– දවසින් දවස දරුවට එයා දෙන වධ හිංසා පීඩා ගැන මම හිටියේ ලොකු සිත්තැවුලක
– ගෙදර අය එපාම කියද්දිත් මම රාණි කසාද බැන්දේ එයා ගැන තිබුණ ආදරය නිසා
– දරුවව එළියට දාලා එයා ගේ ඇතුළට වෙලා වෙන මිනිහෙක් එක්ක ආදරය කරන හැටි මට බලා ඉන්න බැරි වුණා
හිරගෙදරට ආව දවසේ ඉඳලම මටනම් කිසිම සැනසිල්ලක් තිබුණේම නැහැ. මගෙත් එක්ක එකට ඉන්න අනිත් එක්කෙනා රෑට ගොරව ගොරවා නිදියද්දීත් මම ඇහැරිලා. මේ අවුරුදු පහටම මම හරියට නිදියලා නැහැ. මට මගේ දරුවා මතක් වෙනවා. ඒ පොඩි එකාගේ මුහුණ මතක් වෙනකොට මට බත් ඇටයක්වත් ගිලෙන්නේ නැහැ.
“ඇයි ඔයාට එහෙම වුණේ…“ මං ඔහුගෙන් එහෙම ඇහුවා.
මම කසාද බැන්දේ ආදරය කරලා. මගේ අම්මා තාත්තා… නෑ හිතවත්තු කිසිම කෙනෙක් කැමැති වුණේ නැහැ මං එයාව කසාද බඳිනවට. ඒත් මට එයාව අත්හරින්න බැරි වුණා. අම්මා මට වැන්දේ නැති ටික විතරයි. ‘පුතේ උඹගෙ රස්සාවට ගැළපෙන කෙනෙක් බැඳපන්…‘ අන්තිමට අම්මා මට එහෙමත් කිවුවා. ඒත් මගේ හිතුවක්කාරකමට ඒවා ඇහුවේ නෑ.
මට රාණිව හමු වුණේ අපේ යාළුවෙකුගේ ගෙදරදී. එයා හරි පොෂ් විදිහට කතා කළේ. ඇඳුම් ඇන්දෙත් ඒ විදිහට. ඒ නිසා මං එයාට රැවටුණා. ඒත් හැම දෙයක්ම එළිවෙනකොට මං ගොඩක් දුර ගිහින් ඉවරයි. රාණි ලස්සනයි. ඒ ලස්සන නිසාමයි මම එයත් එක්ක යාළු වුණේ. එයා මට කිවුව හැම දෙයක්ම බොරු. එයා කිව්වේ එයාගේ අම්මා තාත්තා ලංකාවේ නැහැ. පිටරට ඉන්නේ කියලා. මම එයා කියපු හැම දෙයක්ම විශ්වාස කෙරුවා. ඒ නිසා මං අම්මට ගිහින් කිවුවා මට රාණිව බඳින්න ඕන කියලා. මොන හේතුවක්ද මන්දා ගෙදරටම වෙලා හිටපු අම්මා මම රාණි ගැන කියපු කිසිම දෙයක් විශ්වාස කළේ නැහැ. අම්මා කොහොමහරි තාත්තටයි ලොකු අයියටයි රානි ගැන කියලා තිබුණා. ලොකු අයියා තමයි ගෙදර ඇවිල්ලා හැම දෙයක්ම කිවුවේ.
“උඹට පිස්සුද බං මුඩුක්කුවේ ගෑනියෙක් කසාද බඳින්න…“
අයියා මට එහෙම කිවුවාම මං පුදුම වුණා.
“ඔයාට පිස්සුද ලොකු“ මං අයියාගෙන් එහෙම ඇහැව්වා.
“කාටද පිස්සු කියලා තනිවුණ දවසක තේරෙයි. ඔන්න ඔය මඟුල අමතක කරලා දාපන්…“ මං ලොකු අයියා කියපු දේවත් මගේ වැඩිහිටියෝ කියපු දේවත් විශ්වාස කළේ නැහැ. ඇත්තම කිවුවොත් ඒ හැමෝටම වඩා මම රාණිව විශ්වාස කළා.
කොහොමහරි මගේ ගෙදර අය මාව අතැරියා. මම රාණිට කිවුවා අපි කසාද බඳිමු කියලා. එයත් කැමැති වුණා. අපි දෙන්නා විවාහයෙන් පස්සේ පොඩි ගෙයක් අරගෙන පදිංචි වුණා. මාස කීපයක් යන විට රාණිට දරුවෙක් ලැබෙන්න ආවා.
“ගෙදරට කවුරුහරි තනිවට හොයා ගමු නේද?“
රාණි මට එහෙම කිවුවම මම එයාට කිවුවා කාවහරි බලන්න කියලා. එයාම යාළුවෙක්ට කියලා මැදිවියේ අම්මා කෙනෙක් ගෙදරට ගෙන්න ගත්තා. ජීවිතේ බොහෝම ලස්සනට ගෙවිලා ගියා. අපිට පුතෙක් ලැබුණා. දරුවගේ උදව්වටයි රාණිගේ උදව්වටයි අර අම්මා බොහෝම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. කිසිම කරදරයක් නැතිව අපි ලස්සන ජීවිතයක් ගත කළා. පුතාට අවුරුදු තුනක් වෙනකොට එයාව පෙර පාසල් දාන්න සූදානම් වුණා. මගේ පුතා හරි හුරතල්. රානි දරුවට ආදරෙන් හිටියා. ඒත් ඒ ආදරේ ටික ටික වෙනස් වෙනවා කියලා මට දැනුණේ එයා හැම තිස්සෙම දරුවට බණින්න ගහන්න ගත්තම.
