සුළඟක් සමඟ මුසු වී එන බෙහෙත් සුවඳ නාසය පසාරු කරගෙන යන්නා සේ ජගත්ට දැනුණේ ය. බොහෝ රෝගීන් සිටින ඇඳන් අසල සේලයින් බෝතල් දැකිය හැකිය. හෙද හෙදියෝ ඖෂධ රැගෙන රෝගීන් අසලට ආවෝ ය. තවත් සමහර හෙදියෝ මේසය මත ඇති ලිපිගොනු අතර සිර වී ඇත. රෝගින් අසලට යන වෛද්‍යවරයා ඔවුන්ගෙන් කරුණු විමසමින් හෙදියන්ට උපදෙස් ලබා දුන්නේ ය.
වාට්ටුවේ තැනින් තැන නැඟෙන කෙඳිරිලි හඬ වසාගෙන විටෙක කාගේදෝ විලාප හඬක් මතුවේ ගෙන එයි. කොරිඩෝව දිගේ පැමිණි සුනඛයෙක් වාට්ටුවේ දොරටුව අසල සිටගෙන වටපිට බැලුවේ ය.
ජගත් දිග සුසුමක් හෙළමින් සුනඛයා දෙස බැලුවේ ය. යන එන මඟක් නොමැතිව ඌ අසරණ වී ඇත. උගේ මුහුණේ ඇත්තේ විඩාබර පෙනුමකි. ඌට දින ගණනකින් කුස පිරෙන්න ට ආහාර නොලැබී ඇති ලෙසකි. සුනඛයා සමඟ උගේ සමූහයා කිසිවෙක් පෙනෙන්නට නොමැත. සුනඛයාට ද කාත් කවුරුවත් නොමැති යැයි ජගත් ට සිතුණි.
“වරුවක් නිවාඩු ගත්තෙත් හරිම අමාරුවෙන්, ලොකු අයියේ…. බත් දෙකක් ඇති උදේටයි දවල්ටයි. පුළුවන් වුණොත් හෙට උදේ ඇවිත් යන්න එන්නම්.”
උදෑසනම ජගත් බැලීමට පැමිණි පොඩි මල්ලි ජීවන්ත එසේ පවසා, එසැනින්ම ආපසු හැරී ගියේ ය.
ජගත් රෝහලේ මේ ගත කරන්නේ දෙවැනි මාසය ය. තවත් කොතෙක් කාලයක් මෙලෙස රැඳී සිටින්නට සිදුවේ දැ’යි ඔහු නොදනියි.
දහවල් ආහාර රෝගීන් සඳහා බෙදා දීමට පැමිණි සේවකයා,
“තම තමන්ගේ පිඟන් අරගෙන එන්න…. ” යැයි අණ කිරීමක ස්වරූපයෙන් කෑ ගසන හඬ ජගත්ට ඇසුණි. තම සොහොයුරා ගෙනැවිත් දුන් දහවල කෑම පාර්සලය තිබෙන බැවින්, රෝහලින් ආහාර ගැනීමට ඔහුට අද සිදු නොවන්නේ ය. ආහාර බෙදා අවසන් කළ සේවකයා කොරිඩෝව දිගේ ඉදිරියට ගමන් කළේ ය. සුනඛයා තම නගුට වනමින් සේවකයා දෙස බලා සිටියේ ය. ජගත් මේ සියලු ක්‍රියාදාම දෙස බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරව ය.
