චීනය නිදා සිටින යෝධයකු යැයි 1815 දී ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජයා ප්‍රකාශ කළේය. චීන යෝධයා නින්දෙන් අවදි කළහොත් “ලෝකය සොලවනු ඇත” යන්න නැපෝලියන්ගේ අදහස වූයේය. චීනය; ප්‍රංශ අධිරාජයාගේ අදහස මේ වන විට යථාර්ථය බවට පත්කරමින් සිටී. ජාත්‍යන්තර භූ දේශපාලනයේදී වඩාත්ම ඉදිරියෙන් සිටින රට චීනයයි. චීනය දැනටමත් දකුණු ආසියාව පමණක් නොව ලෝකයම සොලවන්නට පටන්ගෙන තිබේ. එහෙත් චීනයේ පිබිදීම ලෝකයේ කිසිදු රටක සාමයට හෝ ඉදිරි ගමනට බාධාවක් වී නැත.
ජනාධිපති අනුර දිසානායක 2025 ජනවාරියේ චීනයේ නිල සංචාරයකට සහභාගිවීමට නියමිතය. ජනාධිපතිවරයා ඉන්දීය චාරිකාව අවසන් කරනවාත් සමඟ චීන රජයේ නියෝජිත පිරිසක් ඔහු හමුවිය. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය හසුරවන ආකාරය ජාත්‍යන්තරයේ ප්‍රසාදයට හේතු වී තිබේ. නව රජය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත. විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කළේ නොබැඳි ප්‍රතිපත්තියට එහා ගිය නූතනවාදී ප්‍රවේශයක් තුළ කටයුතු කරන බවය.
ඉන්දියාව ආසියාවේ බලවතා බව කියා හෝ, චීනය ලෝක බලවතා වූවා කියා හෝ, විශේෂ වැදගත්කමක් හිමි විය යුතු නැත. දූපත් රාජ්‍යයක් ලෙස අපි අපේ අනන්‍යතාව සහ නිදහස් රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීමට අපට ඇති අයිතිය සාඩම්බරයෙන් ආරක්ෂා කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. එහි විශේෂත්වය වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය උතුරු කොරියාව ද ඇතුළුව ආසියාවේ සියලුම රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බව හා ඉදිරියට කටයුතු කරන බවය. අනෙකුත් රාජ්‍යයන්හි භෞතික විශාලත්වය හෝ ආර්ථික හෝ යුද ශක්තිය කිසිදු ආකාරයකින් වෙනත් රාජ්‍යයක ස්වෛරීභාවයට අදාළ හෝ වැදගත් වන්නේ නැත.
අපි ඕවට නෑ; අපිට ඕවා අදාළ නෑ; අපි අහිංසකයි… කියන අන්දමේ ඇල්මැරුණු නොබැඳි විදේශ ප්රතිපත්තියකට එහා ගිය එඩිතර ගෞරවනීය විදේශ ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව අනුගමනය කරමින් සිටී. ශ්‍රී ලංකාව එවැනි විදේශ ප්රතිපත්තියක පිහිටා කටයුතු කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටය.
එළඹෙන චීන චාරිකාව ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික සහ උපාය මාර්ගික සම්බන්ධතා සැලැස්මේ ප්‍රධාන අවස්ථාවක් වන අතර රාජ්‍ය සංචාරයක රාජ්‍යතාන්ත්‍රික සුන්දරත්වය පිටුපස ඇති මෙම සංකීර්ණ යථාර්ථය ග්‍රහණය කර ගැනීමට අනුර දිසානායකගේ රජය සමත් වනු ඇත. අදානග්රාහී ස්ථාවරයක පිහිටා අදහස් පළ කරන දේශපාලන විචාරකයන් උත්සාහ කරන්නේ ඉන්දියාව හා චීනය යන එකිනෙකාට පස මිතුරු යෝධයන් දෙදෙනාට ශ්‍රී ලංකාව මැදිවී යටත්ව සිටින බව පෙන්වීමටය.
