– විල්ලෝරාවත්තේදී විරුද්ධවාදියකු ඝාතනයට ආ හොර ඒඑස්පී ඇතුළු 4ක් අල්ලයි
– ප්‍රතිවාදියා නිවෙසේ නැති නිසා බිරිය සහ නැන්දම්මා දණ ගස්වා රන්, මුදල්, ජංගම දුරකතන කොල්ලකාලා
– දින කීපයක් ඇතුළත වෙඩි තැබීම් පහක්
පාතාල කල්ලි කණ්ඩායම් එකිනෙකා ගහමරා ගැනීමේ සිදුවීම් වාර්තා වන්නේ අද ඊයේක සිට නොවේ. බොහෝ අවස්ථාවල පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මේ ගහමරා ගැනීම් පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් බවයි.
පාතාල කල්ලි කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බිය ගැන්වීම සඳහා භාවිත කරන ප්‍රධාන තුරුම්පුව ප්‍රතිවාදියාගේ නිවෙසට වෙඩි තැබීමයි. එසේත් නැත්නම් එහි කඩාවැදි දේපළ හානි සිදුකර ප්‍රතිවාදියා එහි නොසිටියේනම් ඔහුගේ බිරිය දරුවන් කපා කොටා දමා හෝ වෙඩි ප්‍රහාර එල්ලකර පලා යාමයි. මෙවැනි සිදුවීම් ගණනාවක් පසුගියදා වාර්තා විය.
පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයකුගේ නිවෙසකට ද පාතාල කල්ලියක් පසුගියදා වෙඩි තබා තිබුණ අතර එම වෙඩි ප්‍රහාරය මෙහෙයවා තිබුණේ විදේශගතව සිටින කසුන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු විසින් බවට තොරතුරු හෙළි විය. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ආරවුලක් මේ වෙඩි තැබීමට හේතු වූ බව ද හෙළි විය. හෝමාගම රෝහල පාරේ නිවෙසකට මෙලෙසින්ම වෙඩි තබා පලා ගිය කුලී වෙඩික්කරුවන් දෙදෙනෙකු මීගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේ පිස්තෝලයක් ද සමඟිනි.
ආසන්නම සිදුවීම් දෙක මේ අතර වාර්තා වුණේ මීටියාගොඩ සහ ජාඇළ ප්‍රදේශවලිනි. මීටියාගොඩ ප්‍රදේශයේ නිවෙසකට පසුගිය දිනෙක රාත්‍රී කඩාවැදුණු සන්නද්ධ කල්ලියක් නිෙවසට ද අලාභ හානි සිදුකර එහි සිටි පියා සහ දියණියට වෙඩි තබා කපාකොටා පලා ගොස් සිටි අතර බරපතළ තුවාල ලැබූ දියණිය ගාල්ල කරාපිටිය රෝහලටත් පියා බළපිටිය රෝහලටත් ඇතුළත් කෙරිණි.
මේ පාතාලයන් අදාළ නිවෙසට කඩා වැදී තිබුණේ එම නිවෙසේ සිටි තරුණයකු ඝාතනය කිරීමේ අරමුණෙනි. එම තරුණයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ නිවැසියාගේ පුත්‍රයාය. පොලිසිය සැක කරන අන්දමට මීට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමකි.
මේ අතර ජාඇළ ප්‍රදේශයේ සුවිසල් නිවෙසකට ටී56 තුවක්කුවකින් කිසියම් සංවිධානාත්මක කල්ලියක් වෙඩි තබා පලා ගොස් ඇත්තේ ද පසුගියදාය. වෙඩි තැබීමට නියම හේතුව මෙතෙක් හෙළිවී නැතත් කිසියම් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස එය සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ගෙහිමියා, දරුවා සහ තවත් කාන්තාවක් නිවෙසේ සිට ඇති අතර ඔවුනට හානියක් වී නැත. නිවෙසේ ආරක්ෂක කැමරා පද්ධතිය ඒ වන විට තිබී ඇත්තේ අක්‍රියවය.
මේ අතර පාතාල කල්ලියක් මිනිස් බිල්ලක් ගැනීමට ගිය තවත් අවස්ථාවක් ගැන පසුගියදා වාර්තා වූයේ මොරටුමුල්ල පොලිසියේ නිලධරයන් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ තොරතුරුවලට අනුවය. මේ පාතාල කල්ලිය මෙලෙස සිය මිනිස් බිල්ල ලෙස ගැනීමට සූදානම් වූයේ මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන ජාවාරම්කරුවෙකි.
මොරටුමුල්ල පොලිස් වසමට අයත් විල්ලෝරාවත්ත ප්‍ර දේශයේ පදිංචි විවිධ ජාවාරම්වලට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු ඝාතනය සඳහා සිවුදෙනෙකුගෙන් සමන්විත මේ කල්ලිය ඔහුගේ නිෙවසට පැමිණ ඇත්තේ පසුගිය දිනෙක අලුයම් කාලයේය.
අලුයම 2.30ට පමණ අදාළ නිවෙසට කඩා වැදුණු කල්ලිය එහි නිවෙසේ ඉදිරිපස දොරට තට්ටුකර එය විවෘත කර ගැනීමට නොහැකි වූ තැන පිටුපස දොර කඩාගෙන නිවෙස ඇතුළට පැමිණ ඇත්තේ අනතුරුවය.
මේ කල්ලිය සොයන ජාවාරම්කරු ඒ මොහොතේ නිවෙසේ නොසිටි නිසා ඔහුගේ බිරිය සහ බිරියගේ මව දණ ගැස්සූ කල්ලිය එහි තිබූ රන් ආභරණ සහ භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබිණි. පාතාල කල්ලිය අදාළ කතුන් දෙදෙනා සන්තකයේ තිබුණ රන් ආභරණ, ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ සහ මුදලින් රුපියල් විසිපන් දහසක් ද පැහැරගෙන ගොස් තිබුණේ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙස කතුන් දෙදෙනාට මරණීය තර්ජන සිදු කරමිනි.
මේ කොල්ලය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම එම ස්ථානයට පැමිණි මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් චන්ද්‍රසිරි ඇතුළු කණ්ඩායම විමර්ශන ආරම්භ කරද්දී එම නිලධාරින්ට ලැබුණු සීසීටීවී දර්ශන අනුව පාතාල කල්ලිය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකි විය.
ඒ අනුව මේ කල්ලියේ ප්‍රධානියා අල්ලා ගන්නේ මොරටුව බස් නැවතුම්පොළේ සිටියදීය. ඔහුගෙන් ලැබුණු තොරතුරු මත සෙසු සිවුදෙනා අත්අඩංගුවට ගැනිණි. එලෙස අල්ලාගත් කල්ලියේ නායකයා කල්ලිය අතර ප්‍රචලිතව ඇත්තේ ඒඑස්පී නමැති අන්වර්ථ නාමයෙනි.
ඔවුන් සන්තකයේ තිබුණු කොල්ලකන ලද රන් ආභරණ, ජංගම දුරකතන සහ කොල්ලය සඳහා යොදාගත් තියුණු ආයුධ යකඩ පොල්ලක් වෙස්වළා ගැනීම සඳහා උපයෝගී කරගත් ඇඳුම් ද සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.
ඒඑස්පී නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බව හෙළිවන්නේ සිදුකරන ලද විමර්ශනවලදීය.
මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් චන්ද්‍රසිරිගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර