උදේ හවස එන යන මඟ පිහිටි ඒ පාසල දැන් නිකම්ම නිකම් ගොඩනැඟිල්ලක් පමණි. නමුදු අදින් වසර ගණනාවකට පෙර ඒ මා ඉගෙන ගත් පාසලයි. පාසලේ එක් පැත්තක එකල තිබූ ළමා නිවාසය අද ද එහි ඇත. අද ද එහි දරුවෝ හිඳිති.
කොහෙන් ආවා දැයි නොදන්නා දරුවෝ එදත් අදත් එහි රැකවරණය ලබති. පන්තියේ එක දෙක ශ්‍රේණිවල ඉගෙන ගනිද්දි මගේ හොඳම යෙහෙළිය වූයේ ළමා නිවාසයේ සිටි දැරියකි. අපට වඩා වයසින් වැඩි අය මෙන්ම මට වඩා බාල දැරියන් ද එහි සිටියහ. ඔවුන් අපට කිසි දිනක අමුත්තන් නොවූහ. මගේ තාත්තාත් අම්මාත් මට මෙන්ම ළමා නිවාසයේ දැරියන්නට ද සෙනෙහස පෑහ.
“ඔයාගේ අම්මා හරි හොඳයි“
“ඔයාගේ තාත්තත් හරි හොඳයි“ කිසිදින අම්මා තාත්තා දැක නැති මේ යෙහෙළියෝ මගෙ අම්මාටත් තත්තාටත් ආදරය කරන්න වූහ.
“පොඩි හිත් රිදවන්න එපා“. වෙසක් මාසයට මා ගෙදර ගෙනෙන වෙසක් පත් තැපැල් කරන්නට යැයි කියා තාත්තාට දුන් විට තාත්තා අම්මාට එසේ කියන්නේය. ඒ වෙසක් පත් මගේ නොව නිවාසයේ දැරියන් තමන්ගේ ගෙවල්වලට යවන්නට ලියූ ඒවාය.
මගේ යෙහෙළියට එහෙම වෙසක් පතක් යවන්නට තමන්ට කියා කිසිවෙක් නැත. නමුදු ඇයත් මට වෙසක් පතක් ගෙනැත් දෙයි.
“තාත්තට කියන්න මේකත් දාන්න කියලා.“
“එඩ්රස් එක ලියලා නෑනේ?“
මා එසේ කියන විට ඇගේ දුක්මුසු බැල්ම මට තවමත් මතකය. වසර ගණනක් ගෙවී ගිය ද තවමත් ඒ මලානික බැල්ම මට සිහිවේ. දැන් ඇය කොහේ හිඳිනවා දැයි කියන්නට නොදනී. නමුදු ඇය ඇගේ මව හිතින් මවාගෙන ජීවත් වූ ඒ දවස් මට තවමත් ඉඳහිට මතක් වේ.
“මගෙ අම්මගෙ කොණ්ඩය දිග ද දන්නේ නෑ නේද? “
“අම්මලා හරි ලස්සනයිනේ“
ඇය විවිධ දේ කියයි. ඒ බාල වියේ ඇය අම්මා හිතින් මවා ගන්නට ගත් උත්සාහය අද ද මට සිහි වේ. මෙවැනි අත්දැකීම් බොහෝය. අම්මා හා බැඳුණ අතීතය සුන්දරය. අද අම්මා අප සමඟ නැත. නමුදු ඇය සමඟ ගෙවූ දවස් සුන්දරය. අම්මාගේ සෙනෙහස මට දැනෙන අයුරුත් මගෙ යෙහෙළියට දැනුණ අයුරුත් විවිධය. ඒ යටගියාව මට යළි සිහි වූයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හාමුදුරුන්වහන්සේ ගේ මේ ගී පද සමඟය.
“අපෙ අම්මා මං මඟදා ගියාට
මං නං නෑ තරහා අම්මේ
නිවන් දකිනතුරු මේ සංසාරේ
අපි අපි හමුවෙනවලු අම්මේ…“
මේ ගීපද වලට අත්දැකීම වූයේ කුමක්දැයි විමසූ විට පාතේගම ඤාණිස්සර හිමි වදාරන ලද්දේ මෙවැන්නකි.
“මේ ගීතයට අත්දැකීම වූණේ මම දන්න දරුවෙකුගේ කතාවක්. ඇය ඇගේ මව කවුද කියලා දන්නේ නෑ. ඒ දියණිය කිසිම දිනෙක මවකගේ සෙනෙහස විඳ නැහැ. ඒත් ඒ දුව කැමැති නැහැ තමන්ගෙ මවට දොස් කියන්න. ඇය මට ඒ බව කිව්වා. ඉන් පස්සේ තමයි මම මේ පද පෙළ ලිව්වේ. තමන්ව මේ සමාජයේ දාලා ගිය ඒ අම්මාව සංසාරයේ කොතැනක හෝ හමුවේවා කියන පැතුම මේ දියණියගේ හිතේ තියෙනවා. ඒ නොදන්න අම්මාට ඇය ආදරය කරනවා. ඇය කිසිම විටෙක වෛර කරන්නේ නැහැ. මෙන්න මේ අත්දැකීමත් මුල් කරගෙන මවුවරුන්ගේ සෙනෙහස විඳින්න වරම් නැතිව මේ සමාජයේ සිටින දුවලා පුතාලා ගැන හිතලා තමයි මම මේ පද ටික ලිව්වේ. මේ ගීතය ගයන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රමෝදි මදනායක දියණිය. ගී පද සංගීතවත් කරන්නේ ප්‍රවීණ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති. මේ හැමෝගෙම දායකත්වය මේ ගීතයට ලැබුණා. ප්‍රමෝදි දියණියගේ කටහඬ මේ පදවලට හරි අපූරුවට ගැළපුණා.
අපෙ අම්මා මං මඟදා ගියාට
මං නං නෑ තරහා අම්මේ
නිවන් දකිනතුරු මේ සංසාරේ
අපි අපි හමුවෙනවලු අම්මේ…
අරුම පුදුම සංසාර දනව්වේ
උරුම කරුම අපි අරගෙන එන්නේ
පතාගෙන ආව විදිහටමලු නේ
සංසාරේ ඇවිදන් යන්නේ…
රුවින් හා සුවඳින් අපෙ අම්මා
හඬින් වත් නැති අඳුනන්නේ
පතාගෙන ආව විදිහටමලු නේ
සංසාරේ ඇවිදන් යන්නේ..
ගායනය – ප්‍රමෝදි මදනායක
පද රචනය – මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
සංගීතය – විශාරද රෝහණ ධර්මකීර්ති