Home » ඉක්මනට පෝසත් වෙන්න මොරගහහේනේ තාත්තයි පුතයි කරපු අපූරු බිස්නස් එක

ඉක්මනට පෝසත් වෙන්න මොරගහහේනේ තාත්තයි පුතයි කරපු අපූරු බිස්නස් එක

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

– අයිස් – හෙරොයින් ජාවාරම් කළ තාත්තයි පුතයි කොටුවන්නේ මොරගහහේන පොලිසියට
– විකුණන්න ගෙනත් දෙන පුද්ගලයාත් වීදියගොඩදී අල්ලයි
– කොට්ඨාස බුද්ධි අංශයේ සැරයන්වරයකුට ලැබුණු ඔත්තුවක්

මහා පරිමාණයෙන් සහ සුළු පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින අය ඒ සඳහා පෙළඹෙන මූලිකම හේතුව ඔවුනට අධිකව ලැබෙන ධනස්කන්ධයයි. ඇතැම්විට මේ ජාවාරම්කරුවෝ ද මත්ලෝලීහුය. ඔවුන් අතරිනුත් ඇතැමෙක් ද මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින්නේ තමන් ඇබ්බැහිවී සිටින මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම සඳහා වීම ද සුවිශේෂීය.

මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පුද්ගලයන් අතරින් එකම පවුලේ අය සහ ඥාතීන් ද සිටීම සුවිශේෂීය. පොලිසිය සිදු කළ ඇතැම් වැටලීම්වලදී සැමියා, බිරිය, දරුවන්, එකම පවුල්වල ඥාතීන්, අක්කා නගෝ, අයියා, මල්ලි, තාත්තා, පුතාලා සහ දියණියන් ද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණු අවස්ථා තිබිණි. තමාගේ කුසෙන් උපන් කිරි දරුවන් සමඟ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අම්මලා ද එකම පවුලේ අයියා, නංගිලා ද මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවූ අවස්ථා තිබිණි.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තාත්තා පුතා සහ මිත්‍රයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුවතක් පසුගියදා වාර්තා වූයේ මොරගහහේන පොලිස් ස්ථානයෙනි. ඒ එම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

බස්නාහිර ඇතුළු රටේ සියලුම පොලිස් ස්ථානවලට අනුයුක්ත බුද්ධි නිලධාරීන් රාජකාරියේ නිරත වන අතර ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය ජාතික ආරක්ෂාව, මත්ද්‍රව්‍ය ජාවාරම් අපරාධ සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමයි. බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු කාර්යාංශය, විශේෂ කාර්යාංශය සහ පොලිස් කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන බුද්ධි ඒකක මඟින් සිදුකරන්නේ ද අන්න ඒ දෙයයි. මේ නිලධාරීන් ලබා දෙන ලද තොරතුරු නිසා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගණන ද සුළුපටු නැත. විශේෂයෙන් කොට්ඨාස බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ අදාළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේය.

එලෙස ක්‍රියාත්මක කොට්ඨාස බුද්ධි තොරතුරු අංශයේ සැරයන් (91214) වන්නිනායකට පසුගියදා ඉතා රහසිගත තොරතුරක් ලැබිණි. ඉන් කියැවුණේ මොරගහහේන පොලිස් වසමේ පදිංචි පියකු සහ පුතකු එක්ව ඉතා රහසිගතව කාලයක් තිස්සේ සිදුකරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳවයි.

සැරයන් වන්නිනායක තමාට ලැබුණු රහසිගත තොරතුර පිළිබඳව ඉතා දීර්ඝ ලෙස සොයා බලමින් ඒ ගැන විමර්ශනයක් සිදු කරන්නේ අදාළ තොරතුරේ සත්‍ය අසත්‍යතාව තවදුරටත් තහවුරු කරගැනීම සඳහාය.

සැරයන් වන්නිනායක එලෙස සිදුකරන ලද විමර්ශනයේදී මේ පියා, පුතා ගැන පමණක් නොව ඔවුන් ජාවාරම් කරන මත්ද්‍රව්‍ය පිළිබඳව ද තොරතුරු සොයා ගැනිණි. මේ අනුව ඔහු මේ ගැන මොරගහහේන පොලිස් නිලධරයන් දැනුම්වත් කරන්නේ ඉන් අනතුරුවය.

