චන්ද්‍රරත්න බණ්ඩාර සත්‍ය පුද්ගලයන් හා සිද්ධි ප්‍රබන්ධගත මායාව හා මුසු කරමින් අපූරු ආඛ්‍යාන රටාවක් ගොඩනඟන සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ හමුවෙන තීරණාත්මක නවකතාකරුවෙකි. මෙරු කෘතියෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය වනසපු මල, විමන් දොරකඩ, හැන්දෑදුරය, වළාකුළු බැම්ම, ප්‍රේමානිශංස ඇතුළු නිර්මාණාවලියකින් සමන්විතය. ඔහුගේ නවතම නිර්මාණ වෑයම පියාසර සමය නවකතාවයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ස්වර්ණ පුස්තක, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන රැසකින් හේ මේ වන විටත් සම්මානිත නිර්මාණකරුවෙකි.
පියාසර සමය ඔස්සේ ඔහු සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සන්දර්භීය කාරණා සඳහා මේ රටේ වන මැදිහත්වීමේ ඌනතාව ගැන නිර්මාණාත්මක ව සාකච්ඡා කරයි. කලාව, දේශපාලනය, දේශාටනය, ඉතිහාසය හා විප්‍රවාසී බවත්; ප්‍රේමයත් හරි හරියට කලවම් අපූර්ව නවකතාවක් වන පියාසර සමය පිළිබඳවත් ඒ ඔස්සේ ඔහුගේ දෘෂ්ටිවාදී මැදිහත්වීම පිළිබඳවත් හේ මේ සංලාපයෙන් අවධාරණය කරයි.
විප්‍රවාසී සමාජ කණ්ඩායම්, එහෙමත් නැත්නම් ඩයසපෝරාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔබ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික සන්දර්භය කියවා ගැනීමට මේ කෘතිය ඔස්සේ උත්සාහ කරනවාද?
උතුරු කොරියාව වැනි රටවල් අතළොස්සක හැර ලෝකයේ ජනවාර්ගික ප්‍රජාවන් 250ක් පමණ කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය වැනි රටවල ජීවත් වෙනවා. රටවල් වශයෙන් ගත්තොත් 153ක් පමණ. ලංකාවේ සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන වශයෙන් සැලකිය යුතු බලපෑමක් අවරදිග රටවල ජීවත් වෙන විශාල ඩයසපෝරාව විසින් සිදු කරනවා. විසිවන සියවසේ මහා දේශපාලන කැළඹිල්ල ලෙස සැලකිය හැකි උතුරු නැෙඟනහිර ජනවාර්ගික කැරැල්ල දීර්ඝ කාලයක් ඇඳුණේ මේ ශ්‍රී ලාංකික ඩයසපෝරාවේ උදව් උපකාර ද සහිතව. ලංකාව දූපතක්. එහෙත් දහනව වන ශතවර්ෂයේ සිටම මේ දූපත ලෝකයට යා වුණේ ස්ථිර හා තාවකාලික ඩයසපෝරාව නිසා. උදාහරණයක් වශයෙන් වාමාංශික ව්‍යාපාරය ලංකාවට ගෙන ආවේ පිටරට කලක් ජීවත් වූ එවැනි විප්‍රවාසී පිරිස්. මගේ පියාසර සමය නවකතාවේ කැපී පෙනෙන තේමාව වන 2022 අරගලය සඳහා ශ්‍රී ලාංකික ඩයසපෝරාව ආශීර්වාද කළා. එය ජාත්‍යන්තරකරණය කිරීමට සක්‍රිය මැදිහත් වීමක් ඔවුන්ගෙන් ඉටු වුණා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා තම නෑසියන් ලංකාවේ තනිකර දමා පැමිණි ඔවුනට ලංකාව ගැන ඇති හැඟීම සුළුපටු නැහැ. ඒක වෙනම ආකාරයක දේශප්‍රේමයක්. බටහිර ජීවත් වන විප්‍රවාසීන් සාපේක්ෂ සුරක්ෂිත ජීවිතයක් ගතකරන බව ඇත්ත. එහෙත් ඉන් බොහෝ දෙනා මම ද ඇතුළුව ලෝක දෙකක ජීවත් වෙන්නේ. මම පියාසර සමය නවකතාවට ඩයසපෝරාව යොදාගත්තේ ජීවිතය, නිදහස, දේශපාලනය, ප්‍රේමය ආදී කාරණා පිළිබඳ සංසන්දනාත්මක ප්‍රවේශයකින්.
අරගල ඉතිහාසය වගේම ඔබට, ඔබ ඇතුළේ තියෙන අරගලයත් පියාසර සමය නවකතාව නිර්මාණය කිරීමට නිර්මාණාවේෂය සපයා ඇතැයි මට හිතෙනවා.
මම විශ්වාස කරන්නේ විසිවෙනි සියවස පුරාත් අප ගෙවා දමන විසි එක්වන සියවසේ මුල් කාර්තුව තුළත් ඇති වූ ධනාත්මක දේශපාලන නැඟිටීම 2022 අරගලය කියලයි. එවැන්නක් මගේ ජීවිත කාලයේ දී දකින්නට ලැබීම මගේ භාග්‍යයක්. ඉනික්බිති එහි ප්‍රතිඵලයත් මා දශක හතරක් පමණ දේශපාලනිකව නිරතව සිටි ව්‍යාපෘතියේ මල්ඵල ගැන්වීමක් ලෙසයි මම දකින්නේ. මේ වෙනස දක්වා රට තල්ලු කරමින් ප්‍රපාතයට හෙළුෑ ප්‍රභූ, නිර්ප්‍රභූ ප්‍රමුඛ බලවේගයන්ගේ නියෝජනයක් පියාසර සමය නවකතාවේ තිබෙනවා. මේ පැරණි නියෝජනය මෙතෙක් රට පාලනය කළේ මහජනයාගේ හයියෙන්. ඒ ‘ජනතාව’ ඉලක්ක කරගෙන, අපේ බුද්ධිමය සමාජයෙන් බ්‍රෙෂ්ට්ගේ කියමනක් නිතර උච්චාරණය වුණා. ‘අපි පාලකයන් වෙනස් කරන්නට උත්සාහ නොකර අලුත් ජනතාවක් පත්කර ගනිමු කියලා.’ ඒත් ඒ සිද්ධාන්තයම අනාථ කරමින් ජනතාවම ඉස්සර වෙලා පැරණි පාලනය වෙනස් කරලා නව පාලකයන් පත් කළා.’ අන්න ඒ වෙනසේ තිබුණු රසායනය නවකතාවේ ගැබ්වී තියෙනවා කියලා මට හිතෙනවා.
ප්‍රධාන චරිත හතරක් තිබුණත් මූලික වශයෙන් මෙහි චරිත දෙකක් ඔබ කතාවේ ධාරණාව ගොඩනැංවීමට යොදා ගන්නවා කියලයි මට හිතෙන්නේ. චමත්ට අරගල ආභාසයක් තියෙනවා. මිලංකාගේ පරිසරය ඊට වෙනස්. එකිනෙකට වෙනස් තත්ත්ව තුලනය කර ප්‍රබන්ධගත කිරීම පහසු නොවන්නට ඇති?
මම චමත් අයත් පන්තියට අයත් කෙනෙක්. ඒ පන්තියේ හැසිරීම මට ආගන්තුක නැහැ. එහෙත් අහම්බ කාරකයක් ලෙස මිලංකා අයත් සමාජය සමීපව ඇසුරු කරන්නත් හදාරන්නත් මට පුළුවන් වුණා. ඒ සඳහා ප්‍රවේශ මාර්ග කිහිපයක් තිබුණා. මූලික පාර වැටෙන්නේ මම සම්බන්ධ පැරණි වාමාංශික ව්‍යාපාරය හරහා. මාර්ග ආයතනය වැනි ආයතනවල කළ රැකියා, මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු ලෙස කළ රජයේ රැකියා, සමීපව දේශපාලනයේ ඉහළ තන්ත්‍රය දැන හඳුනා ගැනීම මේ සඳහා උපයෝගී වෙන්න ඇති.
චමත් හා මිලංකාගේ ප්‍රේම සම්බන්ධය ලංකාවේ නම් මේ සම්මජ්ජාතියට සිදුවන එකක් නෙවේ. ඕනෑ නම් මිලංකාගේ ලිංගික වහලකුගේ භූමිකාවක් චමත්ට තියෙන්න ඉඩ තිබුණා. ඒවා ඕනෑ තරම් ලංකාවේ තියෙනවා. ඊට වඩා නින්නාද නඟන ප්‍රේමයකට ඉඩක් නැහැ. එවැනි පතිරූප දේශයක් නොවේ ලංකාව. මිලංකා සාම්ප්‍රදායික පවුල් ජීවිතයේ රීති දැනුවත්ව බිඳ දමනවා. එහෙත් එයට අදාළ තර්කය සකසා දෙන්නේ ඔහුගේ සැමියා විසින්මයි. මිලංකා තමා වෙනුවෙන් තමන්ගේම සදාචාරයක් නිර්මාණය කරගන්නවා. සියලු මානවීය සම්පත් අහිමි ගැහැනියක් වන්නට ඇය සූදානම් නෑ. ඒ සඳහා ඇය ශක්තිය ගන්නේ ඈ අයත් පන්තියේ ශක්තියෙන්. මම පන්ති සමාජයේ සීමා ඉක්මවා ගිය ප්‍රේමණීය ජීවිතයක් විශ්වාස කරන කෙනෙක්. මගේ ඒ ආධ්‍යාත්මය මේ ප්‍රබන්ධකරණයට පහසුකම් සැපයුවා.
මිලංකාගේ චරිතය ඔබ ගොඩනංවන්නේ ඉතා ප්‍රවේශමෙන්. ඒ ස්ත්‍රී පරමාදර්ශයේ බහුවිධ ස්වරූප ගැන අවධානයෙන් කියලා මම කිව්වොත්?
වෙන්න පුළුවන්. මගේ සමීප මිනිස් ඇසුරු හා ඇගයීම් ගොඩනැඟෙන්නේ කිසියම් හෘදයාංගම බවක් සමඟ. ඒ හෘදයාංගම බව ඇතිවීමට ඔහු හෝ ඇය කිසියම් හර පද්ධතියක් නඩත්තු කළ යුතුයි. මිලංකා විශාල ලැබීම් සම්භාරයක් සහ නොලැබීම් සම්භාරයක් සහිත ගැහැනියක්. වෙනත් බොහෝ ගැහැනුන්ට මෙන් නොව තමන්ගේ මව තමන්ට කළ අහිමි කිරීම් ගැන වෛර කරන්නත්, තමන්ට ලබා දුන් අසීමිත හිමිකම් ගැන පෙරළා සිය මවට ආදරය කරන්නත් එකවිට සිදුවන ගැහැනියක්. පසුගිය ආසන්න දශක කිහිපයේ ලංකාව බිඳවැටීමේ ප්‍රධාන කාර්යභාරයක් විශ්වවිද්‍යාල විසින් ඉටුකර ඇති බව මම විශ්වාස කරනවා. එම හරයාත්මකවත් සදාචාරාත්මකවත් බිඳවැටීම චෛත්‍යයක කොත බිඳවැටීමක් හා සමානයි. එහෙත් පියසීලී විජේගුණසිංහ, ආචාර්ය කුමාරි ජයවර්ධන වැනි කාන්තාවෝ මේ නරක තත්ත්ව යටතේ වුණත් ඒ ගුරු භූමිකාව මනාව ඉටු කළා. මට එවැනි කාන්තාවන් පමණක් නොව සමහර ගුරුවරුන් ද මිලංකා නම් පරමාදර්ශී කථිකාචාර්යවරිය නිර්මාණය කර ගැනීමට උපකාර වුණා. මිලංකා වැනි ජීවිතයේ සුසංවාදය වෙනුවෙන් මිහිරි උත්සාහයක යෙදෙන ගැහැනුන් මට අනන්තවත් මුණගැසී තිබෙනවා.
විජේවික්‍රම මහත්මිය සහ පුෂ්පේ යන චරිත ඔබ භාවිත කරන්නේ වෙනම ආධ්‍යාශයකින්?
