Home » ආණ්ඩුව නිලධාරි හොරුන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි

ආණ්ඩුව නිලධාරි හොරුන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

ණ්ඩු මාරු වුණාට නිලධාරීන් මාරු වන්නේ නැත. නිලධාරි මාරු නොවුණාට ආණ්ඩු මාරු වන විට නිලධාරින්ගේ ටයි මාරු වෙනවා යයි කතාවක් තිබිණ. ඒ ඉස්සරය. දැන් නිලධාරින් ටයි මාරු කරන්නේත් නැත. ආණ්ඩු පෙරළෙන විට

නොපෙරළී සිටින්නට ඔවුහු දනිති. රටටත් ජනතාවටත් සතුරු වන දේශපාලකයන් කතිරයේ බලයෙන් පලවා හැරිය ද රජයේ ආයතනවලට අරක් ගත් දූෂිත නිලධාරීන් පලවා හරින්නට ජනතාව අසමත්ය. නිලධාරි මාෆියාව අණ පනත් චක්‍රලේඛ අස්සේ සැඟවී ආරක්ෂා වී සිත්සේ හරිහම්බ කරගෙන සුවසේ විශ්‍රාම යති.

ලංකාවේ රාජ්‍ය අංශයේ සිදුවන මහා පරිමාණ හොරකම්වල කෙළවරක් නැත.

රාජ්‍ය අංශයේ බොහෝ සොරකම් එසේ මෙසේ ඒවා නොව, මිලියන බිලියන ගණනින් සිදුවන සොරකම්ය. මේ හොරු හඳපානේ ගෙවල් බිඳින්නන් ද නොවේ. ආණ්ඩුවේ කෝටි හතර පහේ සුපිරි වාහනවල ගමන් කරන ආණ්ඩුවේ ඉහළම තැන් අරා වැජඹෙන වයිට් කොලර් සොරුන්ය. ඔවුන්ට කවදාවත් කම්බිකූරු ගනින්නට සිදු වන්නේ නැත.

ඔක්කොම කුණු බේරුවල බොක්කට එකතු වෙනවා සේ සියලු සොරකම් අවසානයේ එකතු වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව හෙවත් කෝප් කමිටුවටය. කෝප් කමිටුව වනාහි දත් නැති කොටියෙකි. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මහජන නියෝජිතයන් එක්ව දූෂිත නිලධාරීන් බිත්තියට හේත්තු කර ප්‍රශ්න කරන්නේ කෝප් කමිටුවේදීය. කෝප් කමිටු විමර්ශන රූපවාහිනියේ ද පෙන්වන නිසා දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාවට ද පොඩි ආතල් එකක් ගත හැකිය.

කෝප් කමිටුව හොරකම අල්ලා ගත්තා කියා නිලධාරීන්ට කිසිදු අකරතැබ්බයක් සිදු නොවේ. එය හුදු රංගනයක් පමණි. විජේදාස රාජපක්ෂ, විජිත හේරත්, ඩිව් ගුණසේකර, සුනිල් හඳුන්නෙත්ති ආදී කෝප් කමිටු සභාපතිවරු ස්වකීය ධුර කාලවලදී මහා පරිමාණ දූෂණ හෙළි කළ නමුත් සභා තොමෝ සතුටින් ගෙදර ගියෝය. ඇතැම් වර්ෂවල කෝප් කමිටුව හෙළි කළ මුල්‍ය වංචාවන්හි එකතුව බිලියන 1000 ඉක්මවීය. එවැනි රටක් බංකොලොත් නොවී තිබුණොත් එය ලෝක පුදුමයකි.

රාජ්‍ය සේවය මුළුමනින්ම ඩිජිටල් කිරීම පිණිස වර්තමාන ආණ්ඩුව මුළු බර යොදා ක්‍රියා කරමින් සිටී. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට රාජ්‍ය ආයතනවල පවත්වා ගෙන පැමිණි විශාල සී ආර් පොත් දැන් නඩත්තු කරන්නේ නැත. දැනටමත් බොහෝ ආයතන පරිගණකවල දත්ත ගබඩා කිරීම ආරම්භ කර ඇත. සියලු සත්වයෝ පවතින ස්වභාවයට අනුගත වන්නාහුය. රාජ්‍ය ආයතනවල මූල්‍ය වගකීම් දරන සොරුන් ද එසේය. දත්ත සියල්ල මකා දැමීමෙන් සොරකමේ අලගිය මුල ගිය තැන් එකවර නිශේධ කර දැමීම සාර්ථක උපක්‍රමයකි.

