රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ, ආර්ථික ස්ථායීකරණය සහ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමඟ කළ කතාබහකි.
– බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපාගැනීමෙන් අසාධාරණයක් වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ
– පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමඟ ඉදිරියට ගමන් කරනවා
ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයට විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්?
ආණ්ඩුව පිහිටුවල මාසයකුත් දවස් ගාණනක් ගතවී තිබෙනවා. අපට ලැබුණු ජනවරමේ වගකීම අනුව මේ රටේ ආර්ථික ස්ථායිකරණය ඇති කරලා ජන ජීවිතය නඟාසිටුවන්න අප බැඳී සිටිනවා. මේ වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් අත්මිදී තිබෙනවා. එය සිදු වූ පමණින් රටේ සියලු ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලැබී ඇතැයි අප පවසන්නේ නැහැ. ඒවාට තිරසර විසඳුම් ලබා දීමට ආර්ථිකය නිශ්චිත ඉලක්කයකට මෙහෙයවීමට අවශ්‍යයි.
පසුගිය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අගාධයෙන් රට ගොඩගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලීම අණ්ඩුවක් ලෙස අපට පැවරී තිබෙන මූලික වගකීමක්. බිඳවට්ටපු ආර්ථිකය එතැනින් ගොඩගන්න නම් විධිමත් ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යයි. අප අත්දැකපු සිද්ධිය වුණේ මේ විදියට ආර්ථිකය බිඳවට්ටපු කණ්ඩායම විසින්ම මේකට ඇති එකම විසඳුම ලෙස 2022 අප්‍රේල් මාසයේදී ඒක පාර්ශ්වීය ලෙස බාහිර ණය සේවා නවතා දැමීමට කටයුතු කළා. ඒ තත්ත්වය හමුවේ එකම විසඳුම ලෙස ඔවුන් යෝජනා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගිවිසුම්ගත වීමයි.
ඒ අනුව වසර හතරක කාලයක් තුළ වාරික 8ක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 3ක පමණ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇතුළත් වී ණය තිරසර විශ්ලේෂණයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ එකී ප්‍රමාද වීම සහ එහි වූ සංකීර්ණ ස්වභාවය නිසා රටට අමතර වියදම් දැරීමට සිදු වුණා වගේම ජනතාව මත අමතර බරක් පැටවුණා.
එසේ වුවත් මේ වන විට රජයේ සමාජ, දේශපාලන හා ආර්ථික ඉදිරි දැක්ම අනුව යමින් පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමඟ ඉදිරියට ගමන් කරමින් තිබෙනවා.
මීළඟ ණය වාරිකය ලබා ගැනීම කවර මට්ටමකද පවතින්නේ?
අදාළ පරාමිතීන් හා රාජ්‍ය ආදායම් ක්‍රමවේදයන්ට අනුකූලව සුදුසු මැදිහත්වීමකින් සහ කාලෝචිත පහසුකම් සැලසීමකින් 2024 නොවැම්බර් 26 වන දින තුන්වන සමාලෝචනයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට රජයට හැකිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට පෙරාතුව EFF හි මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා මේ වන විට රජය අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ගැන යම් පැහැදිලි කිරීමක් කළොත්?
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දේශීය හා බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 ජූලි මාසයේදී සාර්ථකව නිම කර තිබුණා. බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ පදනම් සහ තර්කන මත බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කර තිබෙනවා. ඒ අනුව නිල ද්විපාර්ශ්වික ණය සහ පුද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන්ගෙන් සමන්විත වෙනවා.
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කවර මට්ටමකද පවතින්නේ?
රටවල් 17ක් නියෝජනය කරමින් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතිත්වය දරනු ලබන නිල ණය හිමි කමිටුව (OCC), චීනයේ එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, අනෙකුත් නිල ණය හිමියන් (කුවේටය, සෞදි අරාබිය, ඉරානය සහ පාකිස්තානය) සහ අනෙකුත් වාණිජ ණය හිමියන් සමඟ එක්ව ද්විපාර්ශ්වික ණය සම්බන්ධයෙන් කටයුතු කරනවා.
නිල ණය හිමි කමිටුව විසින් 2024 ජූනි මාසයේදී අදාළ නියමයන් සහ කොන්දේසිවලට එකඟ වූණා. ප්‍රතිචාරවල සංසන්දනාත්මක බව (CoT) සහතික කරමින් 2023 ඔක්තෝ්බර් මාසය වන විට එකඟව තිබූ රාමුව තුළ චයිනා එක්සිම් බැංකුව සමඟ අදාළ ණය ප්‍රතිව්‍යුහගතකර තිබුණා.
දළ වශයෙන් ඩොලර් මිලියන 300 ක් සහ ප්‍රතිව්‍යුහගත කිරීමට යටත්ව මුළු විදේශ ණයවලින් සියයට එකක් පමණ නියෝජනය කරන නිල ණය දෙන්නන් (කුවේටය, සෞදිඅරාබිය, ඉරානය සහ පාකිස්තානය) හැර අනෙකුත් සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් එකඟ වූ රාමුව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් එකඟතාව පළකර තිබෙනවා.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මොනවගේද?
