Home » උතුරේදී සෙල්ලම් දමා කැනඩාවේදී හිරේ ගිය කවුද මේ නල්ලලිංගම්?

උතුරේදී සෙල්ලම් දමා කැනඩාවේදී හිරේ ගිය කවුද මේ නල්ලලිංගම්?

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

– කැනඩාවේදීත් රුපියල් කෝටි ගණනක කප්පමක් ගන්න ගිහින් කොටුවෙලා
– ඔහු අන්තිමට කැනඩාවට ගෙන්නා ගත් හොර රට රැකියා යුවළකුත් කොටුවෙලා
– ප්‍රසන්න නල්ලලිංගම් යාපනයේ ආවා නායකයා වන්නේ අවුරුදු 24දී

යාපනයේ බොහෝ කලක් වැජඹුණු ”ආවා කල්ලියේ” නායකයා මෑතකදී කැනඩාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත්වන්නේය. ඒ උතුරේ අපරාධ සිය ගණනක් සිදුකොට හොර රහසේම කැනඩාවට පලාගොස් සිටියදීය.

”ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි” කියන්නා සේ යාපනයෙන් කැනඩාවට පලා ගොස් සැඟවී සිටි ආවා කල්ලියේ නායකයා කැනඩාවේදී ද සිය සෙල්ලම පටන් ගත්තේය. ඒ එරට ව්‍යාපාරිකයින් බිය වද්දා මුදල් කප්පම් වශයෙන් ලබා ගැනීම සහ කුලියට මිනිසුන් මැරීම සහ මිනිසුන්ට තුවාල සිදු කිරීමය.

ආවා කල්ලියේ ප්‍රධානියා වූයේ අජන්තන් සුබ්‍රමනියම් හෙවත් ප්‍රසන්න නල්ලලිංගම් නමැති අයෙකි. මීට වසර දහයකට පමණ පෙර යාපනයේ සිය කල්ලිය ක්‍රියාත්මක කරන විට ඔහුට වයස අවුරුදු 24 කි. යාපනයේදී පුද්ගලයින් පනහකට හැටකට වඩා කඩුවලින් කපා තුවාල සිදුකොට රුපියල් කෝටි ගණනක මුදලක් කප්පම් වශයෙන් ලබාගත් මේ කල්ලි නායකයා අතින් මියගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණකි. එසේ මියගොස් ඇත්තේ ආවා කල්ලියට එරෙහිව එම කල්ලියෙන් කැඩී ගොස් තවත් කල්ලියක් පිහිටුවා ගත් අයෙකු මිස කප්පම් ඉල්ලීමට ලක් වූ අයෙකු නොවේ.

මේ ඝාතනයෙන් පසුව ඔහුට යාපනයේ ක්‍රියාත්මක වූ සෙසු කල්ලිවලින් මරණීය තර්ජන එල්ල වීමත් සමඟම ඔහු හොර රහසේම කැනඩාවට පලා ගොස් ඇත.

ඔහු කැනඩාවට පලා යන්නේ 2021 වසරේදීය. එහි ගොස් ටික කලකින් යාපනයේ ඔහු ක්‍රියාත්මක කොට තිබූ කප්පම් සෙල්ලම කැනඩාවේද සිදු කළේය. මොහු දාමරිකයෙකු බව දැනගත් කැනඩාවේ ටොරෙන්ටෝ නුවර එක් කණ්ඩායමක් මොහුට මිනීමැරුම් කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්නේය. එය ඉතා මැනවින් ඉටුකරන නල්ලලිංගම් ඉන් විශාල මුදලක් උපයා ගන්නේය.

ඒ අතරවාරයේම කැනඩාවේ සිටින පවුලකට මරණීය තර්ජන එල්ලකොට ඔහු විශාල මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටියේය. කප්පම් මුදල ගෙවීමට එකඟ වන එම පවුල ඊට දින කීපයක් ඉල්ලා කප්පම් මුදල ලබාදීමට තැනක් ද නල්ලලිංගම්ට දන්වා සිටියේය. යාපනයේ මිනිසුන් මෙන් නොව කැනඩාවේ ඒ පවුල ඉතා සූක්ෂ්මව මේ බව කැනේඩියානු පොලිසියට පවසා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද දමා නියමිත දිනය එනතුරු බලා සිටින්නේය.

