නත්තල ගෙවී ගිය ද සීතල ඉතිරිවී තිබේ. තවත් දෙතුන් සතියක් පවතින මේ සීතල, ‘නත්තල් සීතල’ ලෙස හැඳින්වීම අපට හුරුය. වෘත්තීය ජීවිතයේ කොපමණ වෙනස්කම් සිදුවුවත් ‘නත්තල් සීතල’ මට තවමත් සිහිපත් කරන්නේ, නත්තලට රට වටා ඇවිද ගිය නිවේදක ජීවිතයයි.
සහෝදර සංස්කෘතියක උණුසුම් පහස ලැබෙන ‘රට වටා නත්තල්’ සජීවී වැඩසටහන මිහිරි මතක රැසක එකතුවකි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට මෙන්ම නත්තලටත් අපට රට පුරා කොහේ හෝ ස්ථානයක සිට සජීව විස්තර කියන්නට සිදු වේ. ඒ අනුව කල්තබා එම ප්‍රදේශයට ගමන් කළ යුතු විය.
අනූව දශකයේ මැද හරියේ එක් වසරක මට නියම වූයේ මට්ටක්කුලියට යාමටය. යනවා නම් ඇඟට දැනෙන දුරක් යා යුතුය. මට්ටක්කුලිය ගෙදර සිට පැය බාගයකටත් අඩු දුරකි. ඒ ගමනේ කිසි ‘ගතියක්’ නැතැයි මුලදීම හිතුණි.
මගේ නිෂ්පාදකවරයා ලෙස ලැබුණේ ගුවන් විදුලි මාධ්‍යයේ නම් දැරූ විශිෂ්ටයකු වූ මහින්ද අල්ගම මහතාය. මහින්ද අයියා එක අතකින් ගුරුවරයෙකි. ඔහු මට සලකන්නේ ද ගෝලයෙක් හැටියටය. මේ වගේ ගමනකට මේ ගුරු ගෝල සම්බන්ධය කොහෙත්ම ගැළපෙන්නේ නැතැයි මම කල්පනා කළෙමි. ඒ නිසා මේ වැඩේ සම්පූර්ණයෙන්ම නිල කටයුත්තක් පමණක් වූයේය. මම සංස්ථාවේ ප්‍රවාහන පහසුකම් ද ප්‍රතික්ෂේප කොට මගේ යතුරුපැදියෙන්ම එතැනට යෑමට තීරණය කළෙමි.
සජීවී වැඩසටහන සඳහා තෝරාගෙන තිබුණේ එක පෙළට තිබුණු නිවාස කිහිපයක එක් නිවෙසකි. ගෘහ මූලිකයාට වැඩසටහන තුළ වැදගත් තැනක් දිය යුතුය. මම ඔහු සමඟ කලින් කතාබස් කරගන්නට උත්සාහ කළෙමි. උත්තර දෙන්නේ කැත්තට පොල්ල වාගේය. පළාතේ ඉතිහාසය හෝ නත්තලේ අසිරිය ගැන කිසිවක් කියාගන්නට ඔහුට බැරිය. අනතුරුව මහින්ද අයියාගේ මැදිහත්වීමෙන් අසල්වැසි තවත් පුද්ගලයකු එකතු කරගන්නට වෑයම් කළෙමු. ඔහුට ද රසවත් ලෙස කතා කරන්නට බැරිය.
නත්තල සහ පළාත පිළිබඳව හොඳින් විස්තර ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් මට්ටක්කුලියේ සිට කළ දෙයක් නැතැයි කතන්දර අහගන්නටත් වෙනවාය.
මම මහින්ද අයියා ද කැටුව, නිවෙසෙන් පිටතට පැමිණ පාරේ එහා පැත්තේ වූ විශාල ගස යටට ගියෙමි.
“මාර වැඩේනේ මුන්ට කතා කරන්න බෑනේ. මොකද කරන්නෙ?”
ඔහු මගෙන් ඇසීය.
“මට ඉතින් කියන්න පුළුවන් සාන්ත මේරි පල්ලිය ගැනයි, කැලණි ගඟ මෙහෙන් මුහුදට වැටෙනව කියලයි.”
මම මුල සිටම වැඩසටහන කෙරෙහි මා තුළ වූ නොමනාපය පිට කළෙමි. මහින්ද අයියා වටපිට බැලුවේය. අසල සිටි කොලු ගැටයකුට කතා කළේය. වටපිට සිටි කිහිප දෙනෙක්ම එතැනට එක්වූහ.
” මෙහෙ නැද්ද.. නත්තල් කැරොල් ගීතයක් හරි මොනවා හරි ගීතිකා කියන්න පුළුවන් කෙනෙක්?”
එකිනෙකා මුහුණින් මුහුණ බලාගත්හ. ඒ අතරවාරයේ තරුණයෙක් කතා කළේය.
“එක්කෙනෙක් ඉන්නවා මේ ළඟ. ගෙදර ඉන්නව ද දන්නෑ. මං ටක්ගාලා බලලා එන්න ද?”
“අනේ පුතා ඉන්නවනං ඉක්මනට එක්කගෙන එන්න.” මහින්ද අයියා කීවේය. තරුණයා ගිය සැණින් ආපසු ආවේය.
“එයා නානවා ටක් ගාලා එන්නම් කිව්වා.”
මට මහත් අස්වැසිල්ලක් දැනිණි. වැඩසටහන ආරම්භ වීමට ඇත්තේ ඉතාමත්ම කෙටි කාලයකි. යටත් පිරිසෙන් ඒ එන පුද්ගලයා සමඟ කතා කර ගන්නටවත් ඉඩ ලැබෙන්නේ නම්…
ආරම්භයේදීම මෙහෙයුම් මැදිරියෙන් මයික්‍රෝෆෝනය යොමු කළේ අපටය. අමුත්තා පැමිණ නැත.
මම සමනල ගිරෙන් ඇරඹී ප්‍රදේශ රැසක් යාකරමින් මට්ටක්කුලියෙන් මුහුදට වැටෙන කැලණි ගං කොමළිය ගැන කීවෙමි. පළාතේ දේවස්ථානය ගැන කීවෙමි. ගෘහ මූලිකයා හිතුවාට වඩා හොඳින් කතා කළේය. කෙසේ වෙතත් විනාඩි පහක ආරම්භක කාලය ගෙවී යන්නටත් ප්‍රථම මයික්‍රෝෆෝනය ආපසු ලබා ගැණින.
මෝදර, මට්ටක්කුලිය පිළිබඳ සොයාගත් තොරතුරුවල මම යළිත් කිමිදෙමින් සිටියෙමි. මගේම අත් අකුරු කියවාගත නොහැකි වන තරමට මගේ හිත අවුල්ය.
“මහත්තයා මේ තමයි අර කවි කියන එක්කෙනා.”
ඒ දවස තුළ මට ඇසුණු වඩාත්ම සැනසිලිදායක වචන කිහිපය එයයි. මම වහා හැරී බැලුවෙමි. කුඩා දරුවකු ඉණේ හොවාගෙන තවත් කුඩා දරුවෙක් අතින් අල්ලා ගත් කඩවසම් තරුණයෙක් මා අසලය. මම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.
“ දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ මෙයා ද?”
“මෙයා අපේ ගමේ.. මහත්තයා මෙයාව අඳුරනවා ද?
ඔහු මා හඳුනන්නේ නැත. නමුත් මම ඔහු හොඳින් හඳුනමි. ඔහු මහින්ද අයියාව හඳුනා ගත්තේය.
“අපරාදේ මට කලින් කියන්න එපැයි; මං එනවනේ මහින්ද අයියා.”
ඒ පැමිණ සිටියේ වේදිකාවේ සහ සිනමාවේ කුසලතාපූර්ණ රංගන ශිල්පියකු ලෙස නමක් දිනා සිටි ග්‍රැන්විල් රොඩ්‍රිගෝය. මම ඔහුට අපේ අරමුණ පැහැදිලි කර දුන්නෙමි..
“ඕනෑ එකක් අහන්න”
ඔහු දරුවා ද ඔඩොක්කුවේ තබාගෙන අසල පුටුවක වාඩිවුණේය. අනෙක් දරුවා ඔහුගේ සිරුරේ දැවටෙමින් ඒ අසලමය.
මම අපට ලැබුණු ඊළඟ වාරයේදී ජුසේ වාස් සහ ජාකෝබේ ගොන්සාල්වේස් පියතුමන්ලා 16 වැනි ශතවර්ෂයේ සිට ලංකාව තුළ පෝෂණය කළ කිතුනු සාහිත්‍යය ගැන ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.
දකුණු ඉන්දීය නාඩගම් සින්දු, තාල සමඟ මද්දලය ප්‍රධාන කොට තැනුණු තනු මඟින් උන්වහන්සේලා ඇති කළ විප්ලවය ඔහු පැහැදිලි කළේ නිදර්ශන ගායනා සහිතවය.
ඇතැම් නිදර්ශන ගායනාවල රිද්මය අපට බෙහෙවින් හුරු මනමේ සහ සිංහබාහු නාට්‍යවල ගීත සිහිපත් කළේය. මම දෙවනුව ඒ ගැන ප්‍රශ්න කළෙමි.
“සරච්චන්ද්‍ර සර්, චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සෙත් එක්ක හැදුවේ, ඔක්කොම නාඩගම් සහ ගැමි නාටකවල තියෙන තනු. හුඟක් ඒවට පාවිච්චි කළා කතෝලික කැරොල් සහ පසම් ගීතවලට යොදා ගත්ත තනු. ඒවායේ අපිට ඇහෙන රිද්මය තමයි; දෙමළ බෙරේට කිට්ටුවෙන් යන මද්දලේ.”
අනතුරුව ඔහු මනමේ සහ සිංහබාහු නාට්‍යවල ගීත කොටස් සහ ඊට සමරූපී කිතුනු ගීත වෙන වෙනම ගායනා කර පෙන්වීය.
“මහාචාර්ය සරච්චන්ද්‍ර අපූරු වැඩක් කළේ. පන්සිය පනස් ජාතක පොතෙන් ගත්ත චුල්ල ධනුද්ධර ජාතකය, අපේ ගැමි නාටකවලින් ගැමි ගායනා රිද්මය ගත්තා. කතෝලික, කැරොල් පසම් ගායනාවල තනු ගත්තා, දකුණු ඉන්දියානු තනු ගත්තා. ඔක්කොම අරගෙන මනමේ හැදුවා. කලාව කියන එක ඇතුළෙ ආගම් භේද, ජාති භේද නැත්තේ ඒකයි.”
ඔහු වැඩසටහනට අපූරු අවසානයක් රැගෙන දුන්නේය. මහින්ද අයියාගේ මුහුණ සතුටින් පිරිලාය.
“අපේ තමයි නියමෙටම ගියේ. දන්නව ද මුළු වැඩසටහනෙන් විනාඩි 44 ක් දුන්නා අපිට.”
මහින්ද අයියා කීවේ අසල සිටි සියල්ලන්ටම ඇසෙන පරිදිය. නිවැසියන්ට ද එය මහත් සතුටකි.
අප එදා ගිවිස ගත්තේ මේ අපේ හදිසි මාතෘකාව පිළිබඳ සම්පූර්ණ වැඩසටහනක් ගුවන් විදුලියේ පටිගත කළ යුතුය කියාය. ඒ වැඩේ කරන්නට බැරි විය. ඊට වසර තුනකට පමණ පසු ග්‍රැන්විල් රොඩ්‍රිගෝ කලාකරුවා හදිසියේ මියගියේය. අද මහින්ද අයියා ද නැත.
පසු කලෙක මා සේවය කළ ගුවන් විදුලි නාළිකා දෙකකදීම අප මිත්‍ර රොඩ්නි වර්ණකුල සමඟ මම මේ මාතෘකාවට පිවිසුණෙමි. ගායනා ද සමඟින් ඔහු එය අපූරුවට කළේය.
එහෙත් කිසිදු සූදානමක් නැතිව එදා ග්‍රැන්විල් රොඩ්‍ර්ගෝ සමඟ කළ වැඩසටහන තරමට ඒවායින් මට තෘප්තියක් ලැබුණේ නැත.