වර්ෂ 1926 ජුනි මස 27 වැනිදා සියනෑ කෝරළයේ රදාවාන කන්නිමහර ග්‍රාමයේ දී මෙලොව පහස ලබන කළුඅච්චිගමගේ ජයතිලකයෝ අපට වඩාත් සමීප වන්නේ කේ . ජයතිලක කී විටය.
මූලික අධ්‍යාපනය රඳාවාන පිරිමි විද්‍යාලයෙන් (මහගම සේකර මහා විද්‍යාලයෙන්) ලබාගන්නා ඔහු පසුව කොළඹ ලෝරන්ස් විද්‍යාලයට ඇතුළත් වන්නේය. එහිදී ඉංග්‍රීසි අධ්‍යාපනය කෙරෙහි ද නැඹුරු වන ඔහු අනතුරුව ලන්ඩන් බී.ඒ උපාධිය ගෞරව සහිතව ලබා ගන්නේය.
කුඩා කාලයේ පටන්ම ලේඛනයට හා සාහිත්‍යයට මහඟු ඇල්මකින් පෙලෙනා ජයතිලකයන් මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර , කුමාරතුංග මුනිදාස වැනි වූ ප්‍රාඥයන්ගේ ඇසුර ලබා ගනිමින් තම සාහිත්‍ය දැනුම වැඩි දියුණු කරගත්තේය.
මෙරට සාහිත්‍ය නිර්මාණ හා විචාර ක්ෂේත්‍රයෙහි විශාල පුනරුදයක් ඇති කරමින් පත්‍රකලාවේදීන්, ලේඛකයන්, මාධ්‍යවේදීන්, විචාරකයන්,ඇතුළු බෝහෝ පිරිසකට ගුරුවරයෙකු වූ ඔහු මෙරට ඉදිරි සාහිත්‍ය ගමනාන්තය පෝෂණය සඳහා තම දායකත්වය ලබා දුන්නේ නොමසුරුවය.
නොනිමි සිත්තම ,වජිර පබ්බත, පුනරුත්පත්තිය, එකගෙයි අවුරුද්ද වැනි කෙටිකතා සංග්‍රහ වර්ණය ඡන්දය හා මනාපය, චරිත තුනක් වැනි නවකතා කේ ජයතිලකයන්ගේ ප්‍රකට වූ නිර්මාණයන්ය.
මහගම සේකරයන් සමඟ රචනා කළ ව්‍යංගා කවි සිත්තම ද, දින සටහන් මතක පොත ද, පුංචි පැළේ ගස වෙනා පොත ද ජන සිත් වැලඳගත් කෘති අතරට අයත්ය.
එතුමා සිංහල සංස්කෘතිය හා සාහිත්‍යය ඇසුරෙන් පොත් රාශියක් රචනා කළේය. ඒ අතර සීගිරි ගී නිර්මාණ, නූතන සිංහල නවකතාවට සංස්කෘතික පසුබිම, සිංහල කතා කලාවේ විකාශනය, සාහිත්‍ය විචාර සටහන් ඉතාමත් වටිනා කෘතීන් ලෙස හැඳින්විය හැකිය.
කේ. ජයතිලකයන්ගේ බිරිඳ වූයේ ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනියක වූ සුමනා ජයතිලකයි. ඇය කුඩා ළමුන් අතර ප්‍රකට වූයේ “හද නැන්දා “ලෙසිනි. ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් දරුවන් සඳහාම කළ ‘හඳ මාමා’ වැඩසටහන ඔස්සේය.
ජයතිලක යුවළට දරුවන් සිව් දෙනෙකු වූහ.
2011 වසරේ සැප්තැම්බර් 14 දින අප අතරින් සදහටම සමුගන්නා කේ. ජයතිලකයන් අප හඳවත් තුළ බොහෝ කාලයක් ජීවත් වන සොඳුරු නාමයක් ලෙසින් තම නම සනිටුහන් කොට නික්ම ගියේය.
දිල්නුක සිල්වා