සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය පළමු සිනමාපටය -‘ආදරණීය වස්සානය’ මීට විසි වසකට පෙරාතුව රැගෙන එන්නේ තරුණ පෙළේ ඉමහත් ප්‍රතිචාර නොමඳව හිමි කර ගනිමින්. ඊට පාදක වූ නවකතාව ලද පාඨක ප්‍රතිචාර ද ඊට හේතුවූවා. එය නව තුරුණු නවකතා ශානරයක එක් පුරෝගාමී අවස්ථාවක්. නැතහොත් හැරවුම් ලක්ෂ්‍යයක්. එසේම තුරුණු සිත් මෝහනය කරවන මධුර ගී කිහිපයක් ඇතුළත් වීමද එය පෙරට ඒම සහතික කරන සාධකයක් වනවා. අගනