Home » සුපිරි වාහන කුලියට අරන් පොත් හදලා විකුණන හොර දොස්තර

සුපිරි වාහන කුලියට අරන් පොත් හදලා විකුණන හොර දොස්තර

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– කෝටි තුනකට උකස් කළ කේ.ඩී.එච් එකක් සහ බෙන්ස් රියක් සොයා ගනී
– සැකකරුගේ වයස 33 යි: පදිංචිය පාමංකඩ

අපරාධකරුවන් විවිධ වේශවලින් පෙනී සිටින අතර බොහෝ අවස්ථාවල ඔවුන් අසරණ, අහිංසක මිනිසුන් මුළා කිරීම සඳහා යොදාගන්නේ ඔවුන් විසින්ම ආරූඪ කරගන්නා යම් ‘චරිත’ ය. මේ ‘චරිත’වලට රැවටෙන ඇතැම් පුද්ගලයන් අපරාධකරුවන්ට, වංචාකරුවන්ට හසුවන්නේ නොදැනුම්වත්මය.

සමාජයේ වැදගත් යැයි සැලකෙන වෘත්තීන්වල නිරත අය බව පෙන්වමින් එසේ හැසිරෙමින් අහිංසක අසරණ මිනිසුන් ‘අන්දා’ ඔවුන් සතු මිල මුදල් වංචා කරන පුද්ගලයන් ගැන මාධ්‍ය මඟින් නොයෙක් අවස්ථාවලදී හෙළිදරව් කළද එවැනි පුද්ගලයන්ගේ උපක්‍රමවලට රැවටෙන අයගේ අඩුවක්නම් නැත. හොර විදේශ රැකියා ජාවාරම ද ඒ අතර මේ වනවිට ප්‍රධාන ස්ථානයක් ගෙන ඇති බවනම් රහසක් නොවේ.

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු කුලී වාහන ආයතන හිමියන් රවටා දීර්ඝ කාලයක සිට සිදුකළ වංචනික ක්‍රියාවන් පිළිබඳ පසුගියදා වාර්තා වූයේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ හෝමාගම උප ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනයකදීය.

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු කොට්ටාව නගරයේ පිහිටි කුලී පදනමට වාහන ලබා දෙන ආයතනයකට පැමිණ කේ ඩී එච් වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථයක් කුලී පදනමට ලබාගෙන තිබුණේ පසුගියදාය. පසුව මේ පුද්ගලයා එහි ජී පී එස් පද්ධතිය ගලවා ඉවත් කර ඇති බවට කුලී වාහන ආයතන හිමිකරු කොට්ටාව පොලිසියට පැමිණිලි කරන්නේ අනතුරුවය.

කොට්ටාව පොලිසියේ පැමිණිල්ල සටහන් කිරීමත් සමඟ විමර්ශන ආරම්භ කෙරෙන්නේ එහි අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසිනි. මේ විමර්ශන මෙලෙස පැවැත්වෙන අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අයත් හෝමාගම උප ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායමක් ද මේ ගැන දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළේ ඔත්තුකරුවන්ගේ සහාය ද ලබාගෙනය. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මේ වාහන වංචාව සිදුකළ පුද්ගලයා හරියටම කවුදැයි උපපොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායම ඒ වනවිටත් හෙළිකර ගෙන තිබුණු අතර ඔහුගේ ඡායාරූප කිහිපයක් ද පරිශීලනය කිරීමට පොලිසියට ලැබී තිබුණි.