ජගත්ගේ පියා ද ජීවිතයට සමු දුන්නේ මෙලෙසම එක දිගට මාස තුනක් පමණ රෝහල් ගත වී සිටින අතරතුරදී ය. ඉන්පසුව මව සමඟ පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් උර දුන්නේ ජගත් ය. පියා මිය යන විට ජගත් උසස් අධ්‍යාපනය හදාරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරියන් තිදෙනා ද අධ්‍යාපනය හදාරමින් සිටිය හ. එබැවින් ජගත් ඉතාම අසීරුවෙන් රජයේ කාර්යාලයක රැකියාවක් සොයා ගත්තේ ය. එතැන් පටන් සොහොයුරු සොහොයුරියන්ගේ අනාගතය වෙනුවෙන් කැපවුණ ජගත්ට සොහොයුරන් දෙදෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමට හැකි විය. සොයුරන් දෙදෙනා අද රජයේ ආයතනවල ඉහළ තනතුරු දරමින් සිටිති. නංගිලා තිදෙනා ද උසස් අධ්‍යාපනය ලබා ඉහළ රැකියාවන් කරන සහකරුවන් සමඟ විවාහ වූහ. මේ සියල්ලම වෙනුවෙන් ජීවිතය කැප කරන විට තම ජීවිතය සහ අනාගතය ජගත්ට අමතක වුවේ ය.
“ගෙදර හැමෝට ම කරල අන්තිමට උඹට අනාගතයක් නැතිවේවි. දැන්වත් සුලෝචනා ව බැඳපන්.. ”
මිතුරෝ නිතර ම පැවසූහ. සුලෝචනා ද ජගත් වෙනුවෙන් වසර ගණනාවක් බලා සිටියා ය. එහෙත් ජගත් තම පවුලට ප්‍රමුඛතාව දෙමින් සුලෝචනා සමඟ අනාගතයට මුහුණ දීම ප්‍රතික්ෂේප කළේ ය. අවසානයේ සුලෝචනා ඇගේ මවුපියන් ගෙන ආ යෝජිත විවාහයක ට කැමැත්ත පළ කළා ය. ජගත් තනි වූවේ ය.
කාලය ගෙවී ගියේ ය. රැකියාවෙන් විශ්‍රාම ලැබු ජගත් තම මව ආදරයෙන් රැක බලා ගත්තේ ය. එබැවින් ඔහුගේ සොයුරු සොයුරියන් මව පිළිබඳ වගකීම්වලින් ද නිදහස් වූහ.
“අයියේ අපට හැමදාමත් අයියගේ දුක සැප බලන්න එන්න බෑ. අයියා ඇවිත් අපේ ගෙදර නවතින්න”
ලොකු මල්ලි සුනිමල් එසේ කිව්වේ ය. ඒ මවගේ හත් දවසේ බණ සහ දානය අවසන් වූ දිනට පසු දිනයේදී ය. ජගත් නිවෙසේ තනිව සිටීම පිළබඳව සොයෙුරු සොයුරියන් කැමැත්තක් දැක්වූයේ නැත.
“මිනිස්සු අපට මොනවා නොකියාවි ද…. අයියා ඔහොම තනියම ඉන්නකොට, ”
පසුව ඔවුහු නිතර නිතර එලෙස පැවසූහ. ඔවුනට අවශ්‍ය වී තිබුණේ සමාජයෙන් ලැබෙන අවමානයෙන් ගැලවීමට ය. එසේම ඔවුනගේ එම යෝජනාවට තවත් එක් හේතුවක් වුයේ ඔහු ජීවත් වෙමින් සිටි නිවෙස විකුණා ලැබෙන මුදල සම සේ ඔවුනට බෙදා ගැනීමේ අවශ්‍යතාවයි. ඔව්හු ඒ බව ජගත්ට දැනවීම සඳහා බොහෝ දේ කීහ. ඒ නිසාම ජගත් තම එකම නිවෙස විකුණා ඔවුන්ට අවශ්‍ය පරිදි එම දේපළවලින් ලැබූ මුදල් සම සේ බෙදා දුන්නේ ය. ජගත් ඔහු සතුව තබා ගත්තේ සුළු මුදල් ප්‍රමාණයකි. අවසානයේ දී ජගත් තම සහෝදර සහෝදරියන්ගේ නිවෙස්වල වරින්වර ගත කිරීමට පුරුදු විය. එසේ වුවත් නිවෙස්වල එක දිගට ම ජගත් රැඳී සිටිනවාට ද ඔවුන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.