එය සත්‍යයට ඉඳුරාම පටහැණිය. ජාත්‍යන්තර දේශපාලනය තුළ ඉන්දියාව හා චීනය පසමිතුරන් නොවේ. ව්ලැදිමීර් පුටින්ගේ නායකත්වය යටතේ අමෙරිකන් ඩොලරයට අභියෝග කළ හැකි මුදල් ඒකකයක් ලෝකයට හඳුන්වාදීම සඳහා රුසියාව ආරම්භ කළ බ්‍රික්ස් සමුළුවේ ප්‍රබල රාජ්‍යයන් වන්නේ චීනය හා ඉන්දියාවයි. බ්‍රික්ස් සාමාජිකත්වය ලබා ගැනීමීම සඳහා සහාය වන ලෙස ජනාධිපති අනුර අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටීම හෑල්ලුවට ලක් කරමින් හිටපු ඇමතිවරයකු වු ඩිව් ගුණසේකර අදහස් පළ කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය ලබා ගැනීම සඳහා 2028, 2029 වර්ෂවලදී ඉන්දියාව එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා ඊට සහාය පළ කරන්නට එකඟ වූ බවත් හිටපු ඇමැති ඩිව් ගුණසේකරට දැන ගන්නට ලැබී නැත.
ජනාධිපති අනුර දිසනායකගේ ඉන්දීය සංචාරය නිමාවී දින කීපයකට පසු ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ ව්‍යාපෘති 33 ක් සඳහා රුපියල් මිලියන 2317 ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට ඉන්දියාව කටයුතු කර තිබිණ. ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එම මුදල් අධ්‍යාපන සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර යන අංශවල ව්‍යාපෘති සඳහා යොදවනු ඇත. උතුරු ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ චීන ඉන්දියා දේශසීමාවේ දීර්ඝ කාලයක සිට දෙරට හමුදාවන් අතර ගැටුම් පැවතිණි. චීනය සහ ඉන්දියාවේ හමුදා බලධාරීන් අතර සාකච්ඡා වට 17ක් පැවැත්වීමෙන් පසු, පසුගියදා එම ප්රශ්නය නිරාකරණය වී තිබේ. චීනය දේශසීමාවෙන් කිලෝමීටර් 3ක් ආපස්සට ගිය අතර ඉන්දීය හමුදාව ද කිලෝමීටර් 3ක් රට අභ්‍යන්තරයට දේශසීමාව ගෙන ගියේය. මැක්මහෝන් ලයින් දේශසීමා රේඛාවේ සිට කිලෝමීටර් 6 ක (නෝමෑන් ලෑන්ඩ්) ප්‍රදේශයක් මේ වන විට නිර්මාණය වී තිබේ. මේ සියලු කටයුතු සුහදව සිදු කර ගැනීමට චීනය හා ඉන්දියාව සමත් වී ඇත.
ඉන්දියාවේ ආර්ථික සංවර්ධනයට සහ ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන තීරණාත්මක ඛනිජ වර්ග 30ක් හඳුනාගෙන ඇති අතර එයින් 10 ක්
සඳහා ඉන්දියාව චීනය මත යැපේ. ලොව විශාලම පතල් රට ලෙස චීනය පසුගිය කාලය තුළ නව ඛනිජ නිධි 132ක් හඳුනාගෙන ඇති අතර විදේශීය පතල් කැණීම් ව්‍යාපෘති සඳහා ද චීනය ආයෝජනය කර තිබේ. ඉන්දියාව, එක්සත් ජනපදය සහ යුරෝපා සංගම් රටවල් ඇතුළු රටවල් සඳහා සැපයුම් දාම ඉහළ නංවා ඇත. 20වන සියවසේ මිනුම් දඬුවලින් ලෝකය මැනීමෙන් තවදුරටත් පවතින භූ දේශපාලනික යථාර්ථය වටහාගත නොහැකිය.
චීනය රටවල් 100ක් සහ ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති අතර ගැටුමට වඩා සංවාදයට සහ සන්ධානයට හවුල් වීම සඳහා ක්‍රියාකරන බවත් ප්‍රකාශ කර තිබේ. චීන උගුලක් ගැන ප්‍රකාශ කරන ඊනියා දේශප්‍රේමීන්ට කලාපීය භූ දේශපාලනයේ හැසිරීමට අනුරූපව වර්තමාන ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය වටහා ගැනීමට තවත් සෑහෙන කාලයක් ගතවනු ඇත.
රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ ඉන්දියානු විරෝධය ජාතික ජනබලවේගය විසින් ඉවත දමා ඇති බවට සමහරු චෝදනා එල්ල කරති. ඉන්දියාව 1980 වන විට එක්සත් ජනපද ආධිරාජ්‍යවාදීන්ගේ සහ අමෙරිකන් ගැති කලාපීය කුඩා රාජ්‍යයන්ගේ තර්ජනයට මුහුණ දී සිටියේය. එදා අෙමරිකාවට අවශ්‍ය වූයේ මහාභාරතය කැබලිවලට වෙන් කරන්නටය. පාකිස්ථානය උතුරු හා බටහිර කාශ්මීරය අල්ලාගෙන තිබිණ. චීනය ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයට සහ අරුණාචල් ප්‍රදේශයට හිමිකම් කියමින් යුද්ධ කළේය.
