රටක පාලකයන් සහ පාලන ක්‍රමය යන දෙකම එකවර වෙනස් කිරීම විප්ලවයකින් සිදු වන්නකි.
රටක ජනතාව තත්කාලීන පාලක පැලැන්තියට එරෙහි වන්නේ බහුල ලෙසම ඔවුන්ගේ දූෂණය, වංචාව, ඥාති සංග්‍රහ, අනීතික කෙරුවාවල්, මර්දනය වැනි හේතු නිසා ය. එහෙත් පාලන ක්‍රමයට ඔවුන් සපුරා විරුද්ධ නැත. මන්ද ඒවා කාලාන්තරයත් තිස්සේ ඔවුන්ගේ ජානගතව පවතින හෙයිනි. ඒ නිසා විප්ලවයට පක්ෂපාත වුවත් විප්ලවයෙන් පසු එන පාලන ක්‍රමයට අනුගත වන්නට ජනතාවට අසීරු ය.
බර්ට්‍රන්ඩ් රසල් විසින් The Practice and Theory of Bolshevism “බෝල්ෂෙවික්වාදයේ න්‍යාය සහ භාවිතය” යනු 20 වැනි සියවසේ මුල් භාගයේදී ලියා පළ කරන ලද මේ කෘතියේ උකහාගත හැකි සාරය එයයි.
බර්ට්‍රන්ඩ් ආතර් විලියම් රසල්, ( 1872 – 1970) යනු බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙක්, තර්කඥයෙක්, ගණිතඥයෙක් සහ ප්‍රකට ශාස්ත්‍රඥයෙක් ද විය. ඔහු ගණිතය, තර්ක ශාස්ත්‍රය, කුලක න්‍යාය සහ විශ්ලේෂණාත්මක දර්ශනයේ විවිධ ක්ෂේත්‍ර කෙරෙහි බලපෑම් ඇති කළේය. රසල් විශ්ලේෂණාත්මක දර්ශනයේ පුරෝගාමියකු ලෙස ද පිළිගැනේ. සම්භාව්‍ය තර්කනයේ වර්ධනයේ සංදිස්ථානයක් වන අතර ම මුළු ගණිතයම තර්කනයට හසු කිරීමේ ප්‍රධාන උත්සාහයක් ලෙස සැලකෙන Principia Mathematica කෘතියේ සම කර්තෘ කෙනෙකි ඔහු.
රසල්, බ්‍රිතාන්‍යයේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ නමුත් දැඩි ලෙස අධිරාජ්‍යවාදය ප්‍රතික්ෂේප කළ විද්වතෙකි. ඔහු ඉන්දියා ලීගයේ සභාපතිත්වය දැරූ සාමවාදියකු වූ අතර යටත් විජිතවලට නිදහස ලබා දිය යුතුය යන ආස්ථානයේ පිහිටා කටයුතු කළ ප්‍රමුඛයෙකි. පළමුවන ලෝක සංග්‍රාම සමයේ යුද්ධයට එරෙහි වීම නිසා සිරගත කරන ලද ඔහු දෙවන ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසිවාදයට එරෙහි විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඔහු ඇමෙරිකානු ගෝලීය ආධිපත්‍යය පිළිගත් බව සඳහන් ය. ඒ කියන්නේ සමාජවාදී ආස්ථානය වෙනස් කළ බවයි. ඒ අනුව ඔහු ස්ටැලින්වාදී ඒකාධිපතිවාදය බැරෑරුම් ව විවේචනය කළේ ය. එහෙත් එක්සත් ජනපදයේ වියට්නාම් යුද්ධයට එරෙහි විය.
1932 දී ඔහුට මෝගන් (De Morgan Medal) පදක්කම, 1934 දී සිල්වෙස්ටර් පදක්කම සහ කාලිංග ත්‍යාගය (1957) පිරිනමන ලද අතර1950 දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානය කෙරිණි. මානුෂීය පරමාදර්ශ සහ චින්තන නිදහස උදෙසා ඔහු විසින් ලියන ලද කෘති නිසා ඔහු ඊට සුදුසු බව හේතු පාඨවල ඇතුළත් ය. 1963 දී ඔහුට ජෙරුසලම් ත්‍යාගය පිරිනැමිණි.
රුසියානු විප්ලවය කෙරේ තමා මහත්සේ බලාපොරොත්තු තබා සිටි බව ඔහු කිහිප වතාවක් ම පවසා තිබිණි. ලෝකය වඩ වඩා දුෂ්ටත්වය වෙත ගමන් ගන්නා බවත් ඒ ගණඳුරු තුළ දැකිය හැකි අරුණැල්ල ලෙනින් හා ට්‍රොට්ස්කි බවත් ඔහු වරෙක ලිවී ය.
1920 දී -ඒ කියන්නේ රුසියානු විප්ලවයෙන් වසර තුනකට පසු සහ ලෙනින්ගේ අභාවයට මාස කිහිපයකට පෙර – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නියෝජිත පිරිසක් සෝවියට් දේශයේ ආරාධනයෙන් එරට සංචාරයක නිරත වූහ. රසල්ගේ වාමවාදී නැඹුරුව නිසා ඔහු ද ඒ කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලදී. ඔහු මේ කුඩා පොත ලියන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. පොත කුඩා වුව ද මෙහි අන්තර්ගතය බරපතළ සේ ගැඹුරු ය.
මේ කෘතිය රුසියානු විප්ලවයෙන් පසු බොල්ෂෙවික්වාදයේ ඇඟවුම් සහ යථාර්ථ ඇගයීමට ලක් කරයි, සමාජයට සහ පාලනයට එහි අනාගත බලපෑම පරීක්ෂා කරයි. රසල්ගේ තීක්ෂණ බුද්ධිය බොල්ෂෙවික් තන්ත්‍රය තුළ දෘෂ්ටිවාදයේ සහ ප්‍රායෝගික භාවිතයේ අන්තර් ක්‍රියාකාරීත්වය ගවේෂණය කරයි, ඔවුන්ගේ ක්‍රමවල දිගුකාලීන ශක්‍යතාව පිළිබඳ ඔහුගේ සංශයවාදය අවධාරණය කරයි. පොත ආරම්භයේදී, සමාජ ව්‍යුහයන් සහ විශ්වාසයන් වෙනස් කිරීමේදී රුසියානු විප්ලවයේ ගැඹුරු වැදගත්කම ඉස්මතු කරන පෙරවදනක් ලියන බර්ට්‍රන්ඩ් රසල් ද්විත්ව ඉදිරි දර්ශනයක් ප්‍රකාශ කරයි: ඔහු කොමියුනිස්ට්වාදය සාක්ෂාත් කර ගැනීමට බොල්ෂෙවික්වාදයේ වීරෝදාර උත්සාහයන් අගය කරන අතරම, ඔහු එහි ක්‍රමවේදය විවේචනය කරමින් ස්ථාවර සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ඒවායින් ඇති කරන අන්තරායයන් සටහන් කරයි.
මෙහි ආරම්භක පරිච්ඡේදය ඔහුගේ සංචාරය අතරතුර රුසියාව පිළිබඳ ඔහුගේ හැඟීම් ගෙනහැර දක්වයි, බොල්ෂෙවික් මතවාදය විසින් ඇති කරන ලද බලාපොරොත්තු සහ එහි පුරවැසියන් මුහුණ දෙන කටුක යථාව අතර වෙනස ඔහු අනාවරණය කරයි. විප්ලවය පිටුපස ඇති මූලික අභිප්‍රේරණ අවබෝධ කැර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන රසල් විප්ලවවාදී ව්‍යාපාර සමඟ බොහෝ විට ඇති වන උමතුවාදයේ සහ ආකල්පමය විශ්වාසයේ අන්තරායන් සම්බන්ධයෙන් ඉගෙනගත හැකි පාඩම් ආමන්ත්‍රණය කරයි.
තමා රුසියාවට ගියේ සමාජවාදියකු ලෙස බවත් එහෙත් එහි නායක කාරකාදීන් හමුවීමෙන් පසුව තමාගේ සිත වෙනස් වූ බවත් මේ කෘතියේ ‘ලෙනින්, ට්‍රොට්ස්කි හා ගෝකි නම් වන තුන්වන පරිච්ඡේදයේ සඳහන් ය.
කෙසේවෙතත් 1920 දී එළි දක්වන ලද මේ කෘතියේ විසිවන සියවසේ ප්‍රමුඛතම දාර්ශනිකයා සහ චින්තකයා ලෙස ගැනෙන බර්ට්‍රන්ඩ් රසල්ගේ ඇතැම් පුරෝකථන සාර්ථක වූයේ නොවේ. ඉන් එකක් නම් එවක පැවැති ධනේශ්වර ක්‍රමය විනාශ වී යන්නට ඉරණම් දරා සිටිය යන්නයි. ‘අමෙරිකාවේ බලපෑම හරහා ධනේශ්වර ක්‍රමය තවත් වසර පනහකට පමණ පණ ගැට ගසා ගන්නට සමත් වනවා විය හැකි ය. එහෙත් එය නියත ලෙසම දිනෙන් දින දුර්වල ව යනු ඇති අතර, දහනවවන සියවසේදී එය ලොව තුළ දරා සිටි ආධිපතයය නම් කිසිදා අත්කර නොගනු ඇත.’
මේ පොතේ පස්වන පරිච්ඡෙදය ‘රුසියානු කර්මාන්තයේ අසාර්ථකභාවය’ නමි. එපමණක් කියැවීමෙන් ම එය අසාර්ථක පුරෝකථනයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනු නිසැක ය. එහෙත් බොහෝ කරුණු සාමාන්‍ය වශයෙන් සාර්ථකය. එසමයේ සිටි මුල් පෙළේ සෝවියට් නායකයන් වූ ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටැලින් යන තිදෙනා ගැන ඔහුගේ නිරීක්ෂණ නිවැරදි ය.
ළදරු සෝවියට රාජයයට මේ කෘතියෙන් ඇති වූ බලපෑම සුළු පටු නොවේ. පසුකාලීන මාක්ස් ලෙනින්වාදීන් විසින් මේ පොතේ ඇතුළත් කරුණු මාර්ගෝපදේශනයක් සේ ගෙන මහා සැලකිල්ලකින් අධ්‍යයනය කරන ලද බව පැවසේ.
‘බෝල්ෂෙවික්වාදයේ න්‍යාය සහ භාවිතය’ නිශාන්ත කුලරත්නගේ පරිවර්තනයකි.