Home » පිළිකාව ජයගත් රුසියාවේ රුසියෝ

පිළිකාව ජයගත් රුසියාවේ රුසියෝ

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

මෙම එන්නතට සියලුම ආකාරයේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමට උපරිම හැකියාවක් පවතින බව රුසියාව කියයි

වන සියවසේ වෛද්‍ය විද්‍යාවේ මහා හාස්කමක් පිළිබඳ නවතම පුවතක් වාර්තා වන්නේ, රුසියාවෙනි. රුසියානු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් (mRNA) නම් පිළිකා එන්නතක් නිපදවා ඇති අතර, මෙය සමස්ත ලෝකයම පිළිකාවෙන් බැටකන අවධියක සොයා ගනු ලැබූ ඉතාම වටිනා එන්නතක් ලෙස ඉතිහාස පොතට එක්වී හමාරය. රුසියානු රජය නිවේදනය කරන ආකාරයට 2025 වර්ෂයේ මුල් භාගය වන විට සමස්ත ලෝකයේම පිළිකා රෝගීන්ගේ වටිනා ජීවිත රැකගැනීම උදෙසා මේ එන්නත දියත් කිරීම අරඹන බවයි. රුසියාව පිළිකා රෝගීන් අරබයා නව පිළිකා එන්නතක් නොමිලේ ලබා දීමට ද සැලසුම් කර ඇති බව රුසියානු මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා (සාමාන්‍යාධිකාරි) වන අන්ද්‍රෙයි කප්රින් රේඩියෝ රොසියා හමුවේ මෙම පිළිකා එන්නත පිළිබඳ බොහෝ තොරතුරු ලබා දී ඇති බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය (TASS) Telegraph Agency of the VSSR වාර්තා කර ඇත. මෙම පිළිකා එන්නත වර්ධනය කිරීමේ ක්‍රියාවලියට රුසියාවේ පර්යේෂණ ආයතන කීපයකම දායකත්වය ලැබී ඇති අතර, ගමේලියා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය, හම්සෙන් මොස්කව් පිළිකා පර්යේෂණ ආයතනය හා බ්ලොක්හින් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය හැකිය.

පිළිකා එන්නත නිපදවීමේ අරමුණ

රුසියානු නවතම පිළිකා එන්නත නිපදවීමේ ප්‍රධානම අරමුණ ලෙස විස්තර වන්නේ මෙමඟින් පිළිකා රෝගය වැළැක්වීම නොව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි. මෙම එන්නත හරහා පිළිකා රෝගීන්ගේ ශරීරයට RNS (mRNA) නමින් පණිවිඩයක් ගමන් ගන්නා අතර, ඒ ඔස්සේ පිළිකා රෝගීන්ගේ ශරීරය තුළ විශේෂිත වූ ප්‍රෝටීන් සෛල නිපදවීමක් සිදු වේ. මෙම නව ප්‍රෝටීන සෛල පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් පිළිගෙන මාරාන්තික පිළිකා සෛල සමඟ සටන් කිරීමට හැකි antibodies ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමක් සිදු වේ. රුසියාවේ නිපදවූ මෙම ස්වකීය පිළිකා එන්නත, රුසියාවේ සිටින සියලුම පිළිකා රෝගීන්ට නොමිලේ ලබා දීමට කටයුතු සම්පාදනය කොට ඇති බව රුසියානු රජය වාර්තා කර ඇත.

රුසියා පිළිකා රෝගීන්ගේ වර්ධනය කොතරම් ප්‍රබල ද යත් 2022 වාර්තාවලට අනුව රෝගීන් 635,000කට වැඩි ප්‍රමාණයක් මෙම මාරාන්තික රෝගයෙන් පීඩා විඳී. පපුව, පෙණහලු හා මහා බඩවැල ආශ්‍රිතව පිළිකා පැතිරීමේ ඉතා දැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව රුසියාව වාර්තා කර ඇත. රුසියානු පිළිකා එන්නත නිපදවීමේ ක්‍රියාවලියේ දී පිළිකා රෝගීන්ගේ පිළිකා ගෙඩිවලින් ලබාගත් ජානමය කොටස්ම උපයෝගී කොට ගැනීම හේතුවෙන් පිළිකා සෛල මතුපිට නිපදවන antigen සමඟ එම රෝගීන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ඵලදායි ලෙස සටන් කිරීමට හැකියාව ලැබෙන ප්‍රතිදේහ නිපදවීම ඉතා සාර්ථකව සිදුවන බව මෙම රුසියානු එන්නත පිළිබඳ ලැබෙන නවතම තොරතුරු ඔස්සේ විග්‍රහ වේ. රුසියානු පිළිකා එන්නතේ එක් මාත්‍රාවක වටිනාකම රුසියන් රූබල් 300,000ක් පමණ වන බව රුසියානු විකිරණශීලි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානී වූ අන්ද්‍රෙයි කප්රීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත. එබැවින් මෙම පිළිකා එන්නත රෝගීන්ට නොමිලේ ලබාදීම ඉතා උතුම් පුණ්‍ය ක්‍රියාවකට සමාන බව කිවයුතු දෙයක් නොවේ. මෙම එන්නතේ පූර්ව සායනික තත්ත්ව විග්‍රහ කර ඇති පරිදි මෙතුලින් පිළිකා ගෙඩි වර්ධනයවීම යටපත් කරන අතරම ඒවා නිපදවීමේ හැකියාව ද අඩපණ කරන බවයි. ඇත්ත වශයෙන්ම ඉදිරියේ දී රුසියානු එන්නත සමස්ත ලෝකයේ ම පිළිකා රෝගීන්ගේ ජීවිත සුරැකීම උදෙසා භාවිත කළ හැකි නම් එය 21 වන සියවසේ අනර්ඝතම වෛද්‍ය හාස්කම වනු නොඅනුමානය.

2024 වර්ෂයේ මුල් භාගයේ දී රුසියානු ජනපති වැලැදිමීර් පුටින් මෙම නවතම පිළිකා එන්නත පිළිබඳ ඉගියක් ලබා දී ඇති බව දැන් ලැබෙන සුවිශේෂි පුවතකි. ජනපති පුටින් ප්‍රකාශ කර ඇති පරිදි “අප නව පරම්පරාවේ ප්‍රතිශක්තිකරණ ඖෂධ හා පිළිකා එන්නතක් නිපදවීමේ ඉතා ආසන්නතයට පැමිණ ඇති බවයි.” යන්න විදෙස් මාධ්‍ය නොබෝදා වාර්තා කරනු ලැබීය

පිළිකා එන්නත හා AI තාක්ෂණය

රුසියානු එන්නත් පිළිබඳ ප්‍රධානී පවසන අන්දමට ඔවුන් Ivannikov ආයතනය සමඟ සම්බන්ධ වී ඇති අතර ඒ ඔස්සේ AI මඟින් ස්නායුක පරිගණක ජාලය මින් පැය භාගයක් හා පැයක කාලපරාසය තුළ මෙම නව එන්නත නිපදීමේ හැකියාව ලැබී ඇති බවයි.

මෙම නව පිළිකා එන්නත, එන්නත් නිපදවීමේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වූ ක්‍රමවේදයක් අනුගමනය කර ඇත. පැරණි ක්‍රමවේදයට අනුව දුර්වල හෝ අක්‍රිය වයිරස් පුද්ගල ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමඟ සටහන් කිරීමට භාවිතවීමක් වූ නමුත් ඊට පරස්පර mRNA එන්නත හරහා පිළිකා රෝගීන්ගේ ජානමය කොටස් භාවිත කිරීම මෙහි ප්‍රබලත්වයට විශාල ඵලදායී බලපෑමක් එල්ල වනු ඇති බව ගෝලීය විචාරකයන්ගේ අදහස් වී ඇත.

එක් එක් පිළිකා රෝගියාට සුවිශේෂි වූ පිළිකා තත්ත්වයන් සමඟ ස්වකීය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රතිඵල ලැබෙන අන්දමට සටන් කිරීමට මෙම එන්නත හරහා අවකාශ ලැබෙන බව රුසියානු මාධ්‍ය වාර්තා කොට ඇත. ගෝලීය වශයෙන් සියවස් ගණනාවක පිළිකා රෝගයෙන් අප්‍රමාණ වද වේදනා විඳින්නා වූ රෝගීන් වෙනුවෙන් මේ රුසියානු පිළිකා එත්තන නිපදවීම ඉතා මහඟු කාර්යයක් ලෙස අභිමානයෙන් ප්‍රකාශ හැකිය.

ගෝලීය පිළිකා විශේෂඥයන් රුසියානු නවතම පිළිකා එන්නත කුමන ගණයේ පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම උදෙසා භාවිත කළ හැකි ද යන ප්‍රශ්නයට ලබා දී ඇති පිළිතුර ඔබ මවිත කරවනු ඇත. රුසියාව පවසන්නේ මෙම එන්නතට සියලුම ආකාරයේ පිළිකාවන්ට ප්‍රතිකාර කිරීමට උපරිම හැකියාවක් පවතින බවයි.

ඓතිහාසික වශයෙන් ද සෝවියට් දේශය 1956 – 1964 කාලවකවානුවේ දී ගෝලීය සෞඛ්‍ය හා පෝලියෝ රෝගය මර්දනය වෙනුවෙන් දායක වූ බව ඉතිහාසගත වූ පුවතකි. එම වෛද්‍ය ක්ෂේත්‍ර‍ෙය් හාස්කම 21 වන සියවසේ ද මල්පල ගැන් වූ අවස්ථාවක් ලෙස අපට පිළිකා එන්නත නිපදවීම ගොනු කළ හැකිය.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division