බොහෝ ප්‍රමාද වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වීම්, එකඟ නොවීම්, යෝජනාවල වෙනස් වීම, ණය තිරසර විශ්ලේෂණය (DSA) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුකූලව ගැළපීම ආදිය නිසා සාකච්ඡා අදියරයන් කිහිපයක් ඔස්සේ සිදු වුණා. අවසානයේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 19වැනි දින ප්‍රතිපත්තිමය පදනම මත (AIP) එකඟතාව හිමි වුණා.
පසුගිය සමයේ ගෙවිය යුතුව තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක පොලිය ද ඇතුළත්ව අමෙරිකානු ඩොලර් බිලියන 14.2 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර Ad Hoc Group (AHG) සහ Local banking consortium විසින් නියෝජනය කරනවා.
මේ තත්ත්වය යටතේ අප බලාපොරොත්තු වූ ආකාරයේ මැදිහත් වීමක් කරන්න බැහැ. අවශ්‍ය වන්නේ කඩිනමින් මේ තත්ත්වයෙන් රට මුදාගැනීමයි. එනිසා කාලෝචිත ලෙස මේ ක්‍රියාවන්ට ප්‍රමුඛත්වය ලබාදීම සහ පහසුකම් සැලසීම මඟින් නව රජය ආර්ථික ස්ථාවරත්වය කරා රට යොමු කිරීමට දැඩි දේශපාලන කැපවීමක් කළා.
මූල්‍ය ස්ථායීතාව සඳහා වන මෙම ප්‍රයත්න ශ්‍රේණිගත කිරීමේ ආයතන ඇතුළු තෙවන පාර්ශ්ව විසින් ස්වාධීනව පිළිගෙන තිබෙනවා. එනිසා ශ්‍රේණිගත කිරීම් සටහන් කිහිපයකින් ඉහළ නංවා තිබෙනවා.
අපට මෙය කළ හැකි වූයේ නිවැරදි ප්‍රමුඛතාව සහ නිවැරදි ආර්ථික ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම නිසයි.
ඒ අනුව රජය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන ගියා. මේ නිසා ආර්ථිකය ස්ථාවර කිරීමේ තීරණාත්මක පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බැඳුම්කර හුවමාරු කිරීම සඳහා නව බැඳුම්කර නිකුත් කිරීම 2024 දෙසැම්බර් 20 වැනි දින සාර්ථකව නිම කිරීමට පහසුකම් සලසා දී තිබුණා. මෙය සමෘද්ධිමත් ජාතියකට සහජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට තුඩුදෙන වර්ධන හා සංවර්ධන මාවතක් කරා රට ගමන් කිරීමේ කාර්ය සපල කරගැනීමට ඉවහල් වී තිබෙනවා.
වත්මන් රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවද?
පරාටේ නීති සහනය දීර්ඝ කිරීම කියන කාරණය සලකා බැලුවොත්, හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයාගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මේ සඳහා ලබාදී තිබෙන සහනය මොන වගේද?
ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවෙයි. මහ බැංකුවේ දත්ත අනුව රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් සියයට 99 කට තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබාදී තිබෙනවා. රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහාද මාස 9 ක දිගුවක් ලබාදී තිබෙනවා. ඒ වගේම අනෙකුත් ණය ගැනුම්කරුවන් සඳහා මාස 6 ක දිගුවක් ලබා දී තිබෙනවා. රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය අඩු පොලී අනුපාත ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින් ද සමන්විත වෙනවා. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සක්‍රිය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණයි.
පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ලබා ගැනීමට ලබාදී තිබෙන සහනය මොන වගේද?
සමාජය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල මවුපියන් වෙත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැටවී ඇති බර ලිහිල් කිරීමට ඉදිරි පාසල් වාරය සඳහා අත්‍යවශ්‍ය පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 6,000 බැගින් වෙන් කර දී තිබෙනවා. ඒ අනුව අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙම ප්‍රතිලාභය ඉක්මනින්ම ලබා දීම ආරම්භ කරනවා.
ඒ වගේම දැනට අස්වැසුම නොලබන නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහා ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබා දීමට කටයුතු කරනවා. අපි මෙම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වනවා.
ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන මේ දීමනාව ලැබිය යුතු සියලුම දරුවන් හට එම සහනය සැලසීම සහතික කරමින් ඔවුන්ට මේ ප්‍රතිලාභය ලබා දීමේ වැඩපිළිවෙළ දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ.
ආන්දෝලනයට තුඩුදී තිබෙන සියයට 5 රැඳවුම් බද්ධ සියයට 10 දක්වා වැඩි කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?
150,000 ක මාසික පොලී ආදායමක් ලබන අයට පමණක් වැඩි කළ සියයට 10ක රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපාගන්නා බව සත්‍යක්. බද්දට යටත් නොවන අයගෙන් එම කපා ගත් මුදල නැවත ලබාදෙන යන්ත්‍රණයක් හදන්න කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය පිළිබඳ දැනුම්වත් කරනවා.
බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපාගැනීමෙන් අසාධාරණයක් වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.
රසික කොටුදුරගේ