දේශපාලනයේ උණුසුම නත්තලත් සමඟ මේ වනවිට තරමක් සිසිල් වී ඇත. 2025 ජනවාරි හත් වැනි දා නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීමත් සමඟම දේශපාලන ක්ෂේත්‍ර යළිත් උණුසුම් වනු ඇත.
ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට ප්‍රසාදය
අභියෝග රැසක් මධ්‍යයේ වර්තමාන ආණ්ඩුව ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ ආර්ථික විශේෂඥයන් කිහිපදෙනෙකුගේම යම් ඇගැයීමකට ලක් වූ අතර ආර්ථික ස්ථායිකරණ වැඩසටහන සහ ආණ්ඩුව විසින් ජනතාවට දෙනු ලබන ආර්ථික පැකේජය ගැන පසුගියදා ඉදිරිපත් කෙරුණු කරුණු දෙසට බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.
ආර්ථික ස්ථායිකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූහ.
ප්‍රියාට ජනපති ඇතුළු බොහෝ දෙනෙකුගෙන් අවසන් ගෞරව
අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයන් රැසක්ම පැමිණ තිබීම විශේෂත්වයකි.
ප්‍රියා සූරියසේන ගායනවේදියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බොහෝ දෙනකු කියා සිටියේ ප්‍රියා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ යුගයක් හැඩ කළ ගායකයකු වන බවයි.
නත්තල් නිවාඩුවට ඇමැතිවරුන් රට ගිහින් නෑ
සීතල නත්තල් නිවාඩු කාලයට මීට පෙර හිටපු ආණ්ඩුවල සමහර මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පමණක් නොව ඇතැම් විට ඔවුන් සමඟ පවුලේ ඥාතීන් ද විදෙස්ගත වීම සාමාන්‍ය දෙයක් වී තිබුණි.
මෙවර නත්තල් නිවාඩුවට විදෙස්ගත වී සිටින අමාත්‍යවරුන් කවුරුන් ද යන්න ගැන සොයා බැලීමක් සිදු කළ අතර දැනගැනීමට ලැබුණේ කිසිදු අමාත්‍යවරයකු එසේ නිවාඩුවකට විදෙස්ගත වී නොමැති බවයි.
විමල් – චතුරංග හමුවක්
ඇතැම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ දිනවල සිටින්නේ විවේකයෙනි. උදය ගම්මන්පිල සේම විමල් වීරවංශ ද දැන් මන්ත්රීකම් නොමැති වීම නිසා විවේකයෙනි. ඒ අතර විමල් පසුගිය සතියේ දිනක තම මිත්‍රයකුගේ ආරාධනාවකට අනුව පිළියන්දල කැස්බෑව ප්‍රදේශයේ එක්තරා රෙදිපිළි වෙෙළඳ ශාලාවක් විවෘත කිරීමට සහභාගි වන්නට ගියේය.
උදේ පාන්දර ගොඩනැඟිල්ල විවෘත කරන්නට ආරාධිත අමුත්තෝ ගොඩනැඟිල්ල ඉදිරිපිට පාරේ නැකත එනතුරු බලා සිටියහ. මහින්ද ජනාධිපති කාලයේ ඔහුගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයා වන කුමාරසිරි හෙට්ටිගේ ද එතනට පැමිණියේය.
මේ ඉන්නේ අපේ හොඳ යාළුවෙක් කෝ ඇමතිවරු එනවා කිව්ව නේද… ඇවිත් නැද්දැයි අසමින් ඔහු ආවේ විමල් ළඟටය.
කෑ ගහන්න එපා ඔය ඉන්නේ එහා පැත්තේ යැයි විමල් කී විට අඳුනන තවත් බොහෝ මුහුණු හෙට්ටිගේ දැක ගත්තේය. කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ විමල් ළඟට ගියේය. එතනම එහායින් ලක්ෂ්මන් නිපුණආරච්චිය. මේ ඉන්නේ අපේ හොඳ පරණ යාළුවෙක් කියමින් හෙට්ටිගේ ඔහු සමඟත් කතා කළේය. මීට ටිකක් එහායින් තවත් හඳුනන මුහුණකි; ඒ සනත් ජයසූරියයි. ඒ අතර සුබ නැකතින් ව්‍යාපාරික ස්ථානයේ පීත්ත පටිය කපා විවෘත කළේ ඇමති චතුරංග, විමල් ඇතුළු කිහිපදෙනෙක්ම එකට එක්වූහ.
