Home » රෝහලෙන් නිම වූ මත්පැන් සාදය

රෝහලෙන් නිම වූ මත්පැන් සාදය

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment
නුවන් ජයසේකර - සූරියවැව විශේෂ

– ගෙලට වෙඩි වැදුණු මදුෂාන් රෝහලේ
– සාදයේදී මාරයා වූ මිතුරාගේ අතින් මන්නය උදුරාගෙන දුව එද්දි පොලීසියට කොටුවෙලා
– කුට්ටිගල සූරියගම මදුෂාන්ට සිදුවුණේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණා වගේ වැඩක්

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සහ විවිධ වැටලීම්වලදී ද පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් පමණක් සැරසී යාම නිසා ගැටලු ඇති වූ අවස්ථා බොහොමයක් පසුගිය කාලයේදී ද වාර්තා විය. මේ නිසාම වැටලීම් සඳහා මෙන්ම රාජකාරි කටයුතුවලදී සිවිල් ඇඳුමින් නිලධාරීන් සහභාගි වන්නේනම් නිල ඇඳුමින් සැරසුණු එක් නිලධාරියකු හෝ ඒ සඳහා යා යුතු බවට විවිධ චක්‍රලේඛ සහ පොලිස්පති නියෝග නිකුත් කිරීමට ද උසස් පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙන පරිසරයක් තුළ තවත් එවැනිම කතාවක් පසුගිය දින කුට්ටිගල පොලිස්බල ප්‍රදේශයෙන් වාර්තා විය.

කුට්ටිගල, සූරියගම අංක 741/4 දරන ලිපිනයේ පදිංචි 26 හැවිරිදි රාමසිංහ මදුෂාන් දෙදරු පියෙකි. මදුෂාන් පසුගිය 21 වැනි දින එම ගමේම පදිංචි සිය මිතුරකු වූ නලින්ගේ නිවෙසේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයකට සහභාගි වීමට ගියේ රාත්‍රි 07ට පමණය. ඒ ව‍නවිටත් තවත් තරුණයෝ දෙදෙනෙක් ද නලින්ගේ නිවෙසට පැමිණ සිටියහ. සිවුදෙනා එක්ව ආරම්භ කළ මත්පැන් සාදය රෑබෝ වෙන තෙක් පැවති අතර මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී ඉන් දෙදෙනෙකු පිටව ගියත් මදුෂාන් සහ නලින් එහි රැඳී සිටිමින් ගමේ ගොඩේ සිදුවන ඕපාදූප කතා කරමින් විනෝද වූහ.

ගතවූයේ ඉතා කෙටි වේලාවකි. දෙදෙනාගේ අල්ලාප සල්ලාපය අතරතුර ඇති වූ වචන හුවමාරුවක් නිසා දෙදෙනා අතර ආරවුලක් ඇතිවිය. බහින්බස්වීම මහා රණ්ඩුවක් බවට පත්විය. නලින්, කෙසෙල් කපන මන්නයක් ද ගෙන මදුෂාන්ට පහර දීමට සැරසුණි. එහිදී වහා ක්‍රියාත්මක වූ මදුෂාන් සිය මිතුරා අත තිබූ මන්නය උදුරාගෙන එම ස්ථානයේ සිට කැලෑබද මාර්ගයක් ඔස්සේ කළුවරේම සිය නිෙවසට පැමිණෙමින් සිටියේ ප්‍රාණ බයෙනි. ඒ යහළුවා යළි පැමිණේවි යන භීතිය නිසාය. වටපිට බලමින් කැලෑබද පටු පාරෙන් යමින් සිටි මදුෂාන්ට තවත් කරදරයකට මුහුණදෙන්න වූයේ නොසිතූ අයුරිනි. කුට්ටිගල පොලීසියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද එම ප්‍රදේශයට ගොස් තිබුණේ කිසියම් රාජකාරි කටයුත්තක් සඳහාය. මරණ බයේ භිරන්තව කෙසෙල් කපන මන්නා පිහියත් අතින්ගෙන හතර අතේ බලමින් ඉදිරියට එමින් සිටි මදුෂාන් තුෂ්ණීම්භූතව ගියේ එක සැරේම මහමඟ කැලේ සැඟව සිටි සිවිල් ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් “ඔහොම හිටපිය” කියාගෙන පාරට පැනීම නිසාය. මදුෂාන් සිතුවේ අද තමන් ඉවරයි කියාය. මිතුරා තමන් සොයාගෙන පසුපසින් පැමිණ ඇතැයි සිතූ මදුෂාන් ඔහු අත තිබූ මන්නා පිහිය හතර අතේ වනන්නට වූයේ ජීවිත ආශාව නිසාය.

