Home » මහජන සේවා කාර්යක්ෂම නම් බදු පැනවීම ගැටලුවක් නොවේ

මහජන සේවා කාර්යක්ෂම නම් බදු පැනවීම ගැටලුවක් නොවේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර‍ සහ සමාජවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යායන අංශයේ අධ්‍යක්ෂක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල විසින් රාජ්‍ය ආදායම වියදම සහ නව බදු සම්බන්ධව රජයේ යෝජනා පිළිබඳව කරන ලද පැහැදිලි කිරීමකි.

මෙරට පසුගිය කාලය පුරාම රාජ්‍ය ආදායම ඉතාමත් අඩු මට්ටමක පැවැතිණි. විශේෂයෙන් 2024 වර්ෂය සඳහා පිළියෙල කරන ලද අය-වැය ලේඛනයට අනුව රජයේ බදු ආදායම රුපියල් බිලියන 3820ක වැනි මට්ටමක් අපේක්ෂා කරන ලදී. ඒ තුළ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1080 සහ භාණ්ඩ හා සේවා මත වූ බදු රුපියල් බිලියන 2235 ලෙසත්, විදේශ වෙළෙඳාම් මත වූ බදු රුපියල් බිලියන 505 ලෙසින් ද අපේක්ෂා කර තිබිණි.

මේ රාජ්‍ය ආදායම අඩු මට්ටමින් පවත්වාගෙන යාම රටකට එතරම් සුබවාදි නැත. පසුගිය කාලය පුරාම අදායම් වියදම් මත යම් පරතරයක් පැවැතිණි. ඒ හෙයින් රට දිගින් දිගටම ණයවීමක් දක්නට ලැබුණු බැවින් ණයවල ධරණීයතාව පවත්වාගෙන යාමට අසීරු විය.

රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම

එසේ නම් (IMF) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත් සමඟ ඉදිරියට යන විටත්, රටේ සුබසිද්ධිය උදෙසාත් ඉදිරි අනාගතය ගැන සලකා බලන විටත් යම් ආකාරයකට රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

ඉදිරි 2025 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.01% පවත්වා ගැනීමටත් එසේම රජයේ අය -වැය තුළ මූලික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.3% දක්වා අඩු කර ගැනීම සඳහා යම් යෝජනාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් සිදු කර ඇත. මෙවැනි පසුබිමක බදු ක්‍රමය යම් ආකාරයකට සංශෝධනය කළ යුතුයි යන අදහස ඉදිරිපත් වෙයි.

අභිනවයෙන් පත් වූ රජය බලයට ගෙන ඒමට බොහෝ කැප කිරීම් කළ පිරිස අතර රාජ්‍ය සේවකයන් ද සහ විවිධ වෘත්තිකයන් ප්‍රමුඛ විය. ඔවුන් පසුගිය රජය පිළිබඳ දැඩි කලකිරීමට පත් වූයේ ඔවුන්ගේ වැටුපෙන් අය කරන ලද ආදායම් බදු මුදල දැරිය නොහැකි ඉතා ඉහළ මට්ටමක පැවැති බැවිනි. රජය විසින් මේ වෘත්තිකයන්ගෙන් අය කරනු ලැබූ බදු ප්‍රමාණය ඉතාමත් ඉහළ නිසා ඔවුන් දිගටම රජයෙන් ඉල්ලීම් කරනු ලැබුයේ බදු යම් ආකාරයකට අඩු කළ යුතු බවය.

කෙසේ වුවත් IMF විසින් ප්‍රකාශ කර තිබුණේ විවිධ පාර්ශ්වයන්ගෙන් අය කරනු ලබන බදු නිදහස් කිරීම හෝ අඩු කිරීමට යන්නේ නම් විකල්ප යෝජනා ක්‍රම ඔස්සේ බදු ආදායම වැඩි කර ගැනීමට රජය කටයුතු කළ යුතු බවය.