“ඇයි මේ පුතාට ඔහොම වධ දෙන්නේ ? ඒ ළමයා පොඩියිනේ…“ මම කොච්චර එහෙම කිවුවත් එයා එයාගේ පුරුද්ද අත්හැරියේ නැහැ.
දවස, දවස ගෙවිලා ගියා. දවසක් මම ගෙදර එනකොට දරුවා මිදුලේ වැලි ගොඩේ සෙල්ලම් කරනවා. ඒත් සාලේ දොර වහලා. මම දරුවත් වඩාගෙන දොර ඇරියා.
“කෝ පුතේ අම්මා…“ කියාගෙන අපි ගෙට ගියා. මගේ කටහඬට තමයි රාණි කාමරේ ඉඳලා ගැස්සිලා වගේ එළියට ආවේ. එයා මට කාමරයට යන්න දුන්නේ නෑ. “අපි යමු තේ බොන්න“ කියලා මාවත් ඇදගෙන කුස්සියට ගියා.
එදා දවස කිසිම ප්‍රශ්නයක් නැතිව ගෙවිලා ගියා. ඉන් දවස් දෙකකට පස්සේ තමයි මට අපේ ගෙවල් ළඟ ඉන්න අන්කල් කෙනෙක් අතරමඟදි හමු වුණේ.
“පුතා මම මේ කේලමක් කියනවා නෙමෙයි. ඒත් ඔයා ඔයාගේ ගෙදරට යන්නේ එන්නේ කවුද කියලා සෝදිසියෙන් ඉන්න…“ එයා එහෙම කිවුවා.
මම එදා ඉඳලා කල්පනා කළා. ඇයි එයා එහෙම කියන්නේ කියලා. මේ කාලේ වෙනකොට මගේ පොඩි නංගි මා එක්ක යාළුයි. එයා මගේ ඔෆිස් එකට එනවා මාව බලන්න එහෙම. නංගි විවාහ වෙලා හිටියත්. එයාට දරුවෝ නෑ. නංගි මගේ පුතාට හරි ආදරෙයි. එයා සමහර දවසට දරුවා බලන්න ගෙදර එනවා. දවසක් නංගි මට කතා කරලා කිවුවා, ‘එයා අපේ ගෙදර ගියා. පුතා මිදුලේ සෙල්ලම් කරනවා. ඒත් ගෙදර දොරවල් වහලා‘ කියලා. මං එවලේම ගෙදර ගියා. නංගි මිදුලේ දරුවා එක්ක. ටිකකින් වැඩට ඉන්න ගෑනු කෙනත් ආවා.
“ඇයි මහත්තයා මෙහෙම. නෝනා ගෙදර හිටියනේ මං යද්දි…“ උන්දැ එහෙම කියන්න ගත්තා.
ඒ වෙනකොට නම් මට පුදුම තරහක් තිබුණේ. මම නංගිගේ අතට දරුවා දීලා දොරට පයින් ගැහුවා. දොර ගැලවුණා. ඒ එක්කම මම කාමරයට ගියා. මට මාවත් අමතක වුණා. මගේ දරුවවත් අමතක වුණා. රාණි මිනිහෙක් එක්ක කාමරේ.
මං දන්නෑ මම මොනවා කළා ද කියලා. නංගියි දරුවයි රාණියි හැමෝම කෑගහනවා විතරයි මට මතක. මම අර මිනිහට මොනවා කළාද කියලා මතක නෑ. මගේ අතේ හැමතැනම ලේ. පොලිසියෙන් එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. මිනීමැරීමේ චෝදනාවට මට හිරේට එන්න වුණා.
රාණිව මට ආයේ කිසිම දවසක මගේ ඇස් දෙකින් දකින්න වුවමනාවක් නැති වුණා.
මං උසාවියේදී කරපු එකම ඉල්ලීම මගේ දරුවා නංගිට දෙන්න කියලා විතරයි. ඒක තමයි මට තියෙන එකම සැනසීම. දරුවා නංගි ළඟ දැන් හොඳින් ඉන්නවා. රාණි මට කොයිතරම් බොරුවක්ද කරලා තියෙන්නේ කියලා එළි වුණේ ඊට පස්සේ.
එයා මට කියලා තියෙන හැම දෙයක්ම බොරු. එයා මුඩුක්කු පේළියක හැදුණ වැඩුණ කෙනෙක්. ගෙදර වැඩට ඉඳලා තියෙන්නේ එයාගේ අම්මා. ලස්සන ජීවිතයක් ගෙවන්න තිබුණ මගේ ජීවිතේ නිරපරාදේ රැවටුණා. මේවා ඇවිල්ලා සංසාර කරුම. මට තියෙන එකම සැනසීම මගේ දරුවා විතරයි. දවසක මාව මේ හිරගෙදරම මැරිලා යයි.
ආදරයට රැවටිලා මම වැටිච්ච අමාරුවක් කියලා හිතට එනකොට මට නින්ද යන්නේ නෑ. කෑම කන්න බැහැ. හිරගෙදරදී මට හමු වූ ඒ කෙසඟ පුද්ගලයා පවසන්නට වූයේ දිගු සුසුමක් හෙළමිණි.
(රාණි යන නම මන:කල්පිතය)
විශේෂ ස්තූතිය – බන්ධනාගාර
දෙපාර්තමේන්තුවට