විවෘත කළ තුන්මහල් සාප්පු සංකීර්ණයේ ඇවිද ගිය අමුත්තෝ යළි තේ පැන් සංග්‍රහයේදී එකට හමු වූහ. විමල්, චතුරංග, නිපුණාරච්චි එකට සිටියත් වැඩි කතාබහක් නැත. හෙට්ටිගේ මේ තිදෙනා කතා කරවන්ට කොතරම් උත්සාහ කළත් විමල් හා වචනයක් දෙකක් කතා කළේ චතුරංග පමණි. මොකද මේ වෛරක්කාරයෝ වගේ නේ.. කියා හෙට්ටිගේ විහිළු කළත් ලක්ෂ්මන් නිපුනාරච්චි කීවේ පෞද්ගලික තරහක් නම් නෑ කියාය.
අන්න කථානායකකමට නම් පුරප්පාඩුවක් හැදිලා බැරිද ඒක ඉල්ල ගන්න හෙට්ටිගේ නිපුනාරච්චිගෙන් ඇසුවේය.
අපෝ එපා, ඒවා කරදර. අපට ඊට වඩා කරන්න පක්ෂය වෙනුවෙන් වගකීම් තියෙනවා. කියමින් නිපුණාරච්චි නිහඬ විය. ඔහු වැඩි වෙලා හිටියේ නැත. ඉතා ඉක්මනින් යන්නට යද්දී පමණක් විමල් දෙස බලා යන්නම් යැයි කියා හීනියට අත වනා ගියේය. චතුරංග නම් ටික වේලාවක් විමල් හා කතාබස් කරමින් සිටියේය.
මේ හෙට්ටිආරච්චි හරි උත්සාහවන්තයෙක්. මම මිනිහට ගාමන්ට් පටන් ගන්න කර්මාන්ත ඇමති කාලේ උදව් කළා. එයාට ගාමන්ට් කීපයක් තියෙනවා. ඒ වගේම කෙළෙහිගුණයත් තියෙනවා විමල් කීවේය.
සුනිල් වටගල නියෝජ්‍ය ඇමති හොරෙක් අල්ලයි
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල විසින් පසුගියදා අපූරු හෙළිදරව්වක් සිදුකරන ලදී.
ඔහු වැඩ භාරගත් දිනයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔහු කැටුව ගිය පුද්ගලයකු සියලු දෙනාට නියෝජ්‍ය අමාත්‍යවරයා හඳුන්වා දී හොඳ තේ පැන් සංග්‍රහයක් ද සූදානම් කර තිබුණි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඔහුව ඔහු විසින් හඳුන්වා දී ඇත්තේ තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු බවයි. නමුත් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා සිතා ඇත්තේ මෙම පුද්ගලයා අමාත්‍යංශයේ නිලධාරියකු වන බවයි.
මෙම උත්සවයෙන් අනතුරුව අදාළ පුද්ගලයා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම භාවිත කරමින් පාස්පෝට් 17ක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.
මෙම පුද්ගලයා ගැන සැක සිතුණු ජාතික ජන බලවේගය වහාම ක්‍රියාත්මක වී මොහු ගැන සොයා බැලීමේදී මොහු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම භාවිත කරමින් නීති විරෝධී වැඩ සිදුකරන බවට තොරතුරු හෙළි විය.
වහාම මෙම පුද්ගලයාගේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියා කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.
ඉම්තියාස් සජිත්ට යැවූ ලිපිය
සමගි ජන බලවේගය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ දෙක පරාජය වීමෙන් පසු සජබ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් සජබ නායක සජිත් ප්‍රේමදාසට කරුණු දහතුනකින් සමන්විත ලිපියක් යවා ඇත. පක්ෂය පරාජයට හේතු සොයා බලා පක්ෂ ප්‍රතිසංවිධානයට ස්වාධීන කමිටුවක් පත්කරන ලෙස ඉම්තියාස් මෙම ලිපියෙන් ඉල්ලා තිබේ. නමුත් මේ වනතුරුත් එම ලිපියට සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.
