Home » ඉන්දියාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් අගමැති ආචාර්ය මන්මෝහන් සිං සමුගනී

ඉන්දියාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් අගමැති ආචාර්ය මන්මෝහන් සිං සමුගනී

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

න්දීය ජනතාවට මෙන්ම සමස්ත ලෝකයටම අමිල සේවයක් ඉටු කළ ඉන්දීය ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සැලසුම්කරු වූ ඉන්දීය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං පසුගිය බ්‍රහස්පතින්දා දිල්ලි රෝහලක දී මියගොස් ඇත. එතුමා මියයන විට 92 වැනි වියේ පසු වී ඇත.

කිසිදු විවාදයකින් තොරව පැවසෙන්නේ ආචාර්ය මන්මෝහන් සිං මහතා ඉන්දියාවේ සාර්ථකම නායකයන් අතර ඉදිරියෙන්ම සිටි අයකු ලෙසයි. ඉතා මෘදු පිළිවෙතක් හා මෘදු කතා විලාසයකින් හෙබි මෙතුමා පිළිබඳ ඉන්දීය වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, අගමැති ආචාර්ය මන්මෝහන් සිං මානව දයාව පිරුණු මහත් වූ ඥානාන්ත්විතභාවයක් ප්‍රදර්ශනය කළ වටිනාම නායකයෙක් ලෙසයි. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයකු වූ මන්මෝහන් සිං 1991දී ඉන්දියාවට විවෘත ආර්ථිකය හඳුන්වා දීමට පෙරමුණ ගත්තේය.

ඉන්දීය දේශපාලනයේ ඉහළම තනතුරක් දැරූ ප්‍රථම සික් ජාතික නායකයා ලෙස විරුදාවලි ලබන්නේ ද අගමැති ආචාර්ය මන්මෝහන් සිං ය. ඉන්දියාවේ 2004-2014 කාල පරාසයේ දී ධුර කාල 2කින් හෙබිව අගමැති ධුරය දැරූ සිං මහතා ඉන්දීය මූල්‍ය අමාත්‍ය ධුරය ද ඉතාම සාර්ථකව හොබවනු ලැබීය. මිලියන ගණනක ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ඉන්දියාව පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළම ආර්ථික වර්ධනයකට ගෙන යාමේ ගෞරවය හිමිවන්නේ ද ආචාර්ය මන්මෝහන් සිං අගමැතිතුමාටය. දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ගෞරවාදරයට නිරතුරුවම පාත්‍ර වූ මෙතුමා පිළිබඳ ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ දියණිය හා පුතණුවන් මෙවැනි සටහනක් තබා ඇත. එනම්, “රාහුල් ගාන්ධි පවසා ඇත්තේ, ඉන්දියාවට උසස් මාර්ගෝපදේශකයෙකු මෙන්ම උපදේශකයකු අහිමි වූ බවයි.”

ආචාර්ය මන්මෝහන් සිං මහතා 1932 සැප්තැම්බර් 26 දා උපත ලබා ඇති අතර, ඒ පන්ජාබ් පළාතේ ජලය හා විදුලි පහසුකම් ඉතාම අඩු ග්‍රාමීය ප්‍රදේශයකයි. ඔහු උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් වන අතර, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද ලැබූ අයෙකි.

ආචාර්ය මන්මෝහන් සිංගේ විදේශ ප්‍රතිපත්තිය

සිං ගේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රායෝගික එකක් වූ අතර, ඔහු පකිස්තානය සමඟ එවකට සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට උරදුන් නායකයෙකි. ආචාර්ය මන්මෝහන් සිං අගමැතිගේ ධුර කාලයේ දී ඔහු විසින් සිදු කළා වූ තවත් සුවිශේෂි කර්තව්‍යයක් නම්, චීනය සමඟ වූ දේශසීමා අර්බුදය අවසන් කිරීමට කටයුතු කරමින් අවු. 40කට වඩා වැඩි කාලයක් වසා දමා තිබූ Nathu La Pass නැවත විවෘත කිරීමට මැදිහත්කරුවකු ලෙස සහභාගි වීමයි. එමෙන්ම සිං මහතාගේ ධූර කාලයේ දී ඇෆ්ගනිස්තානයට අවශ්‍ය මූල්‍ය සහාය උපරිම ලෙස පළ කර අතර, අවු 30ක ට ආසන්න කාලයේ දී ඇෆ්ගනිස්තානයේ සංචාරයකට එක් වූ ප්‍රථම ඉන්දීය නායකයා ද විය.

එමෙන්ම ආචාර්ය මන්මෝහන් සිං මහතා අමෙරිකා එක්සත් ජනපදය සමඟ එකතුව කටයුතු කර අ‍ෙමරිකානු න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දියාවට ලබාගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙතුමාගේ අභාවය පිළිබඳ ලෝක නායකයන් ඉතා සංවේගයට පත් වී ඇති අතර, මෙතුමාගේ විදේශ ප්‍රතිපත්තියේ පැවති ප්‍රායෝගික ප්‍රවේශය තුළින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉතා මැනවින් හැසිරවූ ලෝක නායකයෙක් ලෙස විස්තර වී ඇත. එමෙන්ම ඉන්දීය ප්‍රාන්ත නියෝජනයෙන් පැමිණි විවිධ දේශපාලන මතවාද හා දෘෂ්ටීන්වලින් හෙබි පාක්ෂිකයන් ඒකමතිකව සුහදත්වයෙන් එක් අරමුණකට ගෙන රජයක් සාර්ථකව ගෙන යාමට මොහු තුළ පැවති දක්ෂතාව ඉතා අනභිවනීය බව නොරහසකි.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division