ඉන්දියාව කැබලි කිරීමේ ව්‍යාපාරයට ලංකාව දෙකඩ කිරීම රුකුලක් වන බවත් විශේෂයෙන් එය දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භාෂා කතා කරන ප්‍රාන්ත හතර කෙරෙහි බලපෑමක් වන බවත්, එක්සත් ජනපදය එදා උපාය මාර්ගිකව තේරුම් ගෙන සිටියේය. ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව ක්‍රියා කළේ එක්සත් ජනපද අධිරාජවාදීන්ගේ කලාපීය උපාය මාර්ගයන්ට අනුරූපවය. උතුරේ ත්‍රස්තවාදය ඉන්දියාව තුළ පෝෂණය වූයේ එවකට පැවැති කොංග්රස් පක්ෂ ආණ්ඩුවේ වැරදි දේශපාලන උපාය මාර්ගය නිසාය.
ශ්‍රී ලංකාවේ පැවැත්මට හානි වන එම ක්‍රියාමාර්ගයන්ට ජවිපෙ කොන්දේසි විරහිතව විරුද්ධ වූවා පමණක් නොව ඊට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් අරගල කළේය. රට බෙදීමට පසුබිම සැකසෙන පරිදි රජීව් ගාන්ධි හා ජයවර්ධන ගෙන ගිය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිකර වැඩපිළිවෙළට ලංකාවේ පැරණි වාමාංශික පක්ෂ සහාය පළ කරද්දී විජේවීර ඊට විරුද්ධ විය. ඉන්දියානු විරෝධයක් ලෙස එය හුවා දක්වන ලදී. එදා රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ක්‍රියාදරයන් ජීවිත පරිත්‍යාග කළේ රනිල් වික්‍රමසිංහලා අනුගමනය කළ රට බෙදන ප්‍රතිපත්තිය පරාජය කිරීමටය. අද ඒකීය ශ්‍රී ලංකාවක් පවතින්නේ විජේවීරලා එදා කළ පරිත්‍යාග නිසාය.
ජාත්‍යන්තර දේශපාලනය සමඟ කටයුතු කරන්නට එකම සුදුස්සා හැටියට පසුගිය කාලයේ බොහෝදෙනා හඳුන්වනු ලැබූ රනිල් වික්‍රමසිංහ ලෝකයේ සෑම බල කඳවුරක් සමඟම ගිවිසුම් ගැසීම නිසා ලංකාව තවත් ගාසා තීරයක් බවට පත්වීමේ අවදානමක් දෙසට තල්ලු විය. එවැනි වාතාවරණයක රටට අවශ්‍යව තිබුණේ චීනය සමඟ වේවා, ඉන්දියාව සමඟ වේවා, එක්සත් ජනපදය සමඟ වේවා ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා අංක එක වශයෙන් තබාගෙන ක්‍රියා කළ හැකි කොන්ද පණ ඇති මිනිසුන්ය. ජාතික ජන බලවේගයට ජනතාව රට භාර දුන්නේ එම හිඩැස පිරවීම සඳහාය. ඊට අලගු තියන්නටවත් සුදුසුකමක් නැති පරාජිත දේශපාලකයන් මේ දිනවල නඟන කෙඳිරිලි කිසිවකු ගණන් ගත යුතු නැත.
ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවතියේ යහපත් ප්‍රතිරූපයක් නොවේ. දශක ගණනාවක් මුළුල්ලේ ජාතික සම්පත් සොරා කන , විදේශ ආයෝජන සොරකම් කරන, විදේශ ණය ස්වකීය මුදල් පසුම්බි වල බහා ගන්නා, ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන පාලක කණ්ඩායම් ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බව ලෝකයම දනී. වර්තමාන ආණ්ඩුව කෙරෙහි ලෝක නායකයන්ගේ අවධානය යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අපේක්ෂා කරන සම්පූර්ණ ක්රමයේ වෙනස සාක්ෂාත් කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවට තිබෙන විශ්වාසය නිසාය. රට නිවැරදි පීල්ලට වැටී තිබේ. ඒ අනුව ජනතාවගේ ආශීර්වාදය ඇතිව ඉදිරියට යාමට කිසිදු බාධාවක් අපට නොපෙනේ.
උදේනි සමන් කුමාර