අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගෙන පීඩාවෙන් නින්දට යන ප්‍රේක්ෂකයන්ට සිකුරු ඇවිත් කියන්නේ ඔළුවට ලොකු බරක් නැතිව නින්දට යන්න හොඳ අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ
-අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස
කොටින්ම කියනව නම් මේක මඟුල් පැටලැවිල්ලක්
මෙතෙක් කාලයක් රාත්‍රී 7.30ට රූපවාහිනී තිරය ඉදිරියේ වාඩිවුණු ප්‍රේක්ෂකයා හවස 6.55 වන විට කැඳවා ගන්නට සමත් වූ අපූරු ටෙලි නිර්මාණයක් මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වේ. ‘සිකුරු ඇවිත්’ නමේම කුමක් හෝ අමුත්තක් ඇතැයි සිතුණු නිසාම අපි ඒ ගැන සොයා බලන්නට සිතුවෙමු. පසුගිය කාලය පුරාවට ග්‍රාමීය පරිසරවල රූගත කිරීම්වලට සහභාගි වුණු අපට නාගරික පසුතලයක අත්දැකීමක් ලබාගැනීමේ අරමුණෙන් අපි මහරගම ටෙලි පසුතලය සොයා ගියෙමු.
මහරගම ගුරු විද්‍යාලය පසුකර මහරගම දෙසට යමින් සිටියදී අභිෂේක මණ්ඩපය දුටු අප වාහනය නැවත කොළඹ දෙසට හරවා ගත්තෙමු. බ්ලූම් සිලෝන් ආයතනය පිහිටා තිබුණේ අභිෂේක මණ්ඩපය පසුකරනවාත් සමඟිනි. එය ද අභිෂේක මණ්ඩපයේ හිමිකරු වන රුවන් විධානගේට අයත් ආයතනයක් බව අප හා පැවසුවේ සහාය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩුය.
බැලූ බැල්මට ඇඳුම් ෂොප් එකක් යැයි සිතෙන්නට වූයේ ඇඳුම් අන්දා තිබූ ඩමීස් කිහිපයක් නෙත ගැටීම නිසාය. අපි ඒ ගැන විමසීමක් කළෙමු. මෙය සිකුරු ඇවිත් ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය වන සදෙව්ගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ඔෆිස් එක බව දැනගන්නට ලැබිණි. කොට්ටාව, මහරගම, පිළියන්දල, බොරලැස්ගමුව වැනි කොළඹ ආසන්නයේ ප්‍රදේශ කිහිපයේ මෙන්ම බොල්ගොඩ ප්‍රදේශයේ ද මෙය රූගත කෙරෙන බව දැනගන්නට ලැබිණි.
අප බ්ලූම් සිලෝන් ආයතනය අසලින් වාහනයෙන් බසිනවාත් සමඟම “හොයාගන්න අමාරු වුණාදැයි?“ අසමින් අප පිළිගත්තේ අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස සහ සහාය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩුය. නිල්මිණී තෙන්නකෝන්, අංජලී ජයසිංහ, හිමේන් ජයසේකර ඇතුළු පිරිසක් මෙම පසුතලයේ රූගත කිරීම්වල යෙදෙන බව අප හා පැවසුවේ ප්‍රදීප්ය. අප බ්ලූම් සිලෝන් ආයතනයට ඇතුළු වනවිටත් නිල්මිණී තෙන්නකෝන් (ඛේමා) පසෙකට වී ස්ක්‍රිප්ට් එක කියවමින් සිටියද සුහද සිනහවකින් අප වෙත සංග්‍රහ කිරීමට අමතක නොකළාය.
අංජලීගේ මුහුණුවර ඇති කාන්තාවක් දුටු අපි අංජලී ගැන විමසීමක් කළෙමු. “අංජලී නම් පොඩ්ඩක් එළියට ගියා“ යැයි ඇගෙන් පිළිතුරු ලැබිණි. ඇය අංජලීගේ මව බව පසුව දැනගන්නට ලැබිණි.