මෙවැනි සන්දර්භයක් තුළ නව රජය විසින් නව අය-වැය ගෙන එන විට බදු සංශෝධනයන් රාශියක් ඉලක්ක කිරීම අනිවාර්ය සාධකයක් විය යුතුය. නව රජය විසින් මේ වෘත්තිකයන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබා දී ඇත. කලින් පැවැති බදු අය කර ගැනීම්වලට වඩා බදු අඩු කර ගැනීම සඳහා යම් ආකාරයක ක්‍රමවේද නව රජය ඉදිරිපත් කර ඇත.

පසුගිය රජය විසින් බදු නිදහස් කිරීම සිදු කර තිබුණේ රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් ලබන පුද්ගලයන්ගෙනි. එය මේ රජය විසින් රුපියල් 150,000ක් දක්වා බදු සීමාව ඉහළ දමා ඇත.

බදු හැදෙන හැටි

මේ අනුව 150,000කට වඩා අඩු ආදායම් ලබන පිරිස බදු ගෙවන්නට අවශ්‍ය නැත. කලින් ක්‍රමවේදය යටතේ රුපියල් 3,000ක් වැනි මුදලක් බදු ගෙවනු ලැබිණි. රුපියල් 200,000ක ආදායමක් ඇති පිරිස 10,500 පමණ බදු ගෙවනු ලැබිණි. දැන් රුපියල් 3000ක පමණ මාසික බදු ගෙවිම සිදුවෙයි. එසේම 250,000ක ආදායම් ලැබූ පිරිස රුපියල් 21,000ක බදු ගෙවන ලද අතර, එය රුපියල් 8000ක් දක්වා අඩු වී ඇත. ලක්ෂ 300,000 ලැබූ පුද්ගලයන් 35000ක් පමණ මුදලක් බදු ගෙවන ලදී. එය 18,500ක් වැනි ප්‍රමාණයකට යටත් වෙයි. ඒ අනුව 350,000 ක අදායම ලබන ලද පිරිස කලින් 52500 බදු ගෙවන ලදී. ඒ අය රුපියල් 32,500ක පමණ මුදලක් බදු අය කර ගනු ලැබිණි. ඒ පිරිසට රුපියල් 20,000 පමණ සහනයක් ලැබී ඇත. ඒ සමඟම රුපියල් ලක්ෂ 400,000ක් ආදායම ලැබූ පිරිස 70,500ක් බදු ගෙවන ලදී. ඒ අනුව රුපියල් 50,000ක් පමණ බදු ගෙවීමට නියමිතය. එය රුපියල් 20,500ක වැනි ප්‍රමාණයක් ලක්ෂ 400,000ක් ආදායම ලබන පිරිසට ලැබී ඇති සහනයක් නම් ඒ සහනය නම් රුපියල් 20,500කි. එය වෙනසක් නොවේ. ආදායම් වැඩිවන විට ගෙවන බදු ප්‍රමාණය අඩු කිරීමට විශාල වශයෙන් ක්‍රියා කිරීමක් මේ තුළින් දැක ගත හැකි වෙයි. එසේම රුපියල් 400,000ක වඩා අඩු ආදායම් ලබන වෘත්තිකයන්ට ලැබෙන සහනය සාපේක්ෂව ඉහළ අගයක පවත්වා ගෙන යාමට රජය උත්සාහයක නිරත වන බවක් පෙනේ.

එමෙන්ම මෙහිදී පෙර පැවැති ආණ්ඩුව විසින් කර ඇති යෝජනා අතර දේපොළ බද්දක් හඳුන්වා දීමේ යෝජනාව ප්‍රමුඛ විය. එය සිදු නොකරන බවට තීරණයක් නව රජය විසින් ගෙන තිබෙන අතර ඒ සමඟම සේවා අපනයනය කෙරෙහි ද අවධානය යොමු කර ඇත. එනම් තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රයන්හි 15% දක්වා ඉහළ දැමීමට උත්සාහ කරනු ලබයි. මෙය පෙර රජය විසින් 30% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබිණි. ඒ අනුව 2025 අප්‍රේයෙල් පළමුවැනිදා සිට එය 15% ක බද්දක් ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කර තිබේ. එසේම ඩිජිටල් සේවා සඳහා වැට් බදු යෝජනා කර ඇත. ඒ සමඟම ලීසින් සඳහා තිබූ මුද්දර ගාස්තු 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමක් පෙන්නුම් කරනු ලබයි.

