– ඝාතනය කෙරුණු සෙල්වරාධා ලක්මාලි දෙදරු මවක්
– බදුල්ල කන්දෙකැටිය පොලීසිය කළ විමර්ශනයේදී හෙළිවූ අනුවේදනීය කතාවක්
– සැමියාගේ කැති පහරින් බිරිය අවසන් ගමනේ
අඹුසැමියන් අතර ඇති ආදරය මත එම විවාහ ජීවිතය සාර්ථක වේ. නමුත් දෙදෙනා අතර කිසියම් අවස්ථාවක කිසියම් හෝ සැකයක් හටගතහොත් එය විවාහ ජීවිතය දෙදරා යාමට මෙන්ම මරණයෙන් ද වන්දි ගෙවීමට සිදුවන අවස්ථාවන් වර්තමාන සමාජයේ බහුලව අසන්නට දක්නට ලැබේ.
බදුල්ල දිසාවේ කන්දකැටිය පොලිස් වසමෙන් ද මෙවැනි සිද්ධියක් වාර්තා විය.
අඹුසැමියන් අතර ඇතිවූ සැකයක් නිසා සැමියාගේ කැති පහරින් දෙදරු මවක් සිය දිවියෙන් වන්දි ගෙවමින් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන යෑමේ සිදුවීමක් නොබෝදා වාර්තා වූයේ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයෙනි.
කන්දකැටිය, මහතැන්න ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි චන්දන සමන් කුමාර සහ මීගහකිවුල, අග්ගලාඋල්පත පදිංචි තිස්තුන් හැවිරිදි සෙල්වරාධා ලක්මාලි වීරසිංහ අතර විවාහය වන්නේ මීට වසර පහළොවකට පමණ පෙර යෝජනාවකට අනුවය.
‘චන්දන’ සහ ‘ලක්මාලි’ විවාහ වීමෙන් අනතුරුව ලක්මාලි සිය සැමියාගේ මහතැන්න නිෙවසේ කල් ගෙවමින් සතුටින් ජීවිතය ගත කරමින් සිටියාය. මෙම යුවළගේ ආදර කැදැල්ලට අවුරුදු 6 සහ 12 වයසේ සිඟිති දියණියන් දෙදෙනකු ද සිටි අතර ඉන් එම පවුල තව තවත් ආලෝකවත් වී තිබිණි.
ගොවිතැන් සහ කුලි වැඩ කරමින් චන්දන සිය පවුල නඩත්තු කළේය. මේ අතරේ ලක්මාලි ගැන චන්දනගේ සිතට කිසියම් සැකයක් මතු වන්නට විය. තම බිරිය කිසියම් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට චන්දනගේ සිතට දැනුණේ ඔහුට ලැබුණු කිසියම් හෝඩුවාවක් නිසාය.
චන්දන මේ ගැන බිරිය ලක්මාලිගෙන් ඇසුවද ඇය එවැනි කිසිම අනියම් සබඳතාවක් නොමැති බවට සිය සැමියා ඉදිරියේ වැඳ වැටෙමින් පැවැසුවාය.
කෙසේ වෙතත් බිරිය කෙරෙහි ඇති සැකය චන්දනගේ සිතින් බැහැර නොගිය අතර එම සැකය ඔහුගේ සිත තුළ තව තවත් වර්ධනය වන්නට විය.
එහි ප්‍රතිඵලයක් ලෙස චන්දන එදිනෙදා කිසියම් කුලී වැඩක් කරමින් ලබාගන්නා මුදලින් මත්පැන් පානය කර හවසට නිෙවසට පැමිණ බිරිය සමඟ ආරවුල් ඇති කරගත්තේ ගැටුමක් දක්වා දුරදිග යවමිනි.
හවසට බීමතින් නිෙවසට පියා පැමිණෙන විටදී දරුවන් දෙදෙනා ද බියට පත්ව සිටියහ. බිරිය කෙරෙහි චන්දනගේ සිතේ ඇති වූ සැකය දැන් උඩුදුවා හමාරය. ඔහු සවසට මත්පැන් පානය කර නිෙවසට පැමිණ රණ්ඩු වෙමින් බිරියට ද පහර දෙන්නට විය.
මේ දුක් වේදනාවන් ඉවසාගෙන සිටීමට නොහැකි නිසා ලක්මාලි මේ සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසියට ගොස් පැමිණිලි කළාය. පසුව කන්දකැටිය පොලීසියට ගෙන්වූ මෙම අඹුසැමියෝ සමාදානයට පත් කිරීමට පොලිස් නිලධරයෝ කටයුතු කළහ.
අනතුරුව දෙදෙනා යළි සමාදානයෙන් පවුල් ජීවිතය ගතකරමින් සිටියදී යළිත් චන්දනගේ සිතේ බිරිය කෙරෙහි තිබූ සැකය උඩුදුවන්නට විය. ඔහු බිරියට දරුවන් දෙදෙනා ඉදිරියේ අමානුෂික ලෙස පහර දෙමින් රණ්ඩු සරුවල් කරන්නට පටන් ගත්තේය.
