Home » සේල්ස් රෙප්ලා රවටා කෝටි ගණනක භාණ්ඩ වංචා කළ ඩබලට වැටුණු පොලිස් දැල

සේල්ස් රෙප්ලා රවටා කෝටි ගණනක භාණ්ඩ වංචා කළ ඩබලට වැටුණු පොලිස් දැල

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

– මිලදී ගැනීමේ නිලධාරින් ලෙස පෙනී සිටි කල්ලියේ ප්‍රධානියා හිටපු සෙබළෙක්
– සැකකරුවන් දෙදෙනාම රිමාන්ඩ්
– භාණ්ඩ අලෙවි ආයතනවල රෙප්ලා රවටා කළ මගෝඩියක්

ඔවුහු මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන් දෙදෙනා කුඩා කල සිටම ගජ මිතුරන්ය.

මෙම දෙමිතුරන් අතරින් එක් අයෙකු යුද හමුදාවට බැඳී එහි සැපයුම් අංශයේ සේවයේ නිරත වී සිටින අතරතුර වෙඩි වැදීමකට ලක් වීමෙන්, සේවයෙන් ඉවත් වී, කුකුළු මස් ව්‍යාපාරයකට අත ගසා තිබුණි. ඒ වනවිට ඔහු 49 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරයෙකි.

ඔහුගේ අනෙක් මිතුරා 39 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු මීගමුව ප්‍රදේශයේ රියැදුරෙකු ලෙස සේවය කරමින් සිටියේය.

ඔවුන් දෙදෙනා එකිනෙකාට සැලකිය යුතු දුරකින් පදිංචි වී සිටිය ද, ඔවුන් සිය ජංගම දුරකතන මගින් සම්බන්ධ වෙමින්, ‘කදිම ව්‍යාපාරයක්’ පවත්වා ගෙන යමින් සිටියහ.

මෙම විශ්‍රාමික යුද හමුදා නිලධාරියා සිය අත්දැකීම් භාවිත කරමින්, තමන් එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හෝ ත්‍රිවිධ හමුදා කඳවුරක භාණ්ඩ මිලදී ගැනීම භාර නිලධාරීවරයා බව පවසමින් විවිධ ආහාරපාන, ලිපිද්‍රව්‍ය ඇතුළු නොයෙකුත් භාණ්ඩ වෙළෙඳ නියෝජිතයන් වෙත ඇණවුම් කිරීම සිදුකෙළේ ඉතා සූක්ෂ්ම ලෙසය. ඒ වෙළෙඳ නියෝජිතයන් රවටා භාණ්ඩ වංචා කිරීමේ අරමුණෙනි.

ඔවුන් එම භාණ්ඩ රැගෙන අදාළ හමුදා කඳවුර හෝ රාජ්‍ය ආයතනයේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි විට, “කුලී රථ සමාගමකින්” ලොරි රථයක් රැගෙන එන, මීගමුවේ පදිංචි අනෙක් මිතුරා, එම භාණ්ඩවලින් කොටසක්, එම ලොරි රථයට පටවා ගෙන, ඉතිරි භාණ්ඩ තොගය සහ සියලුම භාණ්ඩ තොගය සඳහා මුදල් රැගෙන එන තෙත්, එම ස්ථානයේම රැඳී සිටින ලෙස දන්වා පලා යෑම සිදුකරන්නේ ද ඉතා සූක්ෂ්මවය.

එසේ කුලී සමාගම් ලොරි රථයකින් රැගෙන යමින් තිබෙන භාණ්ඩ තොගය, මද දුරක් රැගෙන ගිය පසු, තවත් වෙනත් කුලී රථයක් වෙත පටවා රැගෙන යාම ද සිදු කර ඇති අතර, එසේ කර තිබුණේ, වෙළෙඳ නියෝජිත ආයතන සේවකයින් පොලීසිය වෙත ලබා දෙන තොරතුරු, ව්‍යාකූලත්වයට පත් කිරීම සඳහාය.

එසේ පැය කිහිපයක් එම රාජ්‍ය ආයතනය හෝ හමුදා කඳවුර ඉදිරිපිට රැඳී සිටි වෙළෙඳ නියෝජිත ආයතනයේ සේවකයින් පසුව මෙම සිදුවීම පිළිබඳ අසල තිබෙන පොලීසිය වෙත පැමිණ, පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.

මේ ආකාරයට මේ පිළිබඳ මහබාගේ පොලීසියට පමණක් මේ වන විට පැමිණිලි 25 ක් ලැබී ඇති අතර, පොලීසිය විසින් රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමඟ මෙම පුද්ගලයන් දෙදෙනා ද ඉකුත් දින අත්අඩංගුවට ගන්නා ලද්දේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.

මොවුන්ගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී මොවුන් මේ ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ පානදුර, කිරිබත්ගොඩ, මහබාගේ, මීගමුව, වත්තල, කඳාන, බත්තරමුල්ල, කොටහේන, සීදුව සහ නාරාහේන්පිට යන පොලිස් බලප්‍රදේශ තුළ පිහිටි අලෙවි නියෝජිතයන් රවටා වංචනිකව සොරකම් කර තිබේ.

එසේ එම ප්‍රදේශවල වෙළෙඳ නියෝජිතවරුන් මුළාකර, පැහැර ගන්නා ආහාරපාන, ලිපිද්‍රව්‍ය, එම ප්‍රදේශවලම තොග සහ සිල්ලර වෙළෙදුන් වෙත ඉතා අඩු මිල ගණන් යටතේ, කඩිනමින් විකුණා මුදල් ලබා ගැනීමට ද මොවුන් කටයුතු කර තිබේ.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරීවරයා, මෙම ජාවාරමේ ප්‍රධානියා ලෙස ක්‍රියාත්මක වී ඇති අතර, ඔහු සිය ජංගම දුරකතනය උපයෝගී කර ගනිමින්, මෙම ජාවාරම් ජාලයම ක්‍රියාත්මක කර තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මහබාගේ පොලිසිය පියවර ගෙන තිබූ අතර, එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි .

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිශාන්ත ජයවර්ධනගේ උපදෙස් පරිදි, ප්‍රදේශයේ භාර සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මහබාගේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්දන, සැරයන්වරුන් වන 43954 මංගල, 27553 කරුණාරත්න, 67632 ලියනගේ, 74182 තරංග, 72015 ලක්මාල්, කොස්තාපල්වරුන් වන 70239 ජයරත්න, 78193 මධුසංඛ, 1044 ඩයස්, 101414 පල්ලේගෙදර, 24543 ප්‍රියලාල්, 25158 කරුණාරත්න, 96646 ඩිනේෂන්, 102035 රත්නායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 12832 මල්ෂා, පොලිස් කොස්තාපල් රියැදුරු 8993 මධුසංඛ යන නිලධාරීන් විසින් සිදුකරන ලදි.

සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ සහ වැටලීමට සහභාගී වූ පොලිස් නිලධාරීන්

සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ සහ වැටලීමට සහභාගී වූ පොලිස් නිලධාරීන්

ටී. කේ. ජී. කපිල - කටුනායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division