Home » මේ අය කියන්නේ එකක් කරන්නේ තව එකක්

මේ අය කියන්නේ එකක් කරන්නේ තව එකක්

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් වන “ෆිච් රේටින්ස්” හා “මුඩීස්” ආයතන අපේ රට ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ඉවතට ගෙන තිබීම ආණ්ඩුවට පමණක් නොව, මුළු රටටම සතුටුදායක තත්ත්වයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. මේ ඒ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි.

– මේ ළඟා කරගත් ආර්ථික වර්ධන වේගය ඉදිරියට පවත්වාගෙන යෑමට ආණ්ඩුවට වැඩපිළිවෙළක්, ක්‍රමවේදයක් නෑ
– ඔවුන් කියන දේ මේ රටේ මහ පොළොවේ යථාර්ථය බවට පත්වීමක් පේන්නට නැහැ
– මේ අය මුලින් කී දේවලුයි, දැන් කරන දේවලුයි අතර විශාල පරස්පරයක් තියෙනවා

ශ්‍රී ලංකාව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. එය ඔබ දකින්නේ කෙසේද?

එය මේ ආණ්ඩුවට පමණක් නොවෙයි මුළු රටටම ජනතාවට සතුටු විය හැකි තත්ත්වයක්. එහෙත් මේ දේ සිදු වුණොත් මේ ආණ්ඩුවේ හපන්කමකින් ම විතරක් නොවෙයි. එකට පසුගිය ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ බලපෑවා.

ඇයි ඔබ එසේ කියන්නේ?

මෙහෙමයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බොහෝම පැහැදිලිව කළු සුදු අකුරින් ලියලා කිව්වා; ඔවුන් බලයට ආ සැණින් ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ අවශ්‍යතාව අධ්‍යයනය කරලා ණය තිරසරභාවය පිළිබඳව අධ්‍යයනයක්, විශ්ලේෂණයක් (DSA) කරලා පසුගිය ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ වෙනස් කරනවා කියලා. නමුත් ඒක කරන්න බැරි දෙයක්. ඔවුන් සිතාමතාම තමන් බලයට ආ සැණින් කරන්න බැරි දෙයක් කියලා ජනතාව රැවැට්ටුවා. අද ඔවුන් පසුගිය ආණ්ඩුව එකඟ වූ ණය තිරසරභාවය ඇති කිරීමේ වැඩපිළිවෙළම ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර ක්‍රියාත්මක කරනවා.

මේ නිසා තමයි අපි කියන්නේ එන්.පී.පී. අය ජනතාව නොමඟ යවන්න සිතාමතාම බොරු කියනවා කියලා. ඒ නිසා මේ අලුත් තත්ත්වය ඔවුන්ගේ හපන්කමක් නොවෙයි.

අප රටක් ලෙස ණය පැහැර හරින්නන්ගේ තත්ත්වයෙන් ඉවතට දමා තිබෙනවා. මෙය අපට වාසිදායක තත්ත්වයක් නේද?

ෆිට් රේටින්ස් හා මුඩිස් අප යම් තැනකට උසස් කර තිබෙනවා. එය බොහෝ දුරට C C C + මට්ටමක වර්ගීකරණයක්. නමුත් අපට ජාත්‍යන්තර ණය පහසුකම් ලබා ගන්න මේ වර්ගීකරණය ප්‍රමාණවත් වන්නේ නෑ. අපි BBB තත්ත්වයටවත් උසස් වෙන්න ඕනෑ. ඒ නිසයි අප කියන්නේ මේ උසස් කිරීමෙන් පමණක් අපට තවත් අලුතින් ජාත්‍යන්තරව ණය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කියලා.

මේ ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අභියෝග මොනවාද?

අපි රටක් ලෙස වසර ගණනාවක් කාර්තු රාශියක් ආර්ථික වර්ධනයක් අත්කර ගත්තේ නෑ. නමුත් මේ 2024 තුන්වැනි කාර්තුවේ 5.5% ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගත්තා. දැන් ගැටලුව තිබෙන්නේ මේ ළඟා කරගත් ආර්ථික වර්ධන වේගය ඉදිරියට පවත්වාගෙන යෑමට ආණ්ඩුවට වැඩපිළිවෙළක්, ක්‍රමවේදයක් නැති එකයි. ඔවුන්ට නව ආයෝජන ගෙන ආ හැකි බවට විශ්වාසයක් නෑ. වසර 2027, 2028 ප්‍රශ්න උග්‍ර වෙනවා. ආර්ථික කළමනාකරණයේ ප්‍රශ්න මතු වෙනවා. මේවාට නිසි ඇගැයීමක් වත්මන් ආණ්ඩුවට නෑ.

ශ්‍රී ලංකාව ණය පැහැර හරින්නන්ගේ ලේඛනයෙන් ඉවත්වීමට බලපෑ හේතු මොනවාද?

ඒවා ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඊට පසුගිය ආණ්ඩුව සිදු කළ දේවල්, පාර්ලිමේන්තුවේ සම්මත කළ අණපනත් සහ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ගත් ක්‍රියාමාර්ග මුල් වුණා. ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටී ඇති විටෙක ආයෝජකයෝ එන්න මැළිකමක් දක්වනවා. රටක ආර්ථිකය බංකොලොත්භාවයට පත්වුණොත් එය රජයකට පමණක් නොවෙයි, පෞද්ගලික අංශයටත් දැඩිව බලපානවා.