ඊට හේතුව ලෙස සජබ ආරංචි මාර්ග පවසන්නේ ඉම්තියාස් මේ හදන්නේ එයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ගැනීමට බව සජිත් සිතා සිටින බවයි. එබඳු පසුබිමක ඊයේ පෙරේදා දිනක සජිත් ඉම්තියාස්ට දුරකතන ඇමතුමක් ගෙන තිබේ. එහිදීද ඉම්තියාස් කමිටුවේ කාරණය සජිත්ට මතක් කර තිබේ. එහිදී සජිත් ඉම්තියාස්ට කියා ඇත්තේ එවැනි කමිටුවක් හදනවා නම් එම කමිටුවට ලකීවත් (ලක්ෂ්මන් ෆොන්සේකා) ද ගන්නා ලෙසයි. එයට ප්‍රතිචාර ලෙස ඉම්තියාස් පවසා ඇත්තේ එයා දාන්නවත්, මම ඉන්නවත් අවශ්‍ය නෑ , පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කළමනාකරණ මණ්ඩලය වැනි කමිටු හා සාකච්ඡා කරලා තීරණයක් අරගෙන ස්වාධීන කමිටුවක් දාමු. මේකට මම අවශ්‍යයත් නෑ. මොකද මම පක්ෂයේ සභාපති නිසා.
කෙසේ වෙතත් ඊට සජිත්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති තැන ඉම්තියාස් නැවතත් සජිත්ට මෙම කාරණය ගැන සිහි කැඳවමින් ලිපියක් යවා ඇත. එහි පිටපත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර, භාණ්ඩාගාරික හර්ෂද සිල්වා, ජාතික සංවිධායක තිස්ස අත්තනායකට ද ඉම්තියාස් විසින් යොමු කර තිබේ. නමුත් මේ වනතුරුත් සජිත්ගෙන් ඊට ප්‍රතිචාරයක් ලැබී නැත. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඉම්තියාස් විසින් ඉල්ලා සිටින මෙම ප්රතිසංවිධාන වැඩපිළිවෙළ සිදු නොවුණහොත් බොහෝ දුරට ඔහු සජබ සභාපති ධුරයෙන් ඉවත් වීමට ඉඩ ඇති බවයි.
මහින්ද වගකීම් බෙදයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඉකුත්දා රැස්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. නාමල් රාජපක්ෂ, ඩීවී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ද පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු ප්‍රබලයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ තරම් ඉක්මනට මේ තරම් අප්‍රසාදයට පත්වුණු ආණ්ඩුවක් තවත් නෑ. කෝ රටේ ප්‍රශ්න එහෙම්මනේ හාල් නෑ, ලූනු නෑ, ලුණුත් රටින් ගෙන්වන්න වෙලා. මම හිතුවේ නෑ මේ අය මෙච්චරම දුර්වලයි කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතාබහ ආරම්භ කළේ එසේය.
අපට පක්ෂය ප්‍රතිසංවිධානය කරගන්න මේ හරහා හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ කීවේය.
අපි මුලින්ම ගමට යන්න ඕනෑ. ඒ වැඩේ ජොනී භාරගන්න… හිටපු ජනාධිපතිවරයා කීවේය. වෘත්තීය සමිති ටික හදන වැඩේ තිස්ස කුට්ටිආරච්චි, වීරසිංහ මල්ලී භාරගන්න… ඒ මන්ත්‍රී නාමල්ගෙන් යෝජනාවකි.
බැසිල් ඇමතිතුමා නැති නිසා පක්ෂයේ අරමුදල් සම්බන්ධ වගකීම ඉන්දික අනුරුද්ධ බාරගන්න. පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේය.
සංජීව මීඩියා එක හැන්ඩ්ල් කරන්න කොහොමත් ඉන්නවානේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න දෙස බලමිනි.