ඉන්ධන අර්බුදය පැවැති 2022 වකවානුවේ ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ ගබඩා කළ සහ නිකුත් කළ සියලු ඉන්ධන තොග පිළිබඳ වාර්තා මකා දමා ඇති බව වෝහාරික විගණන පරීක්ෂණයකින් හෙළි වූයේ යැයි එවකට ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර ප්‍රකාශ කළේය. මෙම කාලය අයත් වූයේ ශ්‍රී ලංකාව බරපතළම ඉන්ධන අර්බුදයට මුහුණ දුන් කාලසීමාවටය. 2010 සිට 2022 දක්වා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගබඩා පර්යන්තයන්හි ගබඩා කරන ලද සහ බෙදා හරින ලද ඉන්ධන තොග පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියේ ලක්‍ෂ 13 කට වැඩි දත්ත ප්‍රමාණයක් ප්‍රධාන යෙදුමෙන් මකා දමා ඇති බව හෙළි විය. එම වකවානුවේ තෙල් නැව් කොපමණ ලංකාවට ආනයනය කළා ද, එම ඉන්ධන බෙදා හැරියේ කාටද යන්න දන්නේ තිස්තුන් කෝටියක් දෙවිවරු පමණය.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධුරය දැරූ වකවානුවේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමක් පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. ඒ වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවූ මහා පරිමාණ ඖෂධ වංචාවන්ට පසුබිම සැකසුවේ දත්ත මකා දැමීමෙන් බව අධිකරණයේදී හෙළි වුවත් දත්ත මැකූ සොරු යහතින් වෙසෙති. මුළු රැයක් පුරා නිදි වර්ජිතව සිටිමින් දත්ත මැකූ නිලධාරියකු පිළිබඳව ද එකල මාධ්‍ය වාර්තා කළේය.

දත්ත මකා දැමූ විට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, අනතුරුව අධිකරණයත් අසරණ වේ. මැකූ දත්ත මතු කර ගැනීම සඳහා වැය වන මුදල ඇතැම් විට අපරාධයටත් වඩා ඉහළ යා හැකිය. දත්ත මකා දැමූ විට අධිකරණයට ගියත් නිදොස් කොට නිදහස් වන බව සොරු දනිති. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ යහපාලන ආණ්ඩු සමයේ දූෂිත නිලධාරීන්ට සහ දේශපාලකයන්ට විරුද්ධව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩු 40 කට වැඩි සංඛ්‍යාවක් යාන්ත්‍රික හේතු මත විභාග නොකොට ඉවත දැමූ බව ප්‍රකට කරුණකි.

එහිදී මතුවූ ප්‍රධාන ගැටලුව වූයේ නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කළ යුතු නමුත් එක් අයකුගේ අත්සනින් නඩුව ගොනුකර තිබීමය. එසේ කිරීම කොමිසම විසින්ම හොරාට කෙහෙල් කැනත් රැගෙන වැට පැනීම සඳහා කඩුල්ල සකස් කර දීමක් යැයි ජනතාව සැක කිරීම ගැන පුදුම විය යුතු නැත. තමන් නිදොස් කොට නිදහස් කළා යැයි අලුත් කඩේ සිටම වොයිස්කට් දුන් චුදිත දේශපාලකයන් ගෙදර ගිය නමුත් එම නඩු නැවත නිවැරදි ආකාරයට ගොනු කිරීමට අල්ලස් කොමිසම කටයුතු කළේ නැත.

දවල් මිගෙල් රෑ දනියෙල් පන්නයේ නිලධාරි හොරු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළ සිට පහළට අරක් ගෙන සිටිති. ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස අපි ආණ්ඩුවට අනතුරු අඟවමු. මූනිච්චාවට අති දක්ෂ මෙම පිරිස් රජයේ ඉහළම පුටුවල අරක් ගැනීමට ඇති සම්භාවිතාව අමතක කළ යුතු නැත. ආණ්ඩුව ප්‍රථමයෙන් කළ යුත්තේ රාජ්‍ය සේවය නිලධාරි සොරුන්ගෙන් මුදා ගැනීමය. රටට හෙන ගැහුවේ දේශපාලකයන් නිලධාරි හොරුන් සමඟ අත්වැල් බැඳගත් නිසා බව අමතක නොකළ යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division