ආචාර්ය චන්දන වික්‍රමසිංහ කියන්නෙ මෙරට නර්තන කලාවේ අතිශය සුවිශේෂී චරිතයක්. අතිදක්ෂ නර්තන ශිල්පියෙක් ප්‍රවීණ නර්තනවේදියකු වන ආචාර්ය චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය විසින් නිෂ්පාදිත ශ්‍රී ලංකාවේ ඓතිහාසික බව විස්තර කෙරෙන කතා පුවතක් හැටියට The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය වේදිකාවට ගෙන ඒමට මේ දිනවල වෙහෙස මහන්සි වී වැඩ කරනවා. The Noir Queen… Kuweni .මුද්‍රා නාට්‍යය වෙනුවෙන් ආචාර්ය චන්දන වික්‍රමසිංහ සමඟ කළ කෙටි කතාබහයි මේ…
මොකක් ද මේ Noir Queen… Kuweni කියන්නේ
අපේ මුද්‍රා නාට්‍යයේ නම The Noir Queen… Kuweni . ඒ කියන්නේ කළු රැජින කියන එක. කුවේණි ගැන කරන දැවැන්ත වැඩක්. මෙතැන අපි කියන්නේ අපි හැමදාම දැකපු කුවේණි ගැන නෙවෙයි. මම මින් පෙර සීතාට වෙච්චි කරදරය ගැන අපහාසය ගැන සිතාගෙ සිත අවදි කරලා story of seetha නමින් කළා. ඒ වගේ මේ සැරේ මම කරන්නේ කුවේණි වුණු ඛේදවාචකය. කුවේණිව වංචනික ලෙස රැවටීම සහ ඉන් පසු කුවේණි හරහා සිදු වුණු අභාග්‍ය සම්පන්න සිද්ධිය හරහා අපිට ලැබුණු නර්තන කලාව ගැන අලුත් විදියට හිතලා මේක තියර්ටර් ආර්ට් ප්‍රඩක්ෂන් එකක් විදියට යන්නේ. ඒ නිසා මේක මුද්‍රා නාට්‍යයක් වගේම තියර්ටර් ආර්ට් ප්‍රඩක්ෂන් එකක්. රංගනය සහ නර්තනය කියන දෙකම හරි හරියට මුසු වෙලා තියෙන විනාඩි 55ක 60ක සංගීතයට රඟපාන කෝඩි බැලේ එකත් නටන ගමන් රඟපාන ලස්සන මියුසිකල් වැඩක්. මේකේ කපු කටින කුවේණි නැහැ. මේකේ තම්බපන්නියට ගොඩ බැහැපු විජය නැහැ. අපි මෙහිදි
දි පුරාවෘත්තීය විකෘති නොකර නව අර්ථ කතනයක් දීලා තියෙනවා. ලංකාවේ කොහොඹා කංකාරිය ස්ථාපිත වුණු හැටි තමයි මේ මුද්‍රා නාට්‍යයෙන් අපි කරන්නේ. ඒ හරහා ලංකාවේ ඉතිහාසයේ පටන් ගත්තු තැන නැවත මුද්‍රා නාට්‍යයක් විදියට ඇවිත් කොහොඹා කංකාරිය වේදිකා ගත වෙනවා නෙලුම් පොකුණ පරිශ්‍රයේ දී. ඒ විතරක් නෙවෙයි මේ මුද්‍රා නාට්‍යය හරහා තාක්ෂණය උපරිම භාවිත කරනවා.
පුරාවෘත්තයක් කිරීම අභියෝගයක් නෙවෙයි ද?