මහින්දගේ යෝජනාවට විරෝධය
සාකච්ඡාව වෙනතකට රැගෙන ගියේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මහින්ද පතිරණය. පක්ෂය හොඳට ශක්තිමත් කරගන්න ඕනෑ, අපිව දාලා ගිය අය ගෙන්න ගන්න වැඩපිළිවෙළක් හදමු ඔහු කීවේය. මහින්ද පතිරණගේ යෝජනාවට මතු වූයේ තදබල විරෝධයකි. විරෝධය එල්ල වූයේ නගර සභා මහ නගර සභා නියෝජනය කළ නියෝජිතයන්ගෙනි.
ඒ අය පක්ෂය දාලා ගිය වෙලාවෙ පක්ෂය ආරක්ෂා කර ගත්තේ අපි. ඒ අය ආපහු ආවොත් අපට මොකද වෙන්නේ? ඔවුහු ප්‍රශ්න කළහ. හරි අපි මේ ප්රශ්නය පස්සේ බලමු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේය.
රනිල් ඉන්දියාවට ගිය හේතුව වජිරගෙන් එළියට
රනිල් ඉන්දියාවට ගියේ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ගැන වැඩ ගොන්නක් රුවන්, වජිර ඇතුළු පක්ෂයේ නිලධාරීන්ට පවරා දෙමිනි. ලොක්කා ඇත්තටම ඉන්දියාවට ගියේ කුමකටදැයි ප්‍රබල පාක්ෂිකයන් කිහිප දෙනකුම වජිරට දුරකතන ඇමතුම් දී විමසා තිබුණේ රහසක් තිබේ නම් එය ටක්කෙටම දන්නේ වජිර බව දන්නා නිසාවෙනි.
” ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා. ලොක්කා ඔය ගියේ වජ්පායි සමරු දේශනයටනේ. ඉන්දියාවෙ හිටපු අගමැති වජ්පායි ලොක්කගෙ හොඳ යාළුවෙක්. ගිය අවුරුද්දේ සමරු දේශනයට ආරාධනා කරලා තිබුණත් අත්‍යවශ්‍ය වැඩකටයුතු නිසා යන්න බැරි වුණා. මේ සැරේ පොඩි විවේකයක් ලැබුණ නිසා ගියා. ඉස්සරහට ලොක්කා ආපහු කාර්යබහුල වෙන්න නියමිතයි නේ. ඊට කලින් ටිකක් විවේකයක්ගත කරන්නත් එක්ක තමයි ගියේ” වජිරගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.
දෙමසක් ඇතුළත රනිල් ඉන්දියාවට ගිය දෙවැනි වතාව මෙයයි. අනුර කුමාර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර මුලින් ඉන්දියාවට ගිය රනිල් සතියකට වැඩි කාලයක් එහි රැඳී සිටියේය.
දැන් දෙවැනි වතාවට ඔහු ඉන්දියාවට ගියේ ජනපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් පසුවයි. ඉකුත් 22දා ඉන්දියාවට ගිය රනිල් නැවත පැමිණීමට නියමිතව ඇත්තේ ජනවාරි දෙවැනිදාය. රනිල්ගේ වැඩ කිඩ ගැන දන්නා සමීපතමයන්ට මේ ළඟ ළඟ ඉන්දීය සංචාරය ගැන යම් කුකුසක් ඇතිවීම සාධාරණය.
බැටන් එක ගන්න අලියා රෙඩි වෙයි
” මිනිස්සු මාලිමාවට “බැටන් එක” දුන්න තමයි. ඇත්තෙන්ම අපටත් ඕන රට හැදෙනව දකින්න. එහෙම නැතුව කකුලෙන් අදින්නවත් “බැටන් එක” උදුරා ගන්නවත් නෙමෙයි. හැබැයි යම් මොහොතක බැටන් එක බිම වැටෙන තරමට හති වැටෙනවා දැක්කොත් ඒක අරගෙන රට ඉදිරියට අරගෙන යන්න හැකි බැටෑලියන් එක අපි දැන් තියාම හදා ගන්න ඕන” නියෝජ්‍ය නායක රුවන් පැවසූයේ පක්ෂ ප්රතිසංවිධාන වෙනුවෙන් වූ කමිටුව රැස්වූ අවස්ථාවේදීය.