එයට අමතරව රඳවා තබා ගැනීමේ බද්ද මෙතෙක් පැවැති 5% සිට 10% දක්වා 2025 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට ඉහළ දැමීමට රජය යෝජනා කර තිබේ.

සමස්ත ක්‍රියාවලිය තුළ ආදායම් බදුවල සිදුවී ඇති සංශෝධන නිසා වෘත්තිකයන්ගෙන් අය කළ බදු රජයට ඉදිරියේදී යම් අඩුවීමක් සිදු වෙයි. සාමාන්‍යයෙන් රුපියල් බිලියන 40ක හෝ 50 බදු ආදායම් අඩුවීමක් සිදුවිය හැකි බවට පුරෝකථනය කළ හැකිය. ඒ බදු අඩු වීම යම් ආකාරයකට පියවා ගැනීමට විකල්ප ලෙස අනෙක් අංශවලින් සාධාරණ බදු වැඩි කිරීමක් දක්නට ලැබෙයි. ඒ බදු නැවත ලබා ගැනීමට අනෙක් විකල්ප බදු ක්‍රම යෝජනා කර ඇත.

ආනයනික වාහන සඳහා පැවැති සීමා

මෙයට අමතරව ආනයනික වාහන සඳහා පැවැති සීමා ඉවත් කිරීම සඳහා රජය ක්‍රියා කරන බවක් පෙන්නුම් කරයි. විශේෂයෙන් වාහන සම්බන්ධයෙන් ගත් විට එය ක්‍රම ක්‍රමයෙන් නිදහස් කර ගෙන යනු ලබයි. මේ අනුව මේ ක්‍රමවේදයන් හි යම් වාසි සහ අවාසි සහගත පැති කිහිපයක් ඇත. ඒ අනුව වාහන ආනයනය සීමා කළ පසු රජයේ බදු ආදායම ඉහළ යන්නට හැකියාවක් ඇත. මේ අනුව වාහන මත විශාල බදු ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙයි. ඒ නිසා රජයේ බදු ආදායම වැඩි කර ගැනීමට ක්‍රියා කළ හැකිය. අනෙක් පැත්තෙන් ලංකාව තුළ දැනට පවතින්නේ වසර තුනකට වඩා පැරණි වාහන ය. ඒ පරණ වාහන පාවිච්චිය තුළ ඉන්ධන දහනය, අනතුරු වැනි දේ සහ අමතර කොටස් ගෙන්වීමට දරණ වියදම වැඩි වීම වැනි ගැටලු ගණනාවක් මතු වෙයි. මේ නිසා වාහන ආනයනය කිරීම මඟින් ඒ ගැටලු යම් ආකාරයකට මඟ හරවා ගැනීමට හැකියාව ඇත.

නමුත් ගැටලුව වාහන ආනයනය සමඟ ලංකාවේ විදෙස් සංචිතවලට යම් ආකාරයකට බලපෑමක් එල්ල වීමට ඉඩකඩ පැවැතීමය. ඒ අනුව මෙරටින් පිටතට ගලා යන විදෙස් විනිමයවල වැඩි වීමක් ද සිදු විය හැකියි. එය යම් අහිතකර තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකියි. ඒ නිසා වාහන ආනයනයේදී ඉතාමත් සුපරීක්ෂාකාරීව ක්‍රියා කිරීමට රජය වග බලාගත යුතුය. විශේෂයෙන් ඉහළ බදු අනුපාතිකයක් පවත්වා ගෙන යමින් ආර්ථිකය තුළ විදෙස් විනිමය කළමනාකරණය කළ හැකි ආකාරයට මෙවැනි තීන්දු තීරණ ගැනීම වැදගත් වෙයි. එසේ නොමැති වුවහොත් රටින් පිටතට විශාල ලෙස විදෙස් විනිමය ගලා ගියහොත් එය සමහර විට මධ්‍යම බැංකුවට දැරීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ ඇත.