බොහෝ වෙලාවට කුවේණි කිව්ව ගමන් අපි දන්නේ කපු කටින කුවේණිනේ. මම හැමදාම උඩුගම් බලා ගිය කෙනෙක්. මම රාමායනය කරලා ලෝකය ජයගත්තේ සීතාට වුණු කරදරය ප්‍රසිද්ධියේ කතා කරපු නිසා. ඒ වගේම කුවේණි ගැන කතා කරද්දී උත්පත්තිය ඉඳලම කාලකණ්ණි ගැහැනියක් කියලා කියනවා. ඒ කාලේ පැවති වටපිටාව තුළ කුවේණිගේ මවට ලැබෙන දරුවා රට පාවා දෙන බවට නක්ෂ්සත්‍රරුවන් කියලා තියෙනවා. හැබැයි එයා රැජිනක් වෙනවා. මගේ මුද්‍රා නාට්‍යයේ පළමුවෙන්ම තියෙන්නේ කුවේණි උත්පත්තිය. ඊට පස්සේ මම දෙවැනියට ගන්නේ වරදක් කරලා ගෙදරින් එළියට දාන පිරිමි ළමයෙක් එතැනින් ගොඩ එන්න උත්සහ කරන විදිය. මුහුදේ ගිලා බත් වූ නැවකින් ගොඩට එන විජය හරහා මම දෙන්නේ මොකක් හෝ වරදක් නිසා හෝ කරදරයක් නිසා කෙනෙක් ගොඩ එන්න ක්‍රමයක් බලනවනේ. ඔහුට එතැනදී හමුවෙන්නේ කුවේණි. කුවේණි හරහා ඔහු ඔහුට අවශ්‍ය දේ ඉෂ්ට කර ගන්නවා. ඊළඟට කුවේණි දරුවන් දෙන්නා එක්ක ගෙදරින් එළියට දැම්මට පස්සේ මොන තරම් ඛේදවාචකයක් ද වෙන්නේ. හැබැයි කුවේණිය මියයන්නේ දිවියෙක් තරමටම නපුරු වෙලා. කුවේණි මැරෙනකොට ඇයට ඇති වුණු සිත මම පාවිච්චි කරන්නේ Corp de ballet එකකින්. Corp de ballet එක කියන්නේ ප්‍රධාන නර්තන ශිල්පිනිය තිව්‍ර කරන්න නටන අනෙකුත් නර්තන ශිල්පීන්ට. මෙතැනදී කුවේණිගේ සිත නටනවා. කුවේණිගේ සිත දිවියෙක් තරමට නපුරු වෙලා මැරිලා යනවා. කුවේණිගේ මනෝකායත් එළියට යන්නේ දිවියෙක් විදියට. ඒ මනෝ කාය තමයි වසර ගණනාවකට පස්සේ රජවෙන පඬුවස්දෙව් රජුව රෑට ඇවිත් සිහිනෙන් බය කරන්නේ. දිවි දෝෂය කියන්නේ. එතකොට එයට මෙය නව අර්ථ කතනයක් ගෙන එනවා. එහෙම තමයි පුරාවෘත්තයට හානියක් නොවෙන්න නව අර්ථකථනය මම දෙන්නේ.
අපි මෙහි එන චරිත ගැන කතා කළොත්?
නර්තන හා රංගන ක්ෂේත්‍රයේ හසල දැනුමකින් හෙබි ආචාර්යවරුන් සහ රංගන ශිල්පීන් මෙම නිර්මාණයට දායක වෙලා ඉන්නවා. කුවේණි ලෙස නිරංජනී ශම්මුගරාජා, විජය කුමාරයා රසිදු ලක්ෂාන් , විජය රජු නරේන්ද්‍ර චතුරංග, පඬුවස්දෙව් රජතුමා ආචාර්ය රවිබන්ධු විද්‍යාපති, දිවි යක්ෂණිය ලක්ෂිත නිලන්ත, මලය රජු මහාචාර්ය මුදියන්සේ දිසානායක, කිත්සිරි රජ – රංජිත් ප්‍රියංග, සදනිදු රජ – සාරංග විමුක්ති, රාහු – සුපුන් ලක්තරුෂ, කුවේණි මව රම්බා – කෞශල්‍යා මධුවන්ති, කුවේණි පියා – දුමින්ද දර්ශන, ඉන්දීය කුමරිය වූ භද්දකච්චායනා කුමරිය ලෙස දෙවංගි වික්‍රමසිංහ. මෙතැනදී ලංකාවේ ඉන්න ලෙජන්ඩ්ස්ල වගේම තරුණ දක්ෂ නැට්ටුවෝ එකම වේදිකාවේ නටනවා. ඒ එක්කම මම ආරාධනා කළා ආචාර්ය සාදර සුපැතුම් පිරිස්ට ඔහු කතක් ගුරුවරයෙක්. මොකද මම කතක් නර්තනය හදාරලා නැති නිසා මෙහි එන කතක් නර්තන අංගය හදාගන්න මම ඔහුගේ සහයෝගය ලබා ගත්තා. සංගීත අධ්‍යක්ෂණය – පේශල මනෝජ්, ගීත රචනා කළේ බණ්ඩාර ඇහැළියගොඩ මහතා සහ ප්‍රනීත් අබේසුන්දර සහෝදරයා. ගීත ගායනා කරන්නේ අමන්ද්‍යා උත්පලි, මහේෂා සඳමාලි, එඩ්වඩ් ජයකොඩි, රන්ජිත් ප්‍රියංග, සමන් ලෙනින්, තනුර මධුගීත්. රංගවස්ත්‍රාභරණ නිර්මාණය – නුපති නිලම්බරගෙන්.
අපි මතක් කරමු The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය පැවැත්වෙන දිනය සහ වෙලාව
The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය එළඹෙන වසරේ ජනවාරි 03 වැනිදා සවස 06ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත වෙනවා. ලංකාවේ අලුත් අවුරුද්දේ කරන පළමු ප්‍රසංගය. මේ කාලෙකට පස්සේ බලන්න ලැබෙන මුද්‍රා නාට්‍යයක් නිසා 600කට වැඩි පිරිකට මේ වෙද්දීත් අපි ආරාධනා පත්‍ර යවලා තියෙනවා. ඒ එක්කම ඉතාම සීමිත ප්‍රවේශ පත්‍ර ටිකක් පමණයි අපි අලෙවි කරන්නේ. ඇවිත් රසවිඳින්න කැමති අයට මගේ දුරකතන අංකයට කතා කළොත් ඒ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගන්න පුළුවන්.