“නවත්තපං ඕක… අපි පොලිසියෙන්” කියා පිරිස කෑගහද්දී සිදුව ඇත්තේ කුමක්දැයි මදුෂාන්ට තේරී හමාරය. ඒ වනවිටත් මදුෂාන්ගේ පිහිය වැනිල්ලට පොලිස් නිලධාරියකුට ද තුවාල වී තිබුණි.

“අනේ බුදු සර් සමාවෙන්න. මම දන්නේ නෑ ඔයාලා පොලීසියෙන් කියලා. මම යාළුවත් එක්ක මේ රණ්ඩුවක් වෙලා එන ගමන්. මාව කපන්න හැදුවා මන්නයකින්. මම මේ මන්නයත් අරගෙන එන ගමන්. මම හිතුවේ උන් හැංගිලා ඉඳලා මාව මරන්න පැන්නා කියලයි” යනුවෙන් පවසමින් මදුෂාන් අත තිබූ මන්නා පිහිය ද බිම දමා අත් ඉහළට එසවීය. ඒත් ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලීසිය මදුෂාන්ට වෙඩි ප්‍රහාරයක් ද එල්ල කළේය. එම වෙඩි ප්‍රහාරය මදුෂාන්ගේ ගෙල අයිනෙන් වැදී ගියේය. වෙඩි වැදීමත් සමඟ ගෙල බදාගෙන මදුෂාන් බිම ඇද වැටෙද්දී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මදුෂාන්ගේ දෑතට විලංගු දැමීය.  