මෙහි සහාය අධ්‍යක්ෂවරයා මෙන්ම සිසිරගේ භූමිකාවට පණ පොවන්නේද ප්‍රදීප් මානවඩුය. ඔහු මේ වනවිටත් නිර්මාණ දෙසීයකට පමණ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වී තිබීමත් විශේෂත්වයකි. සහාය අධ්‍යක්ෂ භූමිකාව යනු නිර්මාණයක සියලු වගකීම් සහිත භූමිකාවකි. ඒ සමඟින් රංගන දායකත්වය ලබාදෙනවා කියන්නේම අභියෝගයකි. සිකුරු ඇවිත් බුද්ධික සේමසිංහගේ තිරපිටපතකි. එහි කතා තේමාවෙහි අපූර්වත්වය ගැන ඔහු අප හා පවසද්දී බුද්ධිකගේ හැකියාව අගය නොකරම බැරිය.
“කොටින්ම කියනව නම් මේක මඟුල් පැටලැවිල්ලක්. ගෙවල් දෙකක තරුණියන් දෙන්නෙක් බලන්න එන තරුණයින් දෙන්නා සූදානම් කරගන්නේ එක කපු මහත්තයෙක්. කපු මහත්තයා ගෙවල් දෙකට ලොකේෂන් මාරු කරල එවලා මනමාලයොත් මාරු වෙලා. අංජලීව බලන්න එන්න තිබුණේ සචින්ට වුණත් අංජලීව බලන්න එන්නේ සදෙව්. සදෙව් කියන්නේ අනෙක් ගෙදරට කතා කරපු මනමාලයා. පස්සේ සදෙව් ඒ ගෙදරටත් යනවා. පස්සේ එන හරි මනමාලයා සචින් අංජලීට කැමැති වෙනවා. ඒත් අංජලීගෙ හිත කලින් ආව සදෙව් ළඟ නැවතිලා. වැඩේ කියන්නේ සචින් කියන්නේ සදෙව්ගේ බොස්. එතැනදි සදෙව් ආදරය සහ රැකියාව අතරේ ලොකු පටලැවිල්ලක පැටලෙනවා. අනෙක් පැත්තෙන් අංජලීගෙ අම්මා කැමැති වෙන්නේ පස්සෙ ආව සල්ලිකාර සචින්ට. මේ පටලැවිල්ල තාමත් ලිහාගන්න බැරුවයි ඉන්නේ.“ ප්‍රදීප් කතාව නිමකරමින් ඊළඟ දර්ශනය සඳහා සූදානම් වන්නට විය.
“නිල්මිණි අක්කා ඔයා රෙඩි වෙන්න“ යැයි කියූ ප්‍රදීප් “ඊළඟ සීන් එක තියෙන්නේ ඉස්සරහ පාරේ ඔයාලත් එන්න“ යැයි අපටත් කියමින්ම පාර දෙසට ගියේය. ජායාරූප ශිල්පී දුෂ්මන්ත මෙන්ම වීඩියෝ ශිල්පී චේනක ද ඔහු පසුපස යමින් සියල්ල කාචයට හසුකර ගැනීමට යුහුසුලු විය.
මහරගම කොළඹ ප්‍රධාන පාර අයිනේ සිදුවන ටෙලි රූගත කිරීමකි. එතැන පසුකර යන්නන් එය අපූරු අත්දැකීමක් ලෙසින් විඳගනු අපි දුටුවෙමු.
‘කැමරා රෙඩී‘ කියමින් එහේ මෙහේ දුවන අධ්‍යක්ෂවරයාගෙන් “ඔයා තව ටිකක් ඈත ඉඳන් ඇවිදන් එන්න“ යැයි නිල්මිණීට උපදෙසකි. ඩිලීෂ සහ ප්‍රදීප් දැන් සීන් එකේය. අධ්‍යක්ෂවරයාගෙන් ඔවුන්ට උපදෙස් මාලාවකි. ඩිලීෂ කජු ගොට්ටක් කමින් ප්‍රදීප්ට ද එය දික්කරයි. නිල්මිණී ප්‍රධාන පාරේ වේගයෙන් විත් ඔවුන් සිටින අතුරු පාර දෙසට හැරෙන විටම ඩිලීෂට උපදෙස් ලැබුණේ ඇය නොදකින පරිදි ඉක්මනින් ප්‍රදීප් වෙතින් ඉවත් වීමයි. ඇය එනවිට ඩිලීෂ වහා එතැනින් ඉවත් වුවත් අධ්‍යක්ෂවරයාට එය සෑහුණේ නැත. නැවත දර්ශනය රූගත කෙරිණි.