“කකුල් දෙකත් පුටුව උඩ තියාගෙන ඔහොම දොරකඩට වෙලා ඉන්න එපා අයියේ…. අපේ දරුවන්ගේ යාළුවොත් එනවනේ…. . ඊටත් මේනකා කැමති නෑ ඕවට… ඒකයි මං මේ කියන්නේ ”
ජගත් වරෙක එකදිගටම ජීවන්තගේ නිවසේ රැඳී සිටියේ ය. සති කිහිපයක් එසේ ගත කරන අතර ජීවන්ත නිතරම එවැනි දේ කියන්නට පටන් ගත්තේ ය.
“ඔය පප්පා බැනියම ඇඳගෙන ඉන්න එපා අයියේ… අපටත් එක්ක හරි නෑ. ෂර්ට් එකක් ඇඳගන්න. ”
බාලම සොහොයුරියගේ නිවෙසේ රැඳී සිටින එක වතාවක ඇය පැවසුවා ය. ජීවිතය අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කැප කළ ජගත්ට ඔවුන්ගේ රැකවරණය හමුවේ සිදුවු අකටයුතු රැසකි. තම සොහොයුරු සොහොයුරියන් අතර ඔහු තනි වූ මිනිසකු වී ඇති බව ජගත් ට දැනෙන්නට විය.
එවන් සමයක ඔහුට හදිස්සියේම නැවත සුලෝචනා හමුවූයේ යම් කාර්යයක් සඳහා නගරයට ගිය අවස්ථාවක ය. එදින ඔවුන් දෙදෙනා මුණ ගැසුණේ වසර තිස් පහකට පමණ පසුව ය. සුලෝචනා විවාහ වුව ද, ඇය ද ඒ වන විට සැමියාගේ අභාවයෙන් පසු තනි වී සිටින බව ජගත් දැනගත්තේ ය. ඇයගේ එකම පුතු ද ඈත ප්‍රදේශයක රැකියාවක් කරමින් විවාහ වී සිටින බව ඔි පැවසුවා ය.
“මට නම් දැන් මේ පාළුව විඳ දරාගන්න බෑ….. සුලෝචනා ”
දිනක් ජගත් එක දිගට ම කියාගෙන ගිය කතාව අවසන් කළේ එලෙසිනි. ජගත්ගේ සෑම වචනයක් ම සුලෝචනා අසාගෙන සිටියේ නිසොල්මන් වූ වතකිනි. ඒ නිශ්ශබ්දතාවය මතින් ජගත් දුටුවේ ඇගේ දෑසින් මතු වී එන තමා කෙරෙහි වූ අනුකම්පාවකි. ඒ අනුකම්පාව තුළ තමා කෙරෙහි ලෙන්ගතුකමක් ද ගැබ් වී ඇති බව ජගත් ට දැනුණි.
“මං මගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මගේ අනාගතය කැප කළා. සුලෝචනා….. ඒත් දැන්…. මං ගැන අහන්න බලන්න වෙලාවක් ඒ අයට නෑ. එක අතකට ඒ අයට එයාලගේ පවුල්වල වැඩ නැතිවෙයි….. නංගිලා මල්ලිලාට දොස් කියලා වැඩක් නෑ.”
දිනක් ජගත් එසේ පැවසුවේ ය.
“ඔය දේවල් කතා කළා ම සිද්ධ වෙන්නේ තවත් වේදනා වැඩි වෙන එකයි මහත්තයා….ඒ නිසා ඕනවට වඩා මොනවත් හිතන්න එපා දැන්. මහත්තයා මහත්තයාගේ යුතුකම් ඒ අය වෙනුවෙන් කළා කියල සතුටු වෙන්න”.
ඇගේ ඒ වචන තමාගේ හිත සුවපත් කරන ලෙසක් ජගත් ට දැනුණි. පෙර මෙන් අදටත් වැඩිපුර කතාබහ නොකරන සුලෝචනා කෙරෙහි කුමක් දෝ ළබැඳියාවක් තම සිත තුළ ඇති වෙනවා සේ ජගත් ට දැනුණි. ඉන්පසුව සුලෝචනා හා ජගත් බොහෝ දිනවල වෙරළ තීරයේ දී හමුවීමට පෙලඹුණේ ඉබේටම මෙන් ය. සුලෝචනාගේ ඇසුර ආශීර්වාදයක් සේ ජගත්ට දැනුණි. එහෙත් ඔහුට එසේ සුවදායි සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට සිදුවූයේ ඉතා කෙටි කාලයකි.