පොලීසිය එම අවස්ථාවේ තැබූ වෙඩිල්ලේ ශබ්දයත් සමඟ අහල පහල මිනිස්සු ද පාරට එක්රොක් වූහ. සිදුව ඇත්තේ කුමක්දැයි දැනගත් ගම්වැසියන් ද එහිදී පොලිසියට විරෝධය දැක්වීය. එහිදී පොලිසි නිලධාරීන් ගම්වැසියන් කිහිප දෙනෙකු සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර පොලීසිය විසින් කිහිප දෙනෙකුට පහර දීමක් ද සිදුකර තිබේ. කරුවලේ මේ සිදුවන රණ්ඩුව අතරේ වෙඩිපහර කා අත්විලංගු ලා සිටි මදුෂාන් පොලීසියටත් හොරා එම ස්ථානයෙන් කැලයට පැන පලා ගියේය. අත්අඩංගුවට ගත් පුද්ගලයා අතුරුදන් බව දැනගත් පොලිස් නිලධාරීන් තුෂ්ණීම්භූතව ගියේ මාංචු කූට්ටමත් නොමැති නිසාය. පොලිස් නිලධාරීන් මදුෂාන්ගේ නිවෙසට ගොස් ඇති නමුත් ඒ වනවිටත් මදුෂාන් නි‍ෙවසට පැමිණි සිටියේ නැත. සිදු වුයේ කුමක්ද යන්න කිසිවක් නොදත් මදුෂාන්ගේ නි‍ෙවසට ගිය පොලිස් නිලධාරීන් මදුෂාන්ගේ බිරියට බැණ තර්ජනය කර පසුව මදුෂාන්ගේ පියාගේ නි‍ෙවසට ද ගොස් පියාට ද බැණ තර්ජනය කර තිබිණි. පොලීසිය පියාගේ නි‍ෙවසට පැමිණෙන විටත් එම නි‍ෙවස ආසන්නයේ කැලෑවේ මාංචු පිටින්ම සැඟව සිටි මදුෂාන් සිදුවන සියල්ල බලා සිටියේය. පොලීසියෙන් පැමිණ සිය පියාට පහර දෙනු දුටු මදුෂාන් මහ කැලේ සිටම මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංක 119ට කතා කර පැමිණිලි කළේය. තමන්ට මෙහිදී අත්විඳීමට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන එහිදී මදුෂාන් 119ට පැමිණිලි කර තිබේ. ඉන් අනතුරුව මදුෂාන් සිය ඥාතීන් කිහිප දෙනෙකුටම කතා කර තමන්ට සිදු වූ සිද්ධිය කියා තමන්ව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන ලෙස ඉල්ලා ඇතත් කිසිවකුත් ඒ සඳහා ඉදිරිපත්ව නැත. ඒ වනවිටත් මෙම සිදුවීම සිදුව පැය තුනහතරක් ගෙවී ගොස් හමාරය. මේ වෙලාවේ පොලීසියට හසුවුවහොත් තමන්ට අත්වන ඉරණම පිළිබඳව හොඳාකාරවම දැන සිටි නිසා මදුෂාන් පොලීසිය මඟහැර පළමුව තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු විය. මේ අස්සේ මාංචු පිටින් පැන්න මදුෂාන් අල්ලා ගැනීම සඳහා පොලිස් නිලධාරීහු පිරිසක් ගම වටේම ඒමේ අත කරක් ගහන්නට වූහ. කිසිවකුගේත් පිහිටක් නොමැති වූ තැන මදුෂාන්, කුට්ටිගල සිට කැලෑ මාර්ග ඔස්සේ තුවාල ද සහිතව ඉතා අපහසුවෙන්ම ඇඹිලිපිටිය ගම්උදා ක්‍රීඩාංගණය අසලට ගොස් 1990 හදිසි ගිලන් රථ සේවයට සහ කුට්ටිගල පොලිසියට දුරකතනයෙන් කතා කර තිබේ. ඒ අනුව ගිලන් රථයත් පොලීසියත් එම ස්ථානයට පැමිණි පසු එම ස්ථානයට පැමිණි මදුෂාන්, පොලීසියේ මාංචු කුට්ටම පොලීසියට බාර දී ගිලන් රථයෙන්ම රෝහලට ඇතුළත්ව ඇත්තේ පොලීසියේ ද සහාය ඇතිවය.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. වෙඩි ප්‍රහාරය හේතුවෙන් මදුෂාන්ගේ බෙල්ලට මඳක් පහළින් කේට ග්‍රන්ථියකට හානි විය. එමෙන්ම යටි පතුල ද තුවාල වී තිබුණි. කෙසේ නමුත් සිද්ධිය පිළිබදව කුට්ටිගල පොලිසිය පැවසුවේ කිසිම වෙඩි තැබීමක් සිදු නොවුණු බවයි. බෝතල් කටුවකට කැපීම නිසා තුවාල සිදුව ඇති බවත් පොලීසිය පැවසීය. රෝහල්ගත කෙරුණු පුද්ගලයා සම්බන්ධ සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයේදී ඊට අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ගෙල ප්‍රදේශයේ තුවාලය සිදුව ඇත්තේ වෙඩි වැදීමකින් බවටය. කෙසේ නමුත් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් කුට්ටිගල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ වනවිට තමන්ට අත්විඳීමට සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත්ව සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කර දෙන ලෙස ඉල්ලමින් මදුෂාන් විසින් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත ද 09 දින ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. ඒ අනුව හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස් කොමිෂන් සභාවට සහ පොලිස්පති ඇතුළු සියලු වගකිවයුතු නිලධාරීන් වෙත ලිඛිතව පැමිණිලි කළ බව අප කළ විමසීමකදී හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division