ඒ අතරේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයාගෙන් තිදෙනාටම දෙබස් සිහිපත් කිරීමකි. මහා මාර්ගයක් අසල රූගත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අපට වැටහුණි. වාහන ශබ්ද මදිවාට තද අවුරශ්මිය ද බාධා කරයි. සමහර අවස්ථාවල ෆෝකස් අවුට් යයි. සියල්ල හමුවේ ඔවුන් ඔවුන්ගේ කාර්ය අත්නොහරියි.
සීන් එක අවසන් වුණු ඇසිල්ලේ අප නිල්මිණී අප හා කතාබහට එක්කර ගත්තෙමු.
“සිකුරු ඇවිත් ටෙලි නිර්මාණයේ මගේ චරිතය ඛේමා. ඇය සල්ලි තියෙන, ටිකක් ආඩම්බර ව්‍යාපාරික කාන්තාවක්. ස්වාමියාත් නැතිව එකම දියණියත් එක්ක ජීවත් වන ඇය ආසාධාරණයට අකැමැති චරිතයක්. සිකුරු ඇවිත් කියන්නේ හරිම ලස්සන නිර්මාණයක්. තිළිණ එක්ක වැඩකිරීම මට අලුත් දෙයක් නෙවෙයි. මීට කලින් අම්මා ටෙලි නිර්මාණයේ වැඩ කරලා තියෙනවා. හැම අම්මා කෙනෙක් වගේම ඛේමත් තමන්ගේ එකම දියණියගේ යහපත ප්‍රාර්ථනා කරනවා. හැම අම්ම කෙනෙක්ම දුවෙක්ව හරිම පරිස්සමෙන් බලාගන්න ඕන කියන පණිවුඩයක් මේ හරහා සමාජගත කරනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සිකුරු ඇවිත් එකේ සදෙව්ගේ චරිතයට පණ පොවන හිමේන්ව ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ මං. ඔහු මේකෙ ප්‍රධාන චරිතය. ඒක මට ලොකු සතුටක්. මගේ හොඳම යාළුවෙක්ගේ පුතෙක්. අද ඔහු හොඳ ගමනක් යනව පේනවා. ඔහු එක්කම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්.
අප නැවතත් බ්ලූම් සිලෝන් වෙත එද්දී අංජලී මෙන්ම හිමේන් ද සෙටිය මත වාඩිවී ඔවුනොවුගේ වැඩවල නිරත වී සිටියේය. අප දුටු සැණින් අංජලී අපව ආදරයෙන් පිළිගත්තාය.
“මගේ කතාවෙ නමත් අංජලී. ඒත් ඒ අංජලී ගොඩක්ම අහිංසකයි. අම්මට තියෙන බය නිසා එයාගෙ හිතේ තියෙන දඟකාරකම එළියට දාන්නෙ නෑ. ඔය අතරෙ තමයි මනමාල පටලැවිල්ල සිද්ධ වෙලා සදෙව්ට හිත යන්නේ. ඒත් අම්ම කැමැති සල්ලිකාර සචින්ට. ඒ ගැටුම් හමුවේ දිවෙන කතාවක්. මේක මගේ පළමුවැනි ප්‍රධාන චරිතය. ඒ නිසා හැම සිදුවීමක්ම මට විශේෂයි.
හිමේන් සදෙව් ලෙසින් ප්‍රධාන චරිතයකින් අපට හමුවන ටෙලි නිර්මාණය ද සිකුරු ඇවිත්ය. වැරදි ප්‍රපෝසල් එකක් හේතුවෙන් තරුණියන් දෙදෙනකුගේ ආදරයට මැදිවන තරුණයෙකි. ඔහු මුලින්ම අපට හමුවන්නේ ළංවී ටෙලි නිර්මාණයෙනි. ගායනයේද දස්කම් පාන හිමේන් සංසාරිණී ටෙලි නිර්මාණයට ගැයූ තේමා ගීතය අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.