අපේ රටේ මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල මේ වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා නේද?

එය අපේ රටේ ආනයන – අපනයන දියුණුවීම තුළ හෝ වෙනත් විනිමය අනුපාත ශක්තිමත් වීමේ ක්‍රියාමාර්ග මත සිදුවීමක් නොවෙයි. එය සිදු වන්නේ තිරසර ලෙස නොවන බවයි අපගේ හැඟීම. අපි බලමු. අද වන විට ඩොලරය ආයේ ඉහළ නැඟලා.

වගා හානිවලට ආණ්ඩුව ලබාදෙන වන්දි මුදල් වැඩි කරලා. එය ඔබ සුබවාදීව දකින්නේ නැද්ද?

මේ JVP, NPP ආණ්ඩුව මෙයට වසර 5, 6 කට පෙර වගා හානිවලට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් දෙන්න ඕනෑ කිව්වා. රු. 40,000/= ක් මදි කිව්වා. නමුත්, අද දෙන්නේ ඒ දවස්වල දීපු මිලමයි. වෙනසක් නෑ. මේ අය මුලින් කී දේවලුයි, දැන් කරන දේවලුයි අතර විශාල පරස්පරයක් තියෙනවා.

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළටම ඒම ඔබ දකින්නේ කෙසේද?

මෙතැනදී සිදුවී තිබෙන්නේ අපේ රටේ ණය පැහැර හැරීමෙන් ඉවතට ඒමයි. අප ෆිච් රේටින්ස් වලින් CCC + මට්ටමට ඉහළ දමා තිබෙනවා. නමුත් එය අපට තවමත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළින් ණය ලබා ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැති බවයි මම කියන්නේ.

එවැනි තැනකට ඒමට තව කුමක් සිදුකළ යුතුද?

අප රටක් ලෙස අපේ ශ්‍රේණිගත කිරීම් BBB+ මට්ටමටවත් ඉහළ දමා ගත යුතුයි. ඒ සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඔවුන් මැතිවරණයට පෙර ප්‍රතික්ෂේප කළා. අද සිදුවී තිබෙන්නේ කරන්නේ නෑ කිව් දෙයක් කරන්නයි.

එය පැහැදිලි කළ හැකිද?

මම උදාහරණයක් ගෙනහැරම කියන්නම්. මේ ආණ්ඩුව රටේ බලයට ඒමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන රටේ ණය තිරසරභාවය පිළිබඳව විශ්ලේෂණය (DSA) එක සම්බන්ධයෙන් කරනවා කිව්වා. එහෙම කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කළ වැඩපිළිවෙළට විකල්පයක් දෙනවා කිව්වා. අද ඒක වෙලා නැහැ. අද සිදුවී තිබෙන්නේ ගිය ආණ්ඩුව කළ ණය තිරසරභාවය පිළිබඳව විශ්ලේෂණය ක්‍රියාත්මක කිරීමයි. ඒකයි අප කියන්නේ මේ අය කියන්නේ එකක් කරන්නේ තව එකක්.

වසර 2027 දී මේ ආණ්ඩුවට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා විදේශීය මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න අමාරුයි ද?

මට පේන විදිහට නම් ඒක ඔවුන්ට අමාරුයි නොවෙයි බැරි වෙනවා. මොකද ඔවුන් 2027 වන විට ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕනෑ. ඔවුන්ට ඒ සඳහා සැලැස්මක් නැහැ. නව විදේශීය ආයෝජකයෝ රටට එන්නේ නැහැ. ඔවුන් දන්නවා JVP, NPP ආණ්ඩුව රටේ මහජනතාවට එකක් කියලා, බොරු කියලා ඔවුන් රවට්ටලා තියෙන්නේ කියලා. ඒ බව අද ආයෝජකයෝ නොකියා කියනවා.

මේ රටේ ආර්ථිකය යළි පීල්ලට දමා ක්‍රමිකව වර්ධනයක් කරා රැගෙන යන බව ආණ්ඩුව කියනවා. ඔබ එය පිළිගන්නේ නැද්ද?

අපි කොහොමද ඒක පිළිගන්නේ? දැනටමත් මේ අය කරන්නේ පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළේ ඉස්පිල්ලක්, පාපිල්ලක් වෙනස් නොකර ඒකම කිරීමයි. එවැනි දෙයකින් රටේ ආර්ථිකය වර්ධනය කරන්න බැහැ.

මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනයක් දක්නට ලැබෙනවා.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලයෙන් කාලයට උච්චාවචනය වෙනවා. ඉන් රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය දකින්න බැහැ. විදේශීය මිලදී ගැනීම් සිදුවෙන්න ඕනෑ.

රටේ නිෂ්පාදන ආර්ථිකයට මුලපුරන බව ආණ්ඩුව කියනවා. ඒ ගැන ඔබේ අදහස?

ඔවුන් කියන දේ මේ රටේ මහ පොළොවේ යථාර්ථය බවට පත්වීමක් පේන්නට නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සලසන වැඩපිළිවෙළේ පවා දුර්වලතා රාශියක් තියෙනවා. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය හෝ මෙහෙයවීම මේ ආණ්ඩුවට සිදු කරන්නට බැරිවී තිබෙනවා.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division