විජේවික්‍රම මහත්මිය වගේ අය තමයි කිසියම් ආකාරයකට නිමා වූ යුගයේ ඇත්ත සම්පාදකයන්. ග්‍රීක යුගයේ හෙට්‍රාවක් වගේ. හෙට්‍රාවක් කියන්නේ පාලකයන්ට ආශ්වාදය සපයන කාන්තාවන්. පෙරික්ලීස්ගෙ පාලන කාලයේ ඇස්පේසියා කියන රූපිකාව බලයේ ඇත්ත හිමිකාරිය වුණා වගේ. මං හිතන්නෙ පසුගිය වසර හැත්තෑ හයක කාලයේ පාලකයන් අතළොස්සකට හැර හෙට්‍රාවන් හිටියා. සමහරු හෙට්‍රා පිරිමි. හැබැයි විජේවික්‍රම මහත්මිය දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ යහන සරසන්නියක් විතරක් නොවේ. ඇය සංස්කෘතික ගැහැනියක්. ඉහළ ධනේෂ්වරයට අද නැති, පෙර තිබුණු කිසියම් සාරධාර්මිකත්වයක් සහිත කෙනෙක්. පුෂ්පේ වරෙක අබිසරු පිරිමියකුත් පසුව පාලකයකුත් වෙන අධම තත්ත්වයක් නිරූපණය කරනවා. ඔහු තමයි කුණුවී ඕජස් ගලන සමාජය නිරූපණය කරන්නේ. මේ උදවිය විසින් කලක් තිස්සේ මේ සියල්ලගේ සහායෙන් ගෙන ගිය අගතිගාමී පාලනය තවදුරටත් දරන්නට බැරිව තමයි ලංකාවේ ජනතාවගේ නිලීනව තිබුණු පුරවැසි ශක්තිය අරගලය ලෙසින් මතුවෙන්නේ.
ඔබේ නවකතාකරණයේ මා දකින ප්‍රබල ලක්ෂණයක් වන්නේ සත්‍ය චරිත හා සිද්ධි ප්‍රබන්ධයට නොදැනෙන සේ ඊට එක්කිරීමයි. මෙය උපක්‍රමයක්ද?
මා කියන්නට හදන දේ තහවුරු කිරීමට ඒ යොදා ගැනීම උපයෝගී වෙනවා. බොහෝ විට මා උපයෝගී කරගන්නේ කළ කාර්යභාරයන් නිසා හොඳින් හෝ නරකින් සමාජයේ සංස්ථාපිත වූ උදවිය. චිත්‍රසේන හෝ ආනන්ද කුමාරස්වාමි ගන්න. ඔවුන්ට විකල්ප නෑනේ. ඒ අයගේ කාර්යභාරය හැඳින්වීමට වෙනත් නම් හෝ සංකේත නාම පාවිච්චි කිරීම ඒ අයට කරන අවමානයක් කියලා මට හිතෙන්නෙ.
ඔබට නවකතාව සජීවී අත්දැකීමක් කිරීමට අවශ්‍යද?
ඔව්. පළමුව මමත් යළි කෘතිය කියවන පාඨකයාටත් ඒ වින්දනය ලබාදීමට මම උත්සාහ කරනවා. මම සංචාරයට බොහෝ ප්‍රිය කරන කෙනෙක්. මම ස්මාරක හා ස්වභාව සෞන්දර්යය මෙන්ම ජනජීවිතය අත්විඳින්නත් කැමතියි. පොතක් කියැවීමෙනුත් මම මේ සංචාරය කරනවා. එය අපට ලෝකය ගැන ඥානනය කරගන්න තෙවෙනි ඇසක් ලබා දෙනවා. මම මගේ සාහිත්‍ය කෘතිවලින් උත්සාහ කරන බොහෝ දේ අතර එම සජීවී අත්දැකීමක් ලබාදීමත් එකක්.
මේ රටේ දේශපාලන සාක්ෂරතාව ගැන ඔබට ගැටලුවක් තිබෙන බව කෘතිය කියවද් දී ඇඟවෙනවා. ලංකාවෙ දේශපාලනය හා දේශපාලන සාක්ෂරතාව ගැන කලා කෘතියකින් හෙළිදරව් කිරීම පහසු කටයුත්තක් නොවන්නට ඇති.
‘මෙරු’ හා ‘හැන්දෑ දුරය’ හැරුණු විට අනෙකුත් නවකතා දේශපාලන විෂයය තේමා වූ කෘති. මට දේශපාලනය, කලාව තරම්ම සමීප හා මා නියැළෙන විෂයයක්. මගේ බොහෝ මිතුරන් ද එවැනි උදවිය. ලංකාවේ ජනයාගේ දේශපාලන සාක්ෂරතාව පිළිබඳ උභතෝකෝටිකය, අරගලය නිසා විසඳුණා. 1943 නිදහස් අධ්‍යාපන පනතේ මහිමාව දේශපාලන ආධානාග්‍රාහකත්වය විසින් යටපත්ව තිබූ නමුත් එහි සිල නිවා දමන්න කවර තරම් අධම පාලකයකුටවත් බැරිවූ බවයි මට හැඟෙන්නේ. මම වසර හතළිහක් පමණ වාමාංශික දේශපාලනයේ නිරත වීම ඔබ කියන කාරණය පහසු වුණා. වාමාංශික දේශපාලනයේ ක්‍රියාකාරීත්වය කියන්නෙ වැඩ කිරීමත් හැදෑරීමත් යන දෙකම.
මේ නවකතාව ඇතුළට ඔබ විවිධ කලා සංස්කෘතික ප්‍රවේශ ගෙන එනවා. මේ සියල්ල එක නවකතාවක් ඇතුළේ එක්තැන් කිරීම අසීරු වුණේ නැද්ද?
අසීරු වුණේ නැහැ. මිහිරක් දැනුණා. අනෙක මේ හැම දෙයක්ම මට ආගන්තුක නෑ. අප්‍රමාණ මිනිස් ඇසුරට පින්සිද්ධ වෙන්න මේ විවිධ කලා ශානර සම්මිශ්‍රණයක මම ජීවත් වුණා. අදටත් එහෙමයි. කවර කලාවක් වුණත් අනෙකුත් කලාවන්ගෙන් පෝෂණය විය යුතුයි. ඒ ඒ මාධ්‍යයට අනෙකුත් කලාවන් ගළපා ගන්නට හැකියාව ලැබිය යුතුයි කියලා මං විශ්වාස කරනවා.
ජීවිතය හමුවන්නේ දෘෂ්ටිවාදවලින් එළියට ඇවිල්ලා නිදහස් වුණු විට බව ඔබ නොකියා කියනවා. එහෙමත් නැත්නම් මේ නවකතාවේ ධාරණාව විදියට අපට එය දැනෙනවා?
දෘෂ්ටිවාද අවශ්‍යයි. මිනිසාගේ නිරි ගති දුරලා තමා අවට ලෝකය නිර්වචනය කරගත හැක්කේ එහෙම දෘෂ්ටිවාද තිබුණොත් පමණයි. මිලංකාටත් චමත්ටත් පරස්පර වුවත් දේශපාලන දෘෂ්ටිවාද තියෙනවා. ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය සකස් වී ඇත්තේ ඒ අනුසාරයෙන්. එහෙත් ඔවුන් සතු පොදු මානව ලාලසා තියෙනවා. ප්‍රේමය වැනි සංසිද්ධියක් මැඬගත හැකි තරමට ඔවුන්ගේ දෘෂ්ටිවාද දෘඬ නැහැ. අද ලෝකයේ වාමාංශයත් ලිබරල්වාදයත් එකිනෙක පෝෂණය වෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ සම්ප්‍රදාය ලංකාවේ වුණත් පැරණි වාමාංශය ඇතුළත තිබුණා. සෑම් ගිරිදර අරගන්න. ඔහුත් විජේවික්‍රම මහත්මියගේ ශෘංගාර ලෝකයේ දැවටෙන කෙනෙක්. ජීවිතය හමුවන්නේ දෘෂ්ටිවාදයන් තුළමත් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.
සුමුදු චතුරාණී ජයවර්ධන