මෙවන් ටෙලි නිර්මාණයක් රූගත කරද්දී රසවත් තැන් නැතුවාම නොවේ. මෙහි ඩිලීෂ අංජලීගේ මැෂිමන්ට් ගන්නා අවස්ථාව කාටත් විනෝදජනක විය. අධ්‍යක්ෂවරයා ඔහුට මැෂිමන්ට් ගන්නා අන්දම ප්‍රායෝගිකව කියාදීම සැමගේ මුවට සිනහව එක්කිරීමට සමත් දසුනක් විය. එමෙන්ම නිල්මිණී, අංජලී, ප්‍රදීප් සහ ඩිලීෂ එකිනෙකා හමුවන අවස්ථාව අමතක නොවන්නේ සැබැවින්ම එක හුස්මට බීම වීදුරුව බීමට අවස්ථාව උදාකර ගත්තේ සිසිරගේ භූමිකාවට පණ පොවන සහාය අධ්‍යක්ෂ ප්‍රදීප් නිසාය. රූගත කිරීම් හමුවේ රසවත් හෝරා කිහිපයක් එසේ ගත විය.
මෙතෙක් ටෙලි නිර්මාණවල විකාශන කාලය බොහෝ දුරට රාත්‍රී 7.30 බව අප දැක ඇත්තෙමු. එයට අභියෝග කළ දෙරණ නාළිකාව සිකුරු ඇවිත් ටෙලි නිර්මාණය හවස 6.55ට විකාශය කිරීමට සලස්වා ප්‍රේක්ෂකයා ටෙලිවිෂනය ඉදිරියේ රඳවා තබා ගන්නට සමත් වී ඇතැයි පවසමින් අප හා එක්වූවේ අධ්‍යක්ෂ තිළිණ බොරලැස්සය.
“සිකුරු ඇවිත් හවස 6.55ට විකාශය වීමත් එක්ක අනෙක් නාළිකාත් හවස 6.00 ඉඳන් ටෙලි නාට්‍ය විකාශය කරන්න පටන් අරන් තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. පොඩි මඟුල් පටලැවිල්ලක් එක්ක යන වෙනස් මාතෘකාවක් නිසා සිකුරු ඇවිත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක්වුණා කිව්වත් හරි. විවිධ ප්‍රශ්නවලින් හෙම්බත්වෙලා ඉන්න ප්‍රේක්ෂක ජනතාවට සැහැල්ලුවෙන් රසවිඳලා හිනාවෙලා ඉන්න පුළුවන් හොඳ මඟක් මේක. අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගෙන පීඩාවෙන් නින්දට යන ප්‍රේක්ෂකයන්ට සිකුරු ඇවිත් කියන්නේ ඔළුවට ලොකු බරක් නැතිව නින්දට යන්න හොඳ අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ.“
සදෙව්ගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කාර්යාලයේ දසුන් රූගත කිරීම අවසන් වීමෙන් අනතුරුව ඔවුන් බොරලැස්ගමුව ලොජ් එක බලා පිටත් වූවෙන් අපි ද නැවත කාර්යාලය බලා පිටත් වූයේ නාගරික පසුතලයක රූගත කිරීමේ අවස්ථාවකට සහභාගි වීමේ වෙහෙසකර බව ද සමඟිනි.
නිල්මිණී තෙන්නකෝන්, අංජලී ජයසිංහ, රොෂාන් පිලපිටිය, අජිත් ලොකුගේ, රොඩ්නි වර්ණකුල, ටෙක්ලා කුමුදුකුමාරි, විල්මන් සිරිමාන්න, හිමේන් ජයසේකර, ජීවන්ති පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන සිකුරු ඇවිත් බුද්ධික සේමසිංහගේ තිර පිටපතකි. තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයකි. ජානක සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. සහාය අධ්‍යක්ෂණය ප්‍රදීප් මානවඩුගෙනි. ඔහු රංගනයෙන් දායක වීම ද විශේෂත්වයකි. සහාය නිෂ්පාදනය නිලන්ත ප්‍රදීප්. කැමරා අධ්‍යක්ෂණය සංජය ගොඩකවෙල සමඟින් නිශාන්ත ගුණතිලක. වේශ නිරූපණ සහාය සංජය නිපුණආරච්චි සමඟින් රංජිත් රතනකාර. කලා අධ්‍යක්ෂණය උදිත ඉසුරංග සහ දිනේෂ් සඳරුවන්. සංස්කරණය ජගත් වීරසිංහ.
ඡායාරූ – දුෂ්මන්ත මායාදුන්න