අදාළ පැමිණිල්ලට අනුව කැනඩා පොලිසිය විශේෂ පොලිස් බලඇණි කීපයක්ම ඔහු එන මාර්ගයේ සේවයට යොදවා අදාළ වාහනය එන තුරු බලා සිටියේය. කප්පම් මුදල ලබා ගැනීමේ තණ්හාවෙන් එන නල්ලලිංගම් පොලිසිය විසින් අතරමඟදී නතර කොට ඔහුගෙන් තොරතුරු විමසා ඔහු පැමිණි මෝටර් රථය පරීක්ෂාවට ලක් කෙළේය. එහි තිබී උණ්ඩ පිරවූ රිවෝල්වරයක් සහ තවත් කුඩා ගිනිඅවියක් ද පතරොම් කීපයක්ද උල් පිහියක් ද පොලිසියට හමුවිය. වහාම ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන විට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර පොලිසියට යවන ලද වරෙන්තුවක් ද කැනඩා පොලිසියට හමුවිය. ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන විට “ආවා කල්ලියේ” නායක නල්ලලිංගම් ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් හෙළි විය. එමෙන්ම ඔහු අත්අඩංගුවට පත්වූ බව දැන්ගත් වහාම තවත් රටවල් කීපයක් නල්ලලිංගම් එම රටවලදී සිදු කළ අපරාධ නිසා ඔවුන්ට ද අවශ්‍ය පුද්ගලයෙකු බව කියා ඔහු එම රටවලට භාර දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි.

ඒ සියලු ඉල්ලීම් මැද නල්ලලිංගම්ගෙන් ප්‍රශ්න කරගෙන යන කැනේඩියානු පොලිසියට නල්ලලිංගම්ගේ නිවසේ තිබී විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සහ තවත් ලියවිලි රැසක් හමු විය. ඒ ගැන ප්‍රශ්න කරගෙන යාමේදී නල්ලලිංගම් මැදිහත් වී යාපනයෙන් කැනඩාවට ගෙන්වා ගන්නා ලද යුවළකගේ තොරතුරු හෙළිවිය.

ඒ තොරතුරු ඔස්සේ කරුණු විමසා බැලූ කැනේඩියානු පොලිසියට අනාවරණය කරගැනීමට හැකි වී ඇත්තේ එම යුවළ විසින් උතුරේ තරුණ තරුණියන් යුරෝපයේ රැකියාවලට යැවීම පිණිස ශ්‍රී ලංකාවේ මුදලින් දසලක්ෂ 720ක් පමණ එකතු කර ඇති බවත්ය.

ඒ සෑම මුදලක්ම එකතු කරගෙන ඇත්තේ උතුරේ තරුණ තරුණියන්ගෙනි. අවසානයේදී මේ මුදල් ප්‍රමාණය වංචා කළ යුවළ ඉන් ගැලවීමට උදව් උපකාර ඉල්ලා ඇත්තේ නල්ලලිංගම්ගෙනි. ඔහු මේ අවුල ලිහා දීමට ඒ යුවළගෙන් රුපියල් කෝටි තුනක මුදලක් ලබාගෙන තිබේ. එම මුදල ලබාගෙන ඇති නල්ලලිංගම් සිය මැදිහත් වීම මත ඒ යුවළ මැලේසියාවට යවා එතැනින් කැනඩාවට ගෙන්වා ගැනීමට කටයුතු කොට ඇත. කැනේඩියානු පොලිසිය ඒ යුවළ ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටොරොන්ටෝ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තනරාජ් තංගරාජා සහ 37 හැවිරිදි කිෂානි බාලචන්ද්‍රන් නමැති දෙදෙනාය. ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා 11ක් ශ්‍රී ලංකාවේ පොලිසිවල ඇති අතර, එම යුවළ විසින් රුපියල් මිලියන 720 ක මුදලක් විවිධ පුද්ගලයින්ගෙන් වංචාකොට කැනඩාවට පලාගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

කැනේඩියානු පොලිසිය දැන් මේ තුන්දෙනා වෙනම ස්ථාන තුනක රඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි. පොලිස් ප්‍රධානියා ටොරෙන්ටෝ නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මේ පිරිස අපරාධ මාලාවකට සහසම්බන්ධ කණ්ඩායමක් බවයි.

මේ අපරාධවලින් බොහොමයක්ම මෙරටදී සිදු වූ බවත් නල්ලලිංගම්ට යුරෝපා රටවලදී මිනීමැරුම් චෝදනාවක් ඇතුළු චෝදනා පහක් ඇති බවත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කොට ඇත. පසුව අත්අඩංගුවට ගත් යුවළ අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු මෙතෙක් හමුවී නැතත් ඔවුන් කැනඩාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කළ බව හෙතෙම කියා සිටියේය.

නල්ලලිංගම් කැනඩාවට පැමිණි පසුව එරට සිට යාපනයේ ඇතුළු උතුරු පළාතේ අපරාධ රැසක් මෙහෙයවා ඇති බවටද තොරතුරු ඇති නමුත් ඊට සම්බන්ධ පුද්ගලයින් රැඳී සිටින්නේ ශ්‍රී ලංකාව තුළ නිසා ජාත්‍යන්තර පොලිසියට මෙම පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන බව කැනේඩියානු පොලිස් ප්‍රධානියා පවසා තිබේ.

”ආවා කල්ලිය” ක්‍රියාත්මක වූයේ යාපනයේය. දැන් ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු වන්නේ කැනඩාවේදීය. ඉදිරියේදී මෙම කල්ලි අපරාධ මාලාවට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට පත්වන බව නම් නියතය.

රසුල දිල්හාර ගමගේ - උතුරු පළාත් සංචාරක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division