“අයියට ලැජ්ජ නැද්ද…. ආයෙමත් සුලෝචනා එක්ක එහෙ මෙහෙ යන්න…. අපට ගමේ විසුමක් වෙන් නෑ. ”
ඔහු ඉතා දැඩි ලෙස ආදරය කළ බාලම නැගණිය එක් දිනක් ජගත් ට පැවසුවේ කෝපයෙනි.
“හොඳ නරක අපි කියලා දෙන්න ඕනේ ද අයියට….? ”
ලොකු මල්ලී එලෙස පැවසුවේ ය. ඔවුහු සියලු දෙනා ම කෝපය පිරි වචන රැසක් ජගත්ගේ මුහුණට දමා ගැසූ හ.
“අනේ මන්ද….. මෙහෙම දෙයක්….. අපි අහලවත් නෑ ජීවිතේට, අපේ දරුවන්ට අපි මොනවා කියන්න ද? ”
ලොකු මල්ලිගේ බිරිඳ ජගත් ට ඇනුම් පදයක් එල්ල කළේ ය.
“අපිට පුළුවන් විදියට අපි අයියා ගැන හොයලා බලනව නේද…..? ඉතින් ඇයි අයියට හිතන්න බැරි අපි ගැනත්, අයියා ඔය විදියට හැසිරෙන එක විහිලුවක්….. අපට ඒක ලැජ්ජාවක්….. ”
සැවොම එකු වී එසේ පවසන විට ඒ වචන හැම එකක් ම සාධාරණ නොවේදැයි ජගත් ට සිතුණේ ය.
“අයිය ට ඇති බූදලය උදුරා ගන්න ඒ ගෑනි දැන් මාන බලනවා ඇති…. ”
ලොකු නංගි එසේ පැවසුවා ය. ජගත් සතුව විශාල දේපලක් හෝ වස්තුවක් නොමැති බව ඔවුන්ට අමතකය. ඔහු ඒ සියල්ලම තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැප කර අවසාන බව ඔවුනට අමතක ය.
ඒ අතරතුර දී ගමේ බොහෝ දෙනෙක් තමා දෙස උපහාසයෙන් බලා කතා කරන බව ජගත්ට වැටහුණි.
“අවුරුදු හැටක් පැනලා, ඒ උනාට ආයෙමත් පරණ පටලැවිල්ල පටන් අරගෙන…. ”
තමා නිවෙස අසල සිල්ලර කඩයට ගිය අවස්ථාවක කාන්තාවන් දෙදෙනෙකු එසේ කතා කළ බව ජගත් ට මතකය.
“අයියා අපේ ගෙවල්වල ඕන තරම් කාලයක් ඉන්න…. අපි පුළුවන් විදියට අයියා ගැන බලන්නම්….. ”
අවසානයේ නංගිලා සහ මල්ලිලා දෙදෙනා ආයාචනාත්මක ස්වරූපයෙන් පැවසෙහ.
“මං තනිවෙච්ච මිනිහෙක්….. අඩුම තරමේ අන්තිම කාලයේදිවත්…. මගේ දුක සැප බලන්න සුලෝචනා ළං වුණ එක ගැන වැරදි වෙන්නේ කොහොම ද? ”
ජගත් ට එසේ සිතුණත්, ඔවුන් පවසන පරිදි සමාජයේ සාරධර්මයන්ට එරෙහි වන්නට ශක්තියක් ඔහුට නොමැති සේ විය. එම නිසා අවසානයේ දී සුලෝචනා සමඟ තිබූ ඇසුරට නැවතීමේ තිත තබන්නට ජගත් තීරණය කළේ ය.