සැරයන් වන්නිනායක ලබාදුන් තොරතුරට අනුව මෙහෙයුම සූදානම් කෙරිණි. ඒ මොරගහහේන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්ලිකාරච්චිගේ උපදෙස් මතය. මොරගහහේන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සැරයන් (113426) සම්පත් ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකිරීම සඳහා සූදානම් වන්නේ ඔයඅතරය.

මොරගහහේන පොලිස් වසමට අයත් ඇටඹගහහේන ප්‍රදේශයේ නිවෙසක මේ ජාවාරම සිදුකර ගන යන බවට ඒ වනවිටත් පොලිස් නිලධරයන් හෙළිකරගෙන තිබුණු අතර පොලිස් නිලධරයන් කණ්ඩායමක් අදාළ නිවෙස වටලන්නේ කිසිවකු නොසිතූ අවස්ථාවකය. එහිදී එහි සිටි පියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගැනෙන්නේ සැකපිටය. පියාගේ වයස අවුරුදු 55ක් පමණ වූ අතර පුතාගේ වයස අවුරුදු 35ක් පමණ බව ද හෙළි විය.

පුත්‍රයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6150ක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා භාවිත කළ ඉටිකවර තොගයක් ද පොලිසිය සොයාගන්නේ මෙහිදීය. පියා පරික්ෂා කළ පොලිස් නිලධාරීන් ඔහු සන්තකයේ තිබුණු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2300ක් සහිත පැකට් 9ක් සොයා ගැනිණි. සැකකරුගේ ඉණේ සඟවාගෙන සිටියදී ඒවා සොයා ගන්නා ලදි. මේ දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිසිය සොයා ගන්නේ ඔවුන් දෙදෙනා පියා සහ පුත්‍රයා බවයි.

මේ තාත්තා සහ පුතා එක්ව සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල අලගිය මුලගිය තොරතුරු සොයා ගැනීම සඳහා දෙදෙනාගෙන් ප්‍රශ්න කැරිණි. පොලිස් නිලධරයන්ගේ මූලිකම ප්‍රශ්නය වූයේ මේ තාත්තා සහ පුතාට මත්ද්‍රව්‍ය ලැබෙන නියම ක්‍රමය අනාවරණය කර ගැනීමයි. එහිදී හෙළිවන්නේ ත්‍රිරෝද රථ රියැදුරකු මේ ජාවාරමට සම්බන්ධව සිටින බවයි. තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය ගෙන දෙන්නේ අදාළ ත්‍රිරෝද රථ රියැදුරු බව ද ඔහු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි අයකු බව ද හෙළිවන්නේ ඒ අනුවය.

පොලිස් නිලධාරීන් ඒ අනුව සැලැසුම් කරන්නේ මේ තාත්තා සහ පුත්‍රයාට ජාවාරම් කිරීම සඳහා ‘බඩු’ ගෙනැවිත් දෙන ප්‍රධාන ජාවාරම්කරු වන ත්‍රිරෝද රථ රියැදුරා අල්ලා ගැනීම සඳහාය.

ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ රියැදුරු බණ්ඩාරගම, වීදියගොඩ ප්‍රදේශයේ අධිවේගී ගුවන් පාලමක් අසල රැඳී සිටියදී අත්අඩංගුවට ගැනිණි. ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2100ක්ද සොයා ගැනිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර තාත්තා සහ පුතා ගැන පොලිස් නිලධාරින් තවදුරටත් සිදුකරන ලද සොයා බැලීමේදී හෙළිවන්නේ ඔවුන් දෙදෙනා මීට පෙරද අවස්ථා තුනකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී කලක් බන්ධනාගාරගතව සිටින අය බවයි. මේ දෙදෙනාට ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය සපයන ත්‍රිරෝද රථ රියැදුරු ලවා ගෙන්වා ගන්නා මත්ද්‍රව්‍ය ඔවුන් මොරගහහේන, හොරණ, කිරිඇල්ල, ඇහැළියගොඩ ප්‍රදේශවලට මහා පරිමාණයෙන් බෙදාහැර ඇති බව ද හෙළිවන්නේ ඒ අනුවය.

මොරගහහේන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්ලිකාරච්චිගේ උපදෙස් මත දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සැරයන් (13428) සම්පත්, සැරයන් (66337) ඉන්ද්‍රජිත්, කොස්තාපල්වරුන් වන (31292) ජීවන්ත, (31320) ලක්රුවන්, (9623) කුමාර ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන ලද අතර කොට්ඨාස බුද්ධි අංශයේ සැරයන් (91214) වන්නිනායක ද විමර්ශන සඳහා එක්විය.

ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division