එසේම රඳවා තබා ගැනීමේ බද්ද වැඩි කිරීම මත 5%ක මට්ටමින් තිබුණත් පසුගිය රජය සමයේ පැවැති ආකාරයට ලක්ෂයක ආදායමකට අඩුවෙන් පොලියක් ලබන්නකු වුවත් මේ බද්ද ගෙවිය යුතු වුවත් මේ නව ක්‍රමවේදය යටතේ ආදායම ඔප්පු කිරීම මඟින් එම අය කර ගැනීම් නතර කර ගැනීමට හැකියාව ලබා දී ඇත. බැංකුව රුපියල් 50,000ක මුදලක් තිබුණත් පෙර පැවැති ආකාරයට රඳවා ගැනීමේ බද්ද යටතේ කුඩා මුදලක් පවා බද්දකට යටත් විය. එය නැවත අය කර ගැනීමට හැකි බවට න්‍යායාත්මක පසුබිමක් තිබුණත් එය ප්‍රායෝගිකව සිදු වූයේ නැත. ඒ නිසා වෘත්තිකයන් විශාල ලෙස අපහසුතාවට පත් විය.

නව සංශෝධනය අනුව පෙර පැවැති 5%ක මුදල 10%ක දක්වා වැඩි කර ඇත. එහෙත් පැහැදිලි කළ යුතු කරුණක් නම් මෙහිදී රජය පාර්ශ්වයෙන් සඳහන් කරන්නේ කිසියම් වෘත්තිකයන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 150,000ට අඩු නම් ඔහුට හෝ ඇයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකි බවය. ඒ අනුව යම් සහනයක් ලබා ගත හැකිය.

ප්‍රායෝගික ගැටලු

මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී යම් අපහසුතා රැසක් ඇති විය හැකිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රමාණයට සේවා සැපැයීමේ ධාරිතාව ප්‍රමාණවත් ද යන්න එක් ගැටලුවකි. එසේ නම් මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් රජය පාර්ශ්වයෙන් ක්‍රියාත්මක කළ යුතුය. එසේ නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් යම් ආකාරයක නිලධාරීන් දැනුම්වත් කර පුද්ගලයන්ගේ ආදායම මට්ටම් පිළිබඳ ප්‍රායෝගිකව රජයේ එවැනි ආයතනයක් දැනුම්වත් කිරීම තුළ බැංකු විසින් 150,000කට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයන්ට මෙම සහනය ලබා ගැනීමට හැකි වෙයි. මෙවැනි වැඩසටහනක් රජයට සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වෙයි. කිසියම් පුද්ගලයකුට දෙකොටි විසිපන් ලක්ෂයක් පමණ තැන්පතුවක් වේ නම් එහිදී ඒ අයගේ බදු අය කිරීම ගැටලුවක් නැත. නමුත් අඩු තැන්පතු ඇති අයට ඇතිවන ගැටලු ප්‍රායෝගික විසඳුම් ඔස්සේ අවම කර ගැනීමට විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කළහොත් ඒ තුළින් වෘත්තිකයන් වැනි පිරිසට බලපෑමක් එල්ල නොවේ. ඒ සඳහා රජය ක්‍රියා කළ යුතුය. විශාල පොලී ආදායම් උපයන ලංකාවේ විවිධ ආයතන සහ පුද්ගලයන් වෙයි.

බොහෝ විට වෘත්තිකයෝ ද තම ආදායම් බැංකුවල තැන්පත් කර පොලී උපයනු ලබයි. විශාල තැන්පතු ඇති අයගෙන් 10% අය කර ගනු ලැබුවත් එය කිසිදු ගැටලුවක් නොවන අතර ඒ පිරිස රටේ බදු ආදායමට දායක විය යුතුය.

එහෙත් සාමාන්‍ය පුද්ගලයන් විඳින පීඩාව අවම කර ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඒ තුළින් ගෙන ඒමට හැකියාව ලැබේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් බැංකු ස්ථාවර තැන්පතුවලින් ජීවත් වෙන පිරිසක් වේ. එයින් යැපෙන පිරිසට 25% වැනි පොලී අනුපාතයක් පසුගිය කාලයේදී ලැබුණු බැවින් ඔවුන්ට සැලකිය යුතු ආදායමක් ලැබිණි.

අද වන විට පොලී අනුපාතිකය 8%ක් දක්වා අඩු වී ඇත. උදාහරණ ලෙස ගත් විට පසුගිය කාලයේ ලෙස රුපියල් 20000ක් ලැබුණ පුද්ගලයෙකුට රුපියල් 6500ක් දක්වා පොලිය අඩු වී ඇත. එවැනි තත්ත්වයක් මත එය නැවත 5% දක්වා අඩු වීම නිසා ඒ අයට බියට පත් වී ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වගකීමක්

මේ බැංකු පොලියට යම් බද්දක් ගෙවීමට සිදු වීම අසාධාරණයක් ලෙස ඔවුන් සලකනු ලබයි. මෙය යම් නොදැනුම්වත් වීමක් නිසා ඇතිවූ බියකි. ඇත්ත වශයෙන් ම මේ යෝජනාවල සාර්ථකත්වය රඳා පවතින්නේ මේ බදු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ජනතාව දැනුම්වත් කිරීම තුළිනි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී අඩු පොලී ආදායමක් ලබන රුපියල් 150000ට වඩා අඩු පිරිසට තමන්ගේ අාදායම කුමක්ද යන්න පැහැදිලි කිරීමෙන් අනතුරුව ආදායම පිළිබඳ නිවැරදි සහතිකයක් ලබාගෙන බැංකුවට ගොස් එය තහවුරු කරමින් තම ආදායම අඩු නොකරන ලෙස ඉල්ලීමක් කළහොත් එය කිසිදු ගැටලුවක් නොවේ. එහෙත් ඇතැමුන්ට වෙනත් අාදායම් තිබිය හැකිය. වැදගත් වන්නේ මුළු ආදායම කොතරම් ලැබෙන්නේ ද යන්න නිවැරදි තක්සේරු කිරීමට රජය වගබලා ගැනීමය. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීම වැදගත් වෙයි. මේ බදු සංශෝධනය තුළ රජය සඳහන් කර ඇත්තේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා මෙය සිදු කළ යුතු බවය. ඒ ආකාරයේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් සිදු කිරීමට මිනිස් බලය එම ආයතනවලට ඇති ද යන්න ගැටලුවකි.

ඇත්ත වශයෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ තුළ කරුණු කිහිපයක් පැහැදිලි වෙයි. ඒක් අංශයකින් වෘත්තිකයන්ට යම් සහනයක් සැලසීම සඳහා ක්‍රියා කිරීම තුළින් අහිමි වන ආදායම විවිධ විකල්ප ක්‍රියාමාර්ග යටතේ නැවත අය කර ගැනීමට ක්‍රියා කිරීම, මේ වැඩපිළිවෙළට සාපේක්ෂව රජය ගමන් කළ යුතු තවත් සාධනීය මාවත් තිබෙයි. මේ රටේ බදු දැලට හසු නොවූ බදු ගෙවීම පැහැර හැරි පිරිසක් වෙයි. ඒ අය බදු දැලට ආකර්ෂණය කිරීමට ක්‍රියාවලියක් සකස් කිරීම ඉතා වැදගත් ක්‍රියාමාර්ගයකි. පෙර පැවැති රජයන් බදු මුදල් අයථා ලෙස භාවිත කිරීම පිළිබඳ නිරන්තර කථිකාවන් රට තුළ ගොඩනැඟූහ.

මේ රජය එවැනි දෙයක් සිදු නොකරන බවට ජනතාවට තහවුරු කිරීම තුළ කිසිසේත් ම බදු ගෙවීම පැහැර නොහරිනු ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඔවුන්ගේ ආදායම් වියදම් නිවැරැදිව පෙන්නුම් කර තමන් ගෙවිය යුතු බදු ප්‍රමාණය ගෙවීමට ඔවුන් කටයුතු කළ යුතුය. මේ රටේ පුරවැසියන්ගේ වගකීම ආදායමට අනුව බදු ගෙවීමයි. එහි වැදගත්කම පැහැදිලි කිරීම රජය විසින් කළ යුතු අතර රජය සපයන සේවා කාර්යක්ෂම කිරීම තුළ ජනතාව ස්ව කැමැත්තෙන් බදු ගෙවීමට කටයුතු කරන බවට කිසිදු සැකයක් නැත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division