නැවතත් සුපුරුදු විලස ජගත් තම නංගිලා සහ මල්ලිලාගේ නිවෙස් වල කාලය ගත කළේ ය. තමා සිටින නිවෙසින් බැහැරව යාම ජගත් සීමා කළේ ය. මෙලෙස කාලය ගත කරමින් සිටින අතර, දැනට මාස කිහිපයකට පෙර ජගත් රෝගාතුර වූයේ ය.
“ඉක්මනට යමු….. ඉස්පිරිතාලයට….. බල බලා ඉන්න හොඳ නෑ. ”
අසනීපය පිළිබඳව දැනගත් විගස පොඩි නංගිගේ නිවෙසට පැමිණි ලොකු මල්ලී කීවේ ය.
මුලින්ම ඔවුන්ගේ අදහස පිළිබඳව කිසිවක් නොකියූ ඔහු නිශ්ශබ්දව සිටියේ ය. එහෙත් අවසානයේ ජගත් රෝහලේ නතර වීමට කැමති වූයේ ය. පසුගිය මාස දෙක තුළ ජගත්ගේ පවුලේ අය විවේක ඇති විටෙක ඇවිත් ජගත්ගේ සුව දුක් විමසා ගියේ ය. බොහෝ විට ඔහු බැලීමට පැමිණ අවශ්‍ය දේ මේසය මත තබන ඔවුහු, වචනයක් දෙකක් කතා කර ආපසු හැරී යන්නෝ ය. ඔවුන් ඈතට නොපෙනී යන සෑම දිනක ම ඔහුගේ සිත තුළ තිබූ තනිකම මකා දැම්මේ දෑස් අග ඉතිරි වූ කඳුළු බිඳු දෙක තුනක් පමණි. ජීවිතයේ තනිකම මකාලන්නට නැවතත් සමීප වූ සුලෝචනා ඔහුගෙන් ඈත් කරන්නට පවුලේ සැම වෙර දැරූ හ. ජගත් ඒ හැම දෙයක් ම දෙස දැන් බලා සිටින්නේ උපේක්ෂා සහගත ලෙස ය.
“ජගත් මහත්තයෝ….. හිතේ අද මොකක් හරි කරදරයක් තියෙනව ද?…. මං අහන්න හිටිය කවුද අර අද උදේ ආව නෝන මහත්තයා…… ”
රෝහලට පැමිණි පසු තම සමීප මිතුරා බවට පත් වූ නාමල්ගේ හඬින් ජගත් තිගැස්සුණි.
ළා දුඹුරු පැහැ ගත් හැට්ටයකින් හා තද දුඹුරු පැහැගත් සාරියක් හැඳ ගත් සුලෝචනා අද දවල් ඔහු බැලීමට ඇවිත් තිබුණි. වෙනදාට වඩා දැන් ඇය වැහැරී ගිය ලෙසක් ජගත්ට පෙනුණි.
“මහත්තයා අසනීපෙන් කියලා මම ඊයේ දැනගත්තේ”.
ඇගේ කරුණාබර හඬ ජගත්ගේ දෙසවන ළඟ රැඳුණේ ය. ඇගේ හඬෙහි තිබුණේ වෙව්ලන ස්වරූපයකි. ඔහු මෙන් ම ඇය ද අද තවත් අසරණ වී ඇති සේ ජගත්ට දැනුණි.
“මහත්තයට අඩුපාඩු මොනවත් ඇත්නම් කියන්න…… හැමදාම ඇවිත් උනත් මට ඒවා ගෙනත් දෙන්න පුළුවන්. ”
එසේ කියූ සුලෝචනා ජගත් දෙස බලා සිටියේ අනුකම්පා සහගත ලෙස ය. එහෙත් නැවතත් ජීවිතයේ හැළහැප්පීම්වලට ගොදුරුවීමට තරම් ශක්තියක් දැන් තමාට නැති ලෙසක් ජගත්ට දැනුණි.
“කරදර වෙන්න ඕනෙ නෑ…… සුලෝචනා…”
චාන්දනී දේවිකා පුංවිහේවා