– සේදවත්තේ කසුන්ගේ නිවෙසින් ත්‍රිරෝද රථ තුනක් සොයා ගනී: මෝටර් බයික් තුනකුත් හමු වෙයි
– වැටලීම බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන්
පාතාල කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මිනිස් ඝාතන සහ වෙනත් අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා වැඩිපුරම යොදාගන්නා වාහන වර්ග දෙක ත්‍රීරෝද රථ සහ මෝටර් බයිසිකල් බවට පොලිසිය මේ වන විට තොරතුරු හෙළිකරගෙන ඇත.
මේ වාහන වර්ග දෙක සමාජයේ වැඩිපුර භාවිත වීම සහ ඕනෑම අපරාධයක් සිදුකර ක්ෂණිකව පලා යෑම සඳහා පාතාලයන් සහ ජාවාරම්කරුවන් වැඩිපුරම යොදාගන්නේ ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් බව බැලුබැල්මට පෙනෙන්නට ඇත.
අපරාධ කල්ලි කණ්ඩායම් එලෙස තමන්ගේ ප්‍රතිවාදීන් ඝාතනයට සේම කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් බවට සැක කරන ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සැලකිය යුතු සංඛ්‍යාවක් පොලීසිය මේ වන විට සොයාගෙන තිබීම ද සුවිශේෂීය.
පාදුක්ක ප්‍රදේශයේ නිවෙසකට වෙඩි තැබීමට යාම සඳහා පාතාල කල්ලියක් උපයෝගී කරගත් ස්කූටියක් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර පාතාල කල්ලි කුලී ඝාතනයන් සහ මත් ජාවාරමුන්ට එරෙහිව දිගින් දිගටම වැටලීම් සිදුකරන බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් (38723) රංජිත්ට පසුගියදා තොරතුරු ලැබෙන්නේ රටේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලයේ වාර්තා වූ මිනිස් ඝාතන සම්බන්ධ පුද්ගලයන් ඒ සඳහා ගමන් කිරීමට යොදාගත් ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් කිහිපයක් පිළිබඳවය.
ලැබුණු එම තොරතුර පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුකර සොයා බලන සැරයන් රංජිත් මේ පිළිබඳව නිවැරදි තොරතුරු රැසක් සොයා ගත්තේ ඉතා කෙටි කාලයක් ඇතුළතදීය.
දැනට ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සේදවත්තේ කසුන්ට අයත් සුඛෝපභෝගී නිවෙසේ මේ ත්‍රිරෝද රථ සඟවා ඇති බව සැරයන් රංජිත් සිදුකරන ලද මූලික විමර්ශනයේදී හෙළි විය. සේදවත්තේ කසුන්ගේ සමීපතමයකු සන්තකව තවත් වාහන ඇති බව ද හෙළිකර ගැනෙන්නේ ඒ අවස්ථාවේදීය.
ඒ අනුව සේදවත්තේ කසුන්ගේ සුඛෝපභෝගි නිවෙසට සහ ඔහුගේ සමීපතමයාගේ නිවෙස්වලට ගිය බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් කණ්ඩායමක් එම නිවෙස් දෙකේ සඟවා තිබුණු සැක කටයුතු ත්‍රිරෝද රථ තුනක් සහ මෝටර් බයිසිකල් තුනක් සොයා ගන්නා ලද අතර මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්නය. සේදවත්තේ කසුන්ගේ සමීපතමයකු බව කියන පාතාලයෙක් ද අත්අඩංගුවට ගැනෙන්නේ එහිදීය.
මෙසේ සොයා ගන්නා ලද ත්‍රීරෝද රථ සහ මෝටර් බයිසිකල් පසුගිය කාලයේ ප්‍රදේශ රැසක සිදුවූ මිනිස් ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් ප්‍රවාහනය සඳහා යොදාගන්නට ඇති බවට සැක කෙරේ.
එලෙස සොයාගන්නා ලද මෝටර් බයිසිකල් දෙක සඟවා තිබුණු නිවෙසට ගිය පොලිස් කණ්ඩායම ඒවායේ බලපත්‍ර, එහි සිටි පුද්ගලයාගෙන් ඉල්ලා ඇති අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ එම මෝටර් බයිසිකල් තමාගේ නොවන බවයි. ඒවායේ අයිතිකරු ගැන පොලීසිය ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේදී සැකකාර පුද්ගලයා පවසා තිබුණේ එම මෝටර් බයිසිකල් දෙක ඩුබායිහි සිටින සේදවත්තේ කසුන්ගේ ඉල්ලීම මත තම නිවෙසේ ගාල්කර තිබුණු බවයි.
අදාළ මෝටර් බයිසිකල් දෙක තිබුණු නිවෙසට නුදුරින් සේදවත්තේ කසුන්ගේ නිවෙස පිහිටා තිබූ අතර පොලීසිය එම නිවෙස පරීක්ෂා කරද්දී එහි ගාල්කර තිබුණු කලකින් පරිහරණය නොකරන ලද ත්‍රිරෝද රථ තුනක් සහ මෝටර් බයිසිකලයක් ද සොයා ගැනිණි.
පොලිසිය මේ සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටිද්දී සේදවත්තේ කසුන්, එම පුද්ගලයාට දුරකතන ඇමතුමක් දී ඇති අතර ඇමතුම දෙන්නේ කසුන් බව සැකකරු පොලීසියට එවෙලේ පවසා ඇත. පොලිස් නිලධාරීන් එම ඇමතුම ලබාගත් අවස්ථාවේ සේදවත්තේ කසුන් පවසා ඇත්තේ තමා විවිධ පුද්ගලයන් යොදවා රටේ විවිධ ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ 20ක් පමණ සොරකම් කිරීමට සැලැස්වූ බවයි. එම ත්‍රීරෝද රථ, තමන් විසින් එලෙස පුද්ගලයන් යොදා සොරකම් කෙරෙව්වේ තමන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය සඳහා යන අයට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා යැයි පොලීසියට කියා ඇති කසුන්, වැඩිදුරටත් පවසා ඇත්තේ තමාගේ විරුද්ධවාදීන් වළපල්ලට යැවීමෙන් පසු තමා නැවත මෙරටට පැමිණෙන බවයි.
එලෙස පොලිස් භාරයට ගත් මෝටර් බයිසිකල් දෙකක ලියාපදිංචි අංක ඔස්සේ කරන ලද සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ එම මෝටර් බයිසිකල් දෙක රත්ගම සහ වාද්දුව පොලිස් වසම්වලින් සොරකම් කළ ඒවා බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.
එලෙස සොයාගත් මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ ප්‍රවාහන කටයුතු සඳහා උපයෝගී කරගෙන සේදවත්තේ කසුන්ගේ මෙරට සිටින ගෝලබාලයන් සිදුකරන ලද බවට සැක කරන මිනිස් ඝාතන ඇතුළු අපරාධවල තොරතුරු හෙළිකර ගැනීම සඳහා මේ වන විට දීර්ඝ විමර්ශනයක් පැවැත්වෙයි.
බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජේ. එන්. ජයපත්මගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, ඒකක 4 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අතුල බාලසූරිය, සැරයන්වරුන් වන (38723 රංජිත්, (21248) බණ්ඩාර, (51610) හේරත්, (56805) ගුණසේකර, (73067) අනුරාධ, කොස්තාපල්වරුන් වන (35145) උමේෂ්, (104870) විජේරත්න යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