Home » මං ආස පයිලට් කෙනෙක් වෙන්න

මං ආස පයිලට් කෙනෙක් වෙන්න

ලක්ශාන් සිගේරා

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment
කුමුදිකා ඩී සපුතන්ත්‍රී

– මුලින්ම රඟපෑවේ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ
– හැමෝම අතර ජනප්‍රිය වුණේ කීල්ස් ඇඩ් එකෙන්

අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ජීවිතයේ වටිනා හැරවුම් ලක්ෂ්‍ය‍යක් බවට පත් කරගත් ජනප්‍රිය ළමා රංගන ශිල්පියෙක් රසඳුන අපිට මුණ ගැසුණා. කුඩා කාලයේදීම සහජ හැකියාවන් ඉස්මතු කරගනිමින් කලා ලොවේ සාර්ථක ගමනක් යාමට බලාපොරොත්තු වන ඔහු උමේෂ් ලක්ශාන් සිගේරා. 2024 රාජ්‍ය ළමා නාට්‍ය උෙලළේදී “ගෝරිල්ලෝ ඇවිත්” වේදිකා නාට්‍ය රංගනයට ප්‍රතිභා පූර්ණ කුසලතාවය වෙනුවෙන් සහතිකයක් දිනාගත් ඔහු වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයද මේ වන විට ජය ගෙන තිබෙනවා.

ඉතින් කොහොමද පොඩි විජේට ලැබෙන ප්‍රතිචාර එහෙම?

පොඩි විජේට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාසලේ යාළුවොත් මට කතා කරන්නේ පොඩි විජේ කියලා. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු නිසා මං ගෙදරට වෙලා සෙල්ලම් කරනවා. ඒ වගේම අම්මා වගේ ටෙලි නාට්‍ය රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.

ඔබ වැඩිපුරම එක්වී තිබෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට නේද?

වෙළඳ දැන්වීම් හරහා තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. පික් මී, සුදන්ත, සිංගර්, කීල්ස්, එක්ස්ට්‍රා ටොෆි වැනි ජනප්‍රිය සන්නාම රැසකට සම්බන්ධ වුණා. ඒ පිළිබඳ මා විමසූ පැනයට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්. මම සම්බන්ධ වුණු පළවෙනි වෙළඳ දැන්වීම පික් මී ඇඩ් එක. මාව හැමෝම අතර ජනප්‍රිය වුණේ කීල්ස් ඇඩ් එකෙන්.

උමේෂ් ඉගෙන ගන්නේ කී වෙනි ශ්‍රේණියෙද, පාසලේ නම මොකක්ද?

මං ඉගෙන ගන්නේ මහරගම හයිලන්ඩ් කොලේජ් එකේ හත් වෙනි ශ්‍රේණියේ.

විද්‍යාව, ඉංග්‍රීසි කියන විෂයයන්වලට මං ගොඩක් ආසයි. ඒ වගේම ෆුට් බෝල් සෙල්ලම් කරන්නත් ගොඩක් කැමතියි. මං පාසලේදී වෙස්ටන් මියුසික් ඉගෙන ගන්නවා. පියානෝ එක වාදනය කරන්න පුළුවන්. වෙස්ටන් ඩාන්සින් කරන්නත් පුළුවන්. ගුරුවරු,, යාළුවෝ හැමෝම හරි සතුටුයි මගේ රඟපෑම ගැන. එයාලා හැමදාම ඒ ටෙලි නාට්‍ය බලනවා කියනවා. මගේ රංගන වැඩවලට ඉස්කෝලෙන් ගොඩක් උදව් කරනවා.

පවුලේ කවුද ඉන්නේ උමේෂ්?

අපේ ගෙදර ඉන්නේ අම්මයි, අප්පච්චියි, අයියයි, මමයි. අම්මා තමා මාව ෂූටිංවලට එක්කගෙන යන්නේ. අප්පච්චි, අයියාගෙනුත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා.

උමේෂ් පළවෙනියට රඟපාපු ටෙලි නාට්‍ය මතකද ?  

ඔව්. ප්‍රභාත් සර් අධ්‍යක්ෂණය කරපු කෝපි කඩේ ටෙලි නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. මේ වෙනකොට ටෙලි නාට්‍ය තුනකට මං සම්බන්ධ වෙලා තියෙනවා. කෝපි කඩේ, දෑස මත මොහොතක්, අම්මා වගේ. ඒ වගේම චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. චිත්‍රපටයේ නම සඳලි කියලා. ඒ චිත්‍රපටය ළඟදී තිරගත වෙනවා. එකේ මම ප්‍රධාන චරිතයකට රඟපාන්නේ.

ඔයා වැඩිපුරම ආස මොන චරිතයටද?

මං ගොඩක් ආසයි අම්මා වගේ නාට්‍යයේ පොඩි විජේගේ චරිතයට. මං කැමතියි මට අන්ධ ළමයෙක්ගෙ චරිතයක් කරන්න ලැබෙනවා නම්.

අම්මා වගේ ටෙලි නාට්‍යයේ මං කරන්නේ ද්විත්ව චරිත නිරූපණයක්. එක් චරිතයක් වයසට වඩා මුහුකුරා ගිය කතා විලාසයක් තියෙන වත්තේ ළමයෙක්ගේ චරිතයක්.

වත්තේ ළමයගේ චරිතයේ විදියට කතා කරන්න හුරු වෙන එක, ඒ හැසිරෙන විදිය එහෙම මුල් දවස්වල මට ඒක කරන්න ටිකක් අමාරු වුණා. කතාව ලීව්වේ තනූජාවි විජේ වික්‍රම මිස්. මිස් මට ගොඩක් උදව් කළා ඒ චරිතය හරියට හදාගන්න. තනූජාවි මිස් මගේ ඩ්‍රාමා උගන්නන ගුරුතුමී. ඒ වගේම දුලන්, නිලන් කියන නිවුන් චරිත දෙකටම ඩබල් ඇක්ටින් කරන්න ලැබුණු එක මට ලොකු අවස්ථාවක්. ඒ වැඩේ මං පුළුවන් උපරිම හොඳින් කරනවා.

රූගත කිරීම්වලදී ඔයා එක්ක රඟපාන අනෙක් ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු.

ඒ නැන්දලා මාමලා ගොඩක් උදව් කරනවා, දෙබස් මතක තියාගන්න ක්‍රම කියලා දෙනවා. චරිතයට ගැළපෙන විදියට අපේ මූඩ් එක හදා ගන්න ඕන කොහොමද, දෙබස් කොහොමද හරියට කියන්නේ කියලා එයාලා මට කියලා දෙනවා.

ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

මම ආසයි පයිලට් කෙනෙක් වෙන්න. ඒ වගේම රඟපෑමත් දිගටම කරන්න ආසයි.

ස්තූති කරන්නත් පිරිසක් උමේෂ්ට ඉන්නවා ඇති නේද?

මගේ ඩ්‍රාමා උගන්නන මිස් තනුජාවි විජේවික්‍රම, ප්‍රභාත් දුෂ්‍යන්ත සර්, ශානි තරංගනී අබේරත්න නැන්දා, සඳලි ෆිල්ම් එකේ අධ්‍යක්ෂ සුමිත් ගල්හේන සර්, යොහාන් සමරසේකර, ගයාන් මහගලගේ, වාසල බණ්ඩාර, ධම්මික අලුත්ගෙදර මාමලාවත් ආදරෙන් මතක් කරනවා. නම් වශයෙන් නොකිය වුණු මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division