මෙලෙස විමර්ශනවල නිරත වන පොලිස් නිලධරයන්ට තොරතුරක් ලැබිණි. ඒ අදාළ සැකකාර පුද්ගලයා කොට්ටාව නගරයේ සිටින බවය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග සැකකරු අත්අඩංගුවට ගන්නේ කොට්ටාව නගරයේදීය. සැකකාර පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ‍හෙළිවන්නේ කොට්ටාවේ පිහිටි වාහන කුලියට දෙන ආයතනයෙන් ලබාගත් කේ ඩී එච් සුඛෝපභෝගී වෑන් රථය, මීරිගම ප්‍රදේශයේ අයකුට රුපියල් කෝටියකට උකස් කළ බවයි. සැකකරුගේ ප්‍රකාශය අනුව මීරිගමට ගිය පොලිසිය අදාළ සුඛෝපභෝගී වෑන් රථය සොයාගෙන තිබිණි. මේ පුද්ගලයා එහි හිමිකම් සහතිකය කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කර තවත් රුපියල් ලක්ෂ 80ක් ලබාගෙන තිබුණු බව ද අනාවරණය වන්නේ උපපොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායම සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදීය. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින මේ පුද්ගලයා එවැනි වෘත්තියක නිරත වන්නකු නොව නොම්මර එකේ වාහන හොරෙක් බව ඒ වනවිට වටහාගෙන සිටි විමර්ශන නිලධාරීන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන්නේ ඔහු විසින් තවත් සිදුකර ඇති මෙවැනි වාහන වංචා පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහාය.

එහිදී හෙළිවන්නේ මේ සැකකරු මුල්ලේරියාවේ පිහිටි වාහන කුලියට දෙන ආයතනයකින් ද බී එම් ඩබ්ලිව් සුඛෝපභෝගී කාරයක් ලබාගෙන ඊට ද ව්‍යාජ සහතික සකසා ගණකාධිකාරිවරයකුට රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට උකස් කර ඇති බවයි. එම වාහනය උකසට ලබාගත් ගණකාධිකාරිවරයා විදේශයක සිට මෙරටට පැමිණ ඇත්තේ මෑතකදීය. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මෙම වාහන දෙක සඳහා ව්‍යාජ ලේඛන සැකසීම පිණිස ඒවායේ මුල් හිමිකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් පවා සාදා තිබුණු බවද අනාවරණය විය.

එමඟින් අදාළ වාහනවල හිමිකම් සහතික, පැවැරුම් සහතික, දුම් සහතික ඇතුළු සියලු ලේඛන ඉතා කූට ලෙස සකස් කර තිබූ බව ද හෙළි විය. මේ වාහනවලට අදාළ හිමිකම් සහතික ව්‍යාජ ලෙස සකස් කිරීම සඳහා ආර් එම් වී යේ නිලධරයකුගේ කිසියම් සහායක් මේ පුද්ගලයාට ලැබී ඇත්දැයි පොලිසිය සොයාගෙන යයි. එම පුද්ගලයාට ඒ සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් මේ සැකකරු ගෙවා ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ ගැන විමර්ශන සිදු කෙරේ. අදාළ පුද්ගලයා උන්හිටිතැන් අත්හැර ගොස් ඇති බවට ද පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන සැකකරු වෛද්‍යවරයෙකු ලෙසින් පෙනී සිටීම සඳහා ව්‍යාජව සකස් කරගත් හැඳුනුම්පතක් ද පොලිසියට හමුවී ඇත. එම හැඳුනුම්පත සකස් කළ ස්ථානය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන ද විමර්ශන සිදුකැරේ.

මෙලෙස වාහන උකස් කර ලැබෙන මුදල් මේ සැකකරු වියදම් කර ඇත්තේ කැසිනෝ සූදුවටය. එහිදී ඔහු විශාල මුදලක් පරාජය වී ඇති බව ද හෙළිවී ඇත.

අදාළ සැකකරුගේ ජාවාරමට අනියමින් සම්බන්ධ පුද්ගලයන් සහ ව්‍යාජ සහතික සකස් කිරීමට සම්බන්ධ අය සොයා සෙසු විමර්ශන පැවැත්වෙයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල යන නිලධරයන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසිංහගේ මෙහෙයවීමෙන් හෝමාගම උප ඒකකයට ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග, කොස්තාපල් (73034) ලක්මාල්, (77857) චතුරංග, (99619) දිසානායක, (103732) ධනංජය, පොලිස් කොස්තාපල් රියදුරු (80682) ශ්‍රීලාල් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division