මේ දුක් වේදනාවන් ඉවසගෙන සිටීමට නොහැකි නිසාම ලක්මාලි යළි කන්දකැටිය පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කරමින් පොලීසියේ රැකවරණය පැතුවාය.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ සැකකරුට එරෙහිව බදුල්ල අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබිණි.
පසුව මේ යුවළ නීතියෙන් වෙන් නොවුණද ලක්මාලි සිය දරුවන් දෙදෙනා සමඟ මීගහකිවුල, අග්ගලාඋල්පත ප්‍රදේශයේ මවගේ නිෙවසේ වාසය කළ අතර චන්දන සිය මහතැන්න නිෙවසේ කල් ගෙවමින් සිටියේය.
පසුව කාලයක් ගත වීමෙන් අනතුරුව දෙදෙනා සාමදාන වී දෙපාර්ශ්වයේ කැමත්ත මත ඔවුනට එරෙහිව අධිකරණයේ තිබූ නඩුව ද ඉවත්කර ගනු ලැබිණි. නමුත් මෙම අඹුසැමියන් අතර තිබූ සැකය නිසා හටගත් ආරවුලට විසඳුමක් ලැබී නොතිබිණි.
ලක්මාලි සිය දරුවන් දෙදෙනා රැකබලා ගනිමින් මවුපියන්ට බරක් නොවී සිටීම සඳහා මීගහකිවුල නගරයේ රෙදිපිළි වෙළෙඳසලක රැකියාවකට ගියාය.
චන්දන මහතැන්න සිය නිෙවසේ කල් ගෙවීය. සුපුරුදු පරිදි එදින උදෑසන ලක්මාලි මීගහකිවුල නගරයේ වෙළෙඳසලේ රාජකාරියට යාමට නිෙවසින් පිටවී ගියේ මේ තමන් යන අවසන් ගමන බව නොදැනය.
ලක්මාලි නිෙවසින් පිටත්ව මීටර් 150ක පමණ දුර පා ගමනින් යමින් සිටියදී එක්වරම චන්දන මීගස්දෙනිය ප්‍රදේශයේ ලඳු කලෑවක සැඟවී සිට ලක්මාලි ඉදිරියට පැමිණියේ ලොකු තරහවකිනි.
මේ අතරේ දෙදෙනා අතර කිසියම් වචන හුවමාරුවක් සිදුවූ අතර එහිදී ලක්මාලි චන්දන මඟහැර යාමට උත්සාහ කිරීමත් සමඟ චන්දන ඔහු අත තිබූ කැත්තෙන් ලක්මාලිට පහර දෙමින් ඇය අමානුෂික ලෙස කපාකොටා දැමුවේ ඇය විලාප තබද්දීය. ලක්මාලි මරළතෝනි දෙමින් ලේ විලක් මැද ඇද වැටී කෑගසන්නට වූවාය. ඒ වන විටත් චන්දන පලාගොස් හමාරය.
මේ අතරේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක ලක්මාලි ලේ විලක් මැද තුවාල ලබා වැටි සිටින අයුරු දැක ඇගේ මවට මේ ගැන දැනුම් දීමෙන් පසුව මව එම ස්ථානයට පැමිණ අසල්වැසියන්ගේ සහාය මත ලක්මාලි මීගහකිවුල රෝහලට ඇතුළු කැරිණි. ඒ වනවිටත් ලක්මාලිගේ අතක ඇඟිලි හතරක් කැපී සිරුරෙන් වෙන්වී තිබිණ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ලක්මාලි පසුව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලොවින් සදහටම සමුගෙන ගියේ අහිංසක දරු පැටවුන් දෙදෙනා මෙලොව තනිකර දමමිනි. මෙම ඝාතනය ලක්මාලිගේ සැමියා විසින් සිදු කළ බවට කන්දකැටිය පොලීසිය සැක කළ අතර ඒ අනුව පරීක්ෂණ කටයුතු පවත්වා සැකකරු මහතැන්න ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරුගේ ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් සියලුම තොරතුරු අනාවරණය කර ගත් කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් සැකකරු මේ ඝාතනය සඳහා යොදාගත් කැත්ත මීගස්දෙනිය ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබියදී සොයා ගන්නා ලදි.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා මේ සම්බන්ධයෙන් සිය පරීක්ෂණය සිදුකළ අතර බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඇම්.කේ.බී. විජේතුංග මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදි.
තියුණු ආයුධයකින් කපා-කොටා දැමීමෙන් සිදු වූ බරපතළ කැපුම් තුවාල හේතුවෙන් ලක්මාලිගේ මරණය සිදුව ඇති බවට එම වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර චන්දන රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත පොලිස් අධිකාරි පී. එම්. ජයරත්නගේ අධීක්ෂණයෙන් කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. කේ. දිසානායකගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක මද්දුම බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක නවරත්න, සැරයන් 60098 රත්නායක, 77477 ජානක, 28534 දිසානායක, 47887 විමලනාත්, 53727 සෝමරත්න, 198 සමන්, 95777 තිලක්, 81146 ඒකනායක, 88115 ප්‍රියන්ජිත්, 649 හේරත්, 89947 රංජිත්, 91106 හේරත් යන නිලධාරීහු වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කළහ.
සී. ගමගේ - සොරණාතොට සමූහ