“ඒ කතාව හරි, අපට ඒ ගැන පූර්ව අත්දැකීමකුත් තියෙන නිසා. මුලින්ම කරන්න ඕන මේ එකම කඳවුරේ බෙදීම අතහැර දාලා එකතු වෙන එක. සජබෙ ඇතුළේ අති බහුතර මන්ත්‍රී පිරිසකගේ අවශ්‍යතාවත් එකතු වෙලා ශක්තිමත්ව ඉදිරියට යන එක” වජිර පැවසූයේ රුවන්ගේ කතාවට ඌන පූරණයක් එකතු කරමිනි.
මෙම සාකච්ඡා සඳහා සාගල, රාජිත,වැඩ බලන මහලේකම් කිෂාන් තියඩෝර් ද සහභාගි වූහ.
එක්සත් ජාතික පක්ෂයේ කාන්තා -තරුණ ඇතුළු අනුබද්ධ සංවිධාන ශක්තිමත් කරමින් ඉදිරි කටයුතු මෙහෙයවීමට විශේෂ කමිටුවක් ස්ථාපිත කළ යුතු බව එජාප නායකයන්ගේ ඒකමතික තීරණය විය. අදාළ සංවිධානවල නායකයන් අභියෝග භාර ගනිමින් කටයුතු ඉදිරියට ගෙනයන හැටි සමීපව නිරීක්ෂණය කර නායකයාට වාර්තා කිරීම ඒ කමිටුවේ මූලික වගකීමයි.
” මේක හුසේන් බෝල්ට් ගෙන් බැටන් එක අරගෙන නිවාසාන්තර තරගයක්වත් දිනලා ඇති කෙනෙක්ට දීපු රටක්. කොයි වෙලාවේ පිටිය ලෑස්ති වෙයිද දන්නේ නෑ මේ යන විදියට. අපි ක්‍රීඩකයෝ ටික සූදානම් කරගන්න ඕන” සභාපති වජිර නායක පිරිසට පැවසූයේ උපදේශාත්මක ස්වරයකිනි.
පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා විශේෂ අරමුදලක් පිහිටවිය යුතු බවට ද නායක හමුවේදී තීරණය විය. නායක රනිල් නැවත ඉන්දියාවේ සිට පැමිණි විට ඊට අරමුදල් සොයා ගන්නා ආකාරය ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට ද මෙහිදී තීරණය විය.
” රටට ප්‍රබල දක්ෂිණාංශික කඳවුරක් අවශ්‍ය බව නායකතුමාගේත් අදහසයි. මේ අදහස ගැන විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන්න ඕන” අවසානයේ පිරිස විසිර ගියේ රනිල් නැවත ලංකාවට පැමිණි විට පුළුල් සාකච්ඡාවක් පවත්වා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටයි.
2025ට වජිරගෙන් ඉඟියක්
රනිල්ගේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද අනු දැනුම ඇතිව ප්‍රධාන පනත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේය. දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත, මැතිවරණ වියදම් දෙගුලාසි පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ජාතික ආදායම් පනත එම පනත් පහයි. රටේ ආර්ථිකය සහ පාලන ක්‍රමය ශක්තිමත් මෙන්ම විධිමත් කිරීම මේ පනත් පහේ මූලික අරමුණයි.
” මේ පනත් පහෙන් එකක් හරි කැඩුවොත් රට වැටෙන එක ස්ථිරයි. දැනටමත් ඒක අඩු වැඩි වශයෙන් සිදුවෙමින් තියෙන්නේ. එම පනත් පහ මුද්‍රණය කොට ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් එජාප සභාපතිවරයා විසින් අරඹා ඇත්තේ නායක රනිල්ගේ ද උපදෙස් පරිදිය.
මේ අතර වජිර අලුත් අවුරුද්දේ පාක්ෂිකයන්ට යවන්නට ලිපියක් සම්පාදනය කර තිබේ.
” රට වැටෙන හැම විටම ගොඩ ගත්තේ රනිල්. පළවෙනි වතාව 2001, දෙවැනි වතාව 2015, තුන්වැනි වතාව 2022. හොඳට මතක තියාගන්න, 2022 කියන්නේ රනිල් රට ගොඩ ගත්ත අවසන් වතාවත් නෙමෙයි. 2025ත් තීරණාත්මකයි. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න නව එක්සත් ජාතික පක්ෂයක් නිර්මාණය කළ යුතුයි. 2025 වසර ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාට යහපතත් වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
එජාප සභාපතිවරයා පාක්ෂිකයන්ට යැවූ ලිපිය අවසන් කර තිබූයේ එසේය.
විදෙස් සංචාරකයන් වැඩිකර ගැනීමට විජිතගෙන් වැඩසටහන් රැසක්
මෙම වසරේ දී ලක්ෂ 20කට වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
මෙරටට වසරක් තුළ විදෙස් සංචාරකයන් මිලියන දෙකක් පැමිණියේ වසර පහකට පසු වීම විශේෂත්වයකි.
2025 වසරේ සංචාරක කර්මාන්තය තවදුරටත් පුළුල් කර මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් වැඩිකර ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ දැඩි අවධානයක් මේ වන විට යොමු වී තිබේ.
ඒ සඳහා දැනට පවතින සංචාරක ගමනාන්තවල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, දැනට හඳුනාගෙන තිබෙන නව සංචාරක ගමනාන්ත තවත් ආකර්ෂණීය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් විජිත හේරත් අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඇතුළු ආයතනවල අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙයි.
විපක්ෂය බාල්දියක් පෙරළීමට සූදානමින්
මේ අතර එළැඹෙන ජනවාරි හත්වැනිදායින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ දී විපක්ෂය මේ ආචාර්ය හර්ෂණ නායනායක්කාර සිද්ධිය සම්බන්ධයෙන් අලුත් කාරණාවක් මතු කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතු වූ විට සම්ප්රදාය වන්නේ මුලින්ම කථානායකවරයාට පැමිණිලි කිරීමයි. පසුව කථානායකවරයා විසින් ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සමඟ ද සාකච්ඡා කර තීන්දුවක් දෙනු ලැබේ. තවත් විටෙක කාරණාව සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කරනු ලැබේ. පසුව පරීක්ෂණයක් අරඹා වාර්තා සකස් කර ඕනෑ තරම් සිදුවීම්වලට දඬුවම් කර ඇත.
විපක්ෂය මීට හොඳම උදාහරණයක් ලෙස දක්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන විසින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට වතුර බෝතලයකින් පහරදීමේ සිද්ධියයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කරමින් සිටියදී සරණ ගුණවර්ධන විසින් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාට වතුර බෝතලයකින් පහරදීමේ සිද්ධිය එවකට මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් විය. මේ අවස්ථාවේදී කථානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂය. චමල් රාජපක්ෂ විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කර පරීක්ෂණ පවත්වා අවසානයේදී සරණ ගුණවර්ධනගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීය.
පාර්ලිමේන්තු සම්ප්රදාය පිළිබඳ මෙවැනි ඉතිහාසයක් ඇති පසුබිමක අධිකරණ අමාත්‍යවරයා විසින් ආචාර්ය හර්ෂණ නානායක්කාර සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි පාර්ලිමේන්තුවට පහළින් ඇති ආයතනයකට භාර දුන්නේ ඇයි දැයි ප්‍රශ්න කිරීමට විපක්ෂය සූදානමින් සිටී. ව්‍යවස්ථාදායකයේ කටයුත්තක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර මතයක් විමසුවා නම් වෙනම එකක්. නමුත් ව්‍යවස්ථාදායකයට පහළින් ඇති ආයතනයකට ගොස් පැමිණිලි කිරීම බරපතළ තත්ත්වයක් බව මෙහිදී විපක්ෂය විසින් තර්ක කිරීමට නියමිතය.