කුඩා කාලයේ අපේ කුඹුරේ බෝංචි වගා කළෙමු. බෝංචි ඇට හිටවා සති දෙකක් පමණ යන විට බෝංචි වැලට ආධාරක ලෙස හීනි උස කෝටු සිටුවිය යුතුය. වෙල්යාය අද්දරින් ගලාගෙන ගිය උමාඔය අයිනේ සරුවට ඇපල නම් ආගන්තුක බට පඳුරු විශේෂයක් වැවී තිබිණි.
අපේ කුඹුරට තරමක් දුරින් ඔය අයිනේම ඇපල පඳුරු සරුසාරෙට වැවී තිබුණු කලාපයක් විය. එම ප්‍රදේශය ගම්මුන් හැඳින්වූයේ ඇපලවල ලෙසය. මේ ඇපලවල හරියෙන් බෝංචි ආධාරක කෝටු කපාගෙන උණ බම්බු එකට තබා බැඳගත් ඔය දිගේ කුඹුරුවලට ඇපල බට මිටි ගෙන ඒමට පාසල් වියේ සිටි අප දැරූ උත්සාහයන් කිහිප විටක් ව්‍යවර්ථ වුණේ උණ බම්බුවලින් සෑදූ පහුර ලිහී කෝටු මිටි දියබත් වීම නිසාය.
මේ අතීත කතාව මට පැරණි කොන්ස්තන්තිනෝපල් නගරයේදී යළිත් සිහිපත් විය. කිලෝමීටරයකට වඩා අඩු දුරක් ඇපල කෝටු මිටි කිහිපයක් පහුරකින් ගෙන ඒමට ගොස් විඳින්න සිදු වූ ගැහැට හා සසඳා බලද්දී කිලෝමීටර් එක්දහස් පන්සීයක් නයිල් ගඟ දිගේත් මධ්‍යධරණී මුහුද ඔස්සේත් පාරුවක දමාගෙන ටොන් දෙසීයක බර මීටර් තිහක් උස ග්‍රැනයිට් කුලුනක් මීට අවුරුදු එක්දහස් හත්සියයකට පෙර ගෙන ආ මිනිසුන් පිරිසක් ගැන පුදුම නොවී සිතන්නට බැරිය. මා මේ සිටින්නේ ඔවුන් එසේ ගෙනා කුලුන අසලය. මේ කුලුනේ පාදමේ නෙළා ඇති මිනිස් රූප හා පසුකාලීන සටහන් පැරණි කුලුනේ බඳ මත පාරාවෝ රජ සමයේ ලියා ඇති හයිරෝග්ලැපි සටහනුත් බලමින් කල්පනා කරන්නට බොහෝ දේ තිබේ.
ක්‍රිස්තු පූර්ව 1400 ගණන්වල දී ඊජිප්තුවේ බලය පතුරුවා සිටි තට්මෝස් පාරාවෝ රජු සිය තේජස පෙන්වීම සඳහා නයිල් ගඟ අසබඩ කර්නික් දේවස්ථානයේ විශාල ග්‍රැනයිට් කුලුනු කිහිපයක් පිහිටෙව්වේය. කර්නික් පිහිටියේ ඊජිප්තුවේ රට මැදට වෙන්නටය.
බරින් ටොන් දෙසීයකට වැඩි වූ දැන් ඉස්තාන්බුල් නගරයේ තිබෙන කුලුනේ මුල් පාදම තාමත් ඊජිප්තුවේ තිබෙන බව පැවසේ. ඊජිප්තුවේ සිට ඉස්තාන්බුල් කරා ප්‍රවාහනය කිරීමේදී මීටර් තිහක් පමණ වූ කුලුනෙන් කොටසක් කැඩී දැන් තිබෙන්නේ මීටර් විස්සක් පමණ වූ එකකි.
ඊජිප්තුවට මිසරය කියා ද කියන අතර ඉතිහාසය පුරා එරට හැඳින්වීමට ඒ නම් දෙකම යොදාගෙන තිබේ. මේ මිසර කතාවේදී මට තවත් රසවත් යමක් සිහිපත් වේ. ඒ පැරණි ඊජිප්තු ලිඛිත බසේ ස්වර භාවිතය අවම වීම නිසා මිසරය යන්න Misr වැනි අකුරු කිහිපයකින් ලියන බවත් මා මේ කියන ඔබෙලිස්ක් කුලුනේ ( ඔබෙලිස්ක් යනු පැරණි ග්‍රීක බසින් කුලුනට කියන නමකි) ඇති අකුරු හා රූප රටා බොහෝ විට පැරණි ග්‍රීක හා ඊජිප්තු අකුරු සන්නිවේදනයට ආසන්න බවත්ය. අකුරු අවම ප්‍රමාණයකින් හා රූප සංකේත සමඟ පණිවිඩ ලියා තිබූ ඉපැරණි රතු ග්‍රැනයිට් කුලුනකි; ඉස්තාන්බුල් නුවර ඇති ඔබෙලිස්ක් කුලුන. එය පැරණි ඊජිප්තුවේ හෙවත් මිසරයේ ලියන්නට භාවිත වී ඇත්තේ හයිරෝග්ලැපි ලේඛන කලාවට අසන්න වූවකි. එය අපේ තරුණ තරුණියන් කෙටි පණිවිඩ යවා ගන්නා mk krannne, mnd kanne යන වචන අතරට ඉමෝජී එකතු කිරීමේ ක්‍රමයට බෙහෙවින් සමාන වේ. පසු කලෙක හඳුන්වා දුන් කැලිග්‍රැෆි හෙවත් චාරුලේඛය ආභාසය ගන්නට ඇත්තෙත් ඊජිප්තු හයිරෝග්ලැපි ක්‍රමයෙන් වෙන්නට පුළුවන. ක්‍රිස්තු වර්ෂ 337-361 කාලයේදී දෙවන කොන්ස්ටන්ටියස් රෝම අධිරාජයා මිසරය අල්ලා ගත්තේය. ඔහු එක් ග්‍රැනයිට් කුලුනක් නයිල් ගඟ දිගේ ගෙනවිත් මිසරයේ ඇලෙක්සන්ද්‍රියා නගරයේ හිටෙව්වේය. අනෙක ඉන් බොහෝ දුර පිහිටි රෝමයට ගෙන ගියේය. අද ද රෝමයේ ලැටරන් ඔබෙලිස්ක් නමින් සුපතළ කුලුන මෙයයි.
ඊප්තුවේම ඇලෙක්සන්ද්‍රියා නගරයට ගෙන ගිය කුලුන ක්‍රිස්තු වර්ෂ 390 දී තියෝඩොසියස් අධිරාජයා කොන්ස්තන්තිනෝපලයට ගෙන ගියේය. මෙය මුහුදු මාර්ගයෙන් මීටර් තිහක් දිගට හා ටොන් දෙසීයක් විතර තිබියදී කිලෝමීටර් එක්දහස් පන්සියයක් පමණ මුහුදු මඟ දිගේ ගෙන ආවේ කෙසේදැයි තාමත් හරියටම කියන්නට දන්නේ නැත. එකල තිබ්බේ රුවල් නැව් හා පාරු පමණක් බව මගේ දැනීමය.
කුලුන රැගත් පාරුව හෝ නැව මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කර බොස්පරස් මුහුදු තීරයට ඇතුළු වී එවකට කොන්ස්තන්තිනෝපල් හෙවත් වත්මන් ඉස්තාන්බුල් වෙත ළඟා විය. ඉන්පසු මේ බරැති දිග කුලුන ගොඩට ගැනීම, එතන සිට සුප්‍රසිද්ධ හිපද්රෝමය පිහිටි වත්මන් සුල්තාන් මෙහ්මට් නගරයට් ගෙන යාම, ඉන්පසු කුලුන කෙළින් සිටුවීම ආදිය කෙසේ කරාද යන්න තවමත් විශ්මයකි.
මම කුලුන සමඟ පැරැණි හිපද්රෝමය AI තාක්ෂණය ඔස්සේ චිත්‍රයට නඟන්නට උත්සාහ ගතිමි. ඒ පින්තුරය මේ ලිපිය සමඟ පළ වේ. ඔබෙලිස්ක් හෙවත් ග්‍රැනයිට් කුලුන සිටවා ඇති හිපද්රෝමය සුවිසල් ක්‍රීඩාගාරයකි. අස්ව කරත්ත රේස් හා නොයෙක් සර්කස් වර්ග නිතර පැවැත්වුණු හිපද්රෝමය අද වන විට ගොඩනැඟිලි රහිත විශාල භූමියකි.
දැන් තිබෙන ග්‍රැනයිට් කුලුනේ පාදම පසුව ඉදිකර තිබෙන්නකි. එහි හතරපස පණිවිඩ කිහිපයක් ලියා තිබේ. ඉන් එකකින් කියවෙන්නේ මේ සුවිසල් කුලුන සර්කස් හා අශ්ව කරත්ත රේස් පිටියේ සවි කිරීමට ගත වූයේ දින තිස් දෙකක් බවය.
ඔබ බෙන්හර් චිත්‍රපටිය නරඹා ඇත්නම් එහි සුප්‍රකට අශ්ව කරත්ත රේස් පැවැත්වූ පුරාණ පිටිය මෙන් සුවිසල් ක්‍රීඩාගාරයක්, සර්කස් සංදර්ශන ප්‍රදේශයක් හා රේස් ධාවන පථයක් හිපද්රෝමය තුළ පිහිටා තිබී ඇත. හිපෝ යන ග්‍රීක වචනයේ තේරුම අශ්වයන් යන්නයි. ඩ්‍රෝම් යනු පථය හෙවත් මාවතයි. එනිසා මෙය අශ්ව ධාවනය සඳහා තැනූවක් බව පැහැදිලිය.
කිස්තු වර්ෂ 203 දී රෝමන් අධිරාජයකු වූ හෙප්ටිමස් සිවරස් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගත්තාට පසු ඔහු හිපද්රෝමය හා අවට තිබෙන සුවිශේෂ ගොඩනැඟිලි ඉදි කළේය. මේ කොන්ස්තන්තිනෝපල් ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසයයි.
හිපද්රෝමය අසල තිබෙන සුප්‍රකට හයියා සුෆියා පල්ලිය, නිල් පල්ලිය හා මඳක් ඔබ්බෙන් තිබෙන ග්‍රෑන්ඩ් බසාර් එක නිසා එය ඉස්තාන්බුල් නගරයේ තිබෙන අතිශයෙන් ජනප්‍රිය සංචාරකයන් ආකර්ෂණය කරන ස්ථානයකි. පොදුවේ මේ කලාපය හඳුන්වන්නේ සුල්ටන්මෙහ්මෙට් නමිනි. ඒ 1453 දී බය්සන්ටයින් අධිරාජ්‍යය පරාජය කර කොන්ස්තන්තිනෝපලයේ බලය අල්ලාගත් ඔටෝමන් සුල්තාන්වරයා වෙනුවෙන් නම් කෙරුණකි.
ඉස්තාන්බුල් නරඹන්නට එන මගේ යහළු මිත්‍රයන් මා මුලින්ම එක්කරගෙන යන්නේ එතැනටය. තනිවම පාර සොයාගෙන එන කෙනකුට මම කියන්නේ හිපද්රෝමයේ ඔබෙලිස්ක් එක නැතිනම් අර මිසරයෙන් ගෙනා සුවිසල් ග්‍රැනයිට් කුලුන අසලට එන්නයි කියාය. එය කවුරුත් දන්නා කාටත් පහසුවෙන් සොයාගත හැකි මඟ සලකුණකි.
අනෙක් අතට පුරාණ කොන්ස්තන්තිනෝපල් නගරයේ හරි මැදට වෙන්නට එය විරාජමානව හිටගෙන සිටින නිසා සොයා ගැනීම වඩාත් පහසුය. පුරාණ රෝම අධිරාජයකු සිය බලපරාක්‍රමය පෙන්වන්නට මේ කුලුනු මහත් වූ දුරක් ගෙනගොස් හිටවා තිබේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ බල පරාක්‍රමය පමණක් නොව, ලෝක ඉතිහාසයේ කතාව ද කියවා දෙමින් මේ කුලුනු තාමත් තේජසින් හිටගෙන සිටී.