හැවිරිදි පුද්ගලයා ඔහුට අයත් ට්‍රැක්ටරයක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අයකුට විකුණා තිබුණේ පසුගියදාය. ට්රැක්ටරය මිලදී ගැනීමට පැමිණි පිරිස් අතරේ සිටි අයකු පසු දින රාත්‍රී අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පදිංචි පුද්ගලයා සොයා ඔහුගේ නිෙවසට ආවේය.
තමන් යන්ත්රමන්ත්ර සහ ගුරුකම් සඳහා ඉතා දක්ෂ කට්ටඩියකු බවට හඳුන්වා දුන් එම පුද්ගලයා තමන්ට බොහෝ අය ආමන්ත්‍රණය කරන්නේ ‘අම්පාරේ වෙද මහතා’ නමින් බව පැවසීය. තමන් ඒ නමින් ප්‍රසිද්ධව සිටින අයකු බවත් තමන් එදින පැමිණියේ අදාළ නිවෙසේ නිධානයක් ඇති බව දැනුම් දෙන්නට බවත් තමන් එම නිෙවසට ආ පළමු දිනයේම එය තමන්ට දැනුණු බවත් ඔහු ගුවන්තොටුපළ පාරේ පදිංචි පුද්ගලයාට පැවසීය.
ගුවන්තොටුපොළ පාරේ පදිංචි පුද්ගලයා මේ කතාව අසා තක්කුමුක්කු විය. නිධානය ගොඩ ගැනීමට නිවැසියාගේ කැමැත්ත ද පළ විය. පුද පූජා ද පැවැත්විණි. මැණික් කීපයක් ද ගොඩට ගැනිණි.
පුද පූජා පැවැත්වීම, ජ්‍යොතිෂ කටයුතු සිදු කිරීම, මැණික් ගොඩ ගැනීම ආදි කටයුතු සඳහා තමන්ට රුපියල් ලක්ෂ 50ක මුදලක් අවශ්‍ය බව ‘අම්පාරේ වෙද මහතා’ ගුවන්තොටුපොළ පාරේ පදිංචිකරුට දැනුම් දෙන්නේ අනතුරුවය. ගොඩට ගත් මැණික් කැට රුපියල් කෝටි හතරහමාරකට විකිණිය හැකි බවට ද ඔහු සහතික විය.
මැණික් කැට ලබාගත් ගුවන්තොටුපළ පාරේ පදිංචි පුද්ගලයා ට්රැක්ටරය විකුණා ලද රුපියල් ලක්ෂ 29ක් අම්පාරේ වෙද මහතාට ලබා දී ඇත්තේ ඉතිරි රුපියල් ලක්ෂ තිස්එක පසුව ලබා දෙන බවට පොරොන්දු දෙමිනි. එම මුදල් ලබා ගෙන නිවෙසින් පිටවී යන්නට පෙර ගුවන්තොටුපළ පාරේ පදිංචි පුද්ගලයා ඇමතු ‘අම්පාරේ වෙද මහතා’ පවසා ඇත්තේ ඉතිරි මුදල් රැගෙන යාමට තමා එන තෙක් මේ මැණික් ගල් බුදු පහන අසලින් තබන ලෙසය.
මුදල් ලබා ගැනීමට එන දිනයේදී එම මැණික් ආගමික ස්ථානයක් අසලට ගෙන ගොස් ජීවම් කළ යුතු බව පවසා ඔහු පිටවී ගොස් ඇත.
දින ගණනාවක් බලාගෙන සිටියද අම්පාරේ වෙද මහතා නොපැමිණි හෙයින් මේ ගැන සැක සිතුණු ගුවන්තොටුපළ පාරේ පදිංචි පුද්ගලයා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ තමන්ට අයත් රුපියල් ලක්ෂ 29ක් කිසිවකු විසින් හිසට පිස්තෝලයක් තබා පැහැරගෙන ගිය බවටය.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අදාළ මැණික් ගල් පරීක්ෂා කළත් හෙළිවී අත්තේ ඒවා ව්‍යාජ බවය.
අම්පාරේ වෙද මහතා ලෙස පෙනී සිටි පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පැමිණිලිකරු සිටින නිෙවසේ ගෙවත්තට හොරෙන් ඇතුළු වී ව්‍යාජ මැණික් ගල් වළ දමා ඇති බව හෙළිවී තිබේ.
මැණික් ගොඩ ගන්නා අවස්ථාවේදී වත්තට නාගයකු ද ඇතුළු වී ඇති අතර එම නාගයා මේ සැකකරු වත්තට ඇතුළුකර ඇත්තේ නයි නටවන්නකු මාර්ගයෙන් බවට තොරතුරුද පොලිසිය සොයාගෙන ඇත. ගුවන්තොටුපළ පාරේ පදිංචිකරුට නාගයා පෙන්වා ඇති ‘අම්පාරේ වෙද මහත්තයා’ පවසා ඇත්තේ එම මැණික් අදාළ නාගයාට අයත් ඒවා නිසා නාගයාට හිංසාවක් නොකරන ලෙසය.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
දීපාල් සමරසේකර