Home » සන්නිවේදන යතුරෙන් සහකම්පනය විවර කිරීම

සන්නිවේදන යතුරෙන් සහකම්පනය විවර කිරීම

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

මේ මිනිස් ජීවිතය කාලය හා අවකාශය හෙවත් ඉඩහසර තුළ රැඳී පවතින්නකි. ජීවිතය යනු තණ අග පිනි බිඳක් වැනි යැයි දැක්වූ අර්ථකථන දැක ඇත. කෙසේ වෙතත්, මනුස්ස ජීවිතය යනු අහම්බයකින් ලැබුණු අවස්ථාවකි.

මීට දශකයට පෙරාතුව, වඩාත් සුන්දර දියුණු හෝමෝ සේපියන්ස් ජන සමාජයක් බලා දරුමල්ලන් ද කැටුව පියාසර කළා මතකය. අපගේ අවසාන නවාතැන්පොළ වූයේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ය. කල්තියාම ළඟ ඥාතියකු විසූ නිසාම තරමක් පහසුවෙන් පදිංචි වීමේ කටයුතු සිදු කරගන්නට හැකියාව ලැබිණි. එහෙත් සකළ සබ්බමනාවම පොදි බැඳගෙන ආවද, දින කිහිපයක් තුළ ගෙනා ආ රුපියල් තඹ දොයිතුවට ඩොලර්වලින් විය පැහැදම් කිරීම ජීවිතය ඉතා වේගයෙන් දිය වී යන බවක් දැනුණි.

කෙසේ හෝ සිරුරෙහි සැඟවුණු උට්ඨාන වීරියත්, තත්ත්ව තානාන්තරයන්ගේ පුහු ගර්වයත් අල්ලා කුණු බක්කියට වීසි කර, පාරිශුද්ධ හෝමෝ සේපියන් කෙනෙකු ලෙස ජීවත් වීම පිණිස ඕනෑම රැකියාවක් සෙවූ අයුරු තවමත් මතකය.

පුද්ගල ගරුත්වය වූ කලී රැකියාව මත, අධ්‍යාපන මට්ටම, දේශපාලකයාට ඇති හිතෛෂීවන්තභාවය ආදියට වඩා වෙනස්ම මානයකින් ක්‍රියාත්මක වන සංකල්පයකි.

සුදු ජාතිකයන් අතර දෙවැනි පුරවැසියන් ලෙස සැලකෙනවා යැයි පැවසෙන නමුදු, නෛතිකව සියලු දෙනාම සමාන අයිතිවාසිකම් සහිත පුරවැසියන් ලෙස සමාජ සම්භාවනාවට පාත්‍ර වන ආකාරයට සමාජ සංස්ථාව සකස්කර තිබිණි. එහෙත්, නෂ්ටාවශේෂ වූ වර්ග භේදවාදී කළු හමට, ආසියාතික බවට අඩු තක්සේරු කරන ගතිය නැත්තේමත් නැති බව ඉඳහිට හෝ දැනිණි.

මුලදී උපන්දා සිට, වගේ වගක් නැතිව මුවින් ගලා ගිය හෙළ වදන් ඌරුව නතර කොට, දෙවැනි බසක් ලෙස ආයාසයෙන් හුරු කළ ඉංගිරිසි බසින් සිතැඟි පළ කිරීම වූ කලී අතිශයින්ම කර්කශ සහ චිත්ත පීඩා ඇති කරන කර්තව්‍යයක්ම බවට පත් වී තිබිණ. අප විසින් පවසන අදහසෙහි අරුත අනෙකාට ඇසෙන උච්චාරණ විලාසයත් ඉන් ගම්‍ය වන සැබෑ අරුතත් අතර නියම ස්වභාවය කෙසේ වී දැයි නිශ්චයක් නැත. එනමුදු, අන්‍ය සංස්කෘතික කලාපයකින් සංක්‍රමණය වූ සංක්‍රාමිකයකුගේ ඉංගිරිසි ගැට ගසමින් හෝ වහරනු ලබන දේ ගැන සහකම්පනයෙන් විඳ දරාගන්නා ප්‍රවේශයක් මේ මහද්වීපය තුළ තිබීම අස්වැසුම්දායකය.

කෙසේ වෙතත් කෙමෙන් කෙමෙන් ජන සමාජය සමඟ ගැටීමේදී ඔවුනගේ උච්චාරණ විලාසයත් අදහසත් මීටර් වීමට අනුහුරු වීම තුළ අතිවිශාල අනුවර්තනයක් අප තුළ සිදු වන බව දැනෙන්නේය.

‘මල්ටි කල්චරල්‘ හෙවත් බහු සංස්කෘතික ප්‍රවේශය, බොහෝ දියුණු ජනසමාජ හෙවත් දියුණු රටවල තිබෙන උසස් ලක්ෂණයකි.

එහෙත් පැමිණෙන හැම දෙනාම මේ රට තුළදී, කෙසේ හෝ තම තමනුත්, අනිවාර්යයෙන් තමන්ගේ දරු පැටවුන්ටත් ඉංගිරිසියම ඉහළින්ම උගන්වන්නට හදති. තම තමන්ගේ භාෂාව මේ රටේ පළමු බස කරන්නට කවුරුවත්ම වළිකන්නේ ද නැත.

එහෙත් මල්ටි කල්චරල් සංස්කෘති අස්සේ පවතින ඒ ඒ රටවල ඒ ඒ කලාපවල එකම බස කතාබහ කරන, සමාන ආගම අදහන කණ්ඩායම් වෙන වෙනම ගොනු වී තම තමන්ගේ සංස්කෘති පවත්වාගෙන යාම ද කාටවත් කරදරයක් නැතිව ශික්ෂිතව කරගෙන යනු ලබයි. එය නම් ආශ්චර්යයකි. ඒ ඒ කලාපවල තුන්වැනි ලෝකයේ ප්‍රෞඪ ඉතිහාස ඇති උදවිය තමන්ගේ රටේ සිංහයන්, කොටියන් ආදී අභීත විලෝපික සතුන් ලෙස අනෙකා සමඟ කාකොටා ගත්තද මේ සමාජ පද්ධතිය තුළ දී නැට්ට කපා හීලෑ කළ සුරතල් සතුන් සේ හැසිරෙති. එය සුන්දරය. නමුත් ව්‍යාජය.

ඉංගිරිසි බසින් මේ රටවල පාසල්වලත් විශ්වවිද්‍යාලවලත් සිදු කෙරෙන විෂය මාලාවට පරිබාහිරව, තම තමන්ගේ සංස්කෘතික භාෂා සහ ආගමික දැනුම දී සිය ළමා ළපටින්ගේ මොළ පිරවීම ද ජාතික මෙහෙවරක් යැයි සිතා සිදු කරති.

එහි වරදක් ද නැතිය. ඉඳුරාම තමන්ගේ දෙවැනි පරපුර, මේ රටේ ඉංගිරිසියෙන් අදහස් හුවමාරු කරගන්නා වූ ද, දියුණු හෝමෝ සේපියන්ස් ඥාන ඉංගිරිසි බසින් යුහුසුලුව ස්පර්ශ කරන ශ්‍රෝතය අතරටම යන බව සංක්‍රාමික වැඩිහිටියෝ දනිති. තමන්ගේ රට අතහැර පැමිණීම පිළිබඳ වූ සන්තාපය, වරදකාරී බවින් මිදෙනු වස් සිය දූ දරුවන්ව ද තමන්ගේ සංස්කෘතිකවලින් සන්නද්ධ කර මේ ජන සමාජය තුළට අතහැරීමට සිතති. එහෙත් බෙහෝ විට දියුණු ජන සමාජවලට සංක්‍රමණය වන්නවුන්ගේ දෙවැනි සහ තුන්වැනි පරම්පරා වන විට ඔවුන් කියන්නට දන්නේ අපේ සීයා හෝ ආච්චි අසවල් රටේ සම්භවයක් තිබූ බව පමණකි.

“ඔබ ඔබේ මව්බසට අමතරව, ඉංගිරිසිත් දන්නව. මම දන්නෙ ඉංගිරිසි විතරමයි” සමහර යහපත් මිනිසුන් අපව දිරිගන්වන අටියෙන් පැවසූ බව ආදරයෙන් සිහිපත් කළ යුතුමය. කෙසේ වෙතත් කාලානුරූපිව ඉංගිරිසියෙන් වහරනු ලබන විලාසය ශ්‍රවණය කිරීමත්, හිතාමතාම එය ග්‍රහණය කිරීමට නිරතුරුව ගත් වෙහෙසත් අවසන ඉංගිරිසි නමැති යතුර ඉතා මැනවින් හසුරුවාගෙන දියුණු ජන සමාජයේ දොරගුළු හොඳින් විවර කරගෙන අස්සක් මුල්ලක් නෑර කරක් ගසන්නට හැකියාව ලැබෙන බව නම් නොකියාම බැරිය.

ඔවුනගේ බස නිවැරදිව වටහාගෙන නිසි ප්‍රතිචාරය ආචාරශීලිව බුහුටිව ලබා නොදෙන තුරු පිටසක්වළ ජීවියකු ලෙසින් ඔවුනුත් අපත් අතර වූ පරතරය රේසිසම් හෙවත් ජාතිවාදී කර්කශ හැඟීමකින් පෙළුණ ද අදාළ භාෂා පරිඥානය අප තුළ ස්ථාපිත වීමත් සමඟ මනුෂ්‍යයාට මනුෂ්‍යයකු මුණගැසී අදහස් නොපැකිළව බෙදා හදාගැනීමේ අවකාශය තුළ දී තුනී වී යන අයුරු කාටත් දැනෙන්නකි.

මෙය සුදු ජාතිකයන් හා අප අතර පමණක් නොව, ඉංගිරිසියෙන් කතා කරන්නට මුඛ වරම ලත් ආසියාකරයේ චීන, ජපන්, ඉන්දියන්, පාකිස්ථාන්, ඇෆ්ගනිස්ථාන්, භූතාන්, වියට්නාම් ආදී ඕනෑම ජාතිකයකු හා අදාළය. ඒ හැමෝම පර්ෆෙක්ට් හෙවත් ඉතාම නිවැරදි ඉංගිරිසි උච්චාරණයෙහි නොයෙදෙත්. ඔවුන්ගේ මව්බසෙහි උච්චාරණ ස්වර සීමා රටා හා සමගාමීව ඉංගිරිසි උසුරුවයි. කල්යත්ම ඒ ඒ ජාතිකයින් ඉංගිරිසියෙන් දොඩන අදහස ද ග්‍රහණය කර ඊට ප්‍රතිචාරය ආචාරශීලිව සපයමින් මනුෂ්‍යත්වය බෙදාහදා ගැනීමේ අවම සදාචාරයත් ගොඩනැඟෙන්නේය.

ඒ වගේම ලංකාවේ සිට පැමිණ මෙරට පදිංචි වී සිටින්නා වූ දමිළ, මුස්ලිම් ජාතික මනුෂ්‍යයෝ ද සිංහල හෝ දෙමළ වෙනුවට ඉංගිරිසි බසින් කැඩි කැඩී හෝ අදහස් සමඟ එකම රටේ සිට පැමිණි ආදරණීය හිතවත්කම් ද බෙදා හදා ගනිති. ලංකාවේ සිට පැමිණි මුස්ලිම් සහෝදර ප්‍රජාවේ බහුතරය සිංහලයත්, දමිළයත්, ඉංගිරිසියත් යන ත්‍රිභාෂා නිපුණතාවන්ගෙන් යුක්තය. එය අතිශයින්ම අපූරු ආදරණීය කුසලතාවයකි.

ලංකාවේ සිට පැමිණ පදිංචි වූ සමහරු විශ්‍රාමික හමුදා නිලධාරින්ය. තව සමහරු යුද්ධයට සම්බන්ධ වී පලා ආ කොටි සංවිධානයේ පිරිස්ය. ලංකාවේ දී නයි මුගටින් ලෙස විසූ ඔවුහු ඉංගිරිසි බසින් අදහස් බෙදා හදා ගෙන විවිධ රැකියාවන් එකට කරති. එකිනෙකාට රැකියා පවා සොයා දී උදව් උපකාර කර ගනිති. මේ සිද්ධි ප්‍රබුද්ධව, සියුම්ව සහ සහකම්පනයෙන් යුක්තව විශ්ලේෂණය කරගත යුතුය.

ලංකාව මෙන් එකසිය දාහත් ගුණයක් පමණ විශාල ඔස්ට්‍රේලියාවේදී එහෙම ඉන්නට පෙලඹුණත්, තමන්ගේ රටේ එකිනෙකා ගැන වූ අනවබෝධය, භීතිය, සම්පත් බෙදා හදා ගැනීමට ඇති අපොහොසත්කම, එකිනෙකාටත්, අන්‍යය සංස්කෘතික කාරණාවලටත් ඇති බිය සහ ගරු නොකිරීම, ජාති වර්ග කුළ භේද ආදී දහසකුත් එකක් චරුචුරුස් සමඟ වැළලෙමින් යන ජාතික සමගිය ගොඩනඟන්නට පළමු කොටම එකී ප්‍රධාන ජන කණ්ඩායම් අතර ඉතා කාර්යක්ෂම සන්නිවේදන ප්‍රස්තා ඇති කළ යුතු බව පෙනේ.

කුඩා රටේදී සිංහල මිනිහා දමිළ නොදන්නා අතර, දමිළ මිනිහා සිංහල ද නොදනී. එසේම ඔවුනොවුන් බහුතරය ඉංගිරිසි ද නොදනී. ඒ අනුව, අනෙකා ගැන තම තමන් උපකල්පනය කරන අදහස් මත තීරණවලට එළැඹෙයි. වර්ගවාදී අදහස් වීරකම් ලෙස දෙපක්ෂය තුළ චාරිත්‍රානුකූලව රැකගෙන එයි.

මේ සඳහා හොඳම විසඳුමක් වන්නේ ලක්වැසියන් සැම දෙනාටම තම තමන්ගේ බසට අමතරව පළමු කොට ජාත්‍යන්තර බස වන ඉංගිරිසිය මනාව හසුරුවන්නට ඉගැන්වීමයි. ඒ සමඟම සිංහල අයට දමිළ ද, දමිළ අයට සිංහල බස ද හසුරුවන්නට රාජ්‍ය ප්‍රතිපත්ති හරහා අනිවාර්ය කරවීමය. වරින් වර අතිසාර්ථක යුද්ධ සිදු කර රට දැය සමය බේරාගැන්මට ලක්ෂ සංඛ්‍යාත ජීවිතත්, අවි ආයුධ ඇතුළුව සිදු කරන යුද වියදම් ද ගත් කල, ඊට වඩා ඉතාම අඩු මුදලක් වැය කර ඔය භාෂා තුන සෑම ලක්වැසියකුටම ඉදිරි දශකය තුළ සාර්ථකව උගන්වන්නට කටයුතු කළ හැකිය. එය පරම්පරා දෙකකට අනිවාර්ය කර ඉගැන්වුවහොත් බොහෝ ප්‍රශ්න විසඳෙනු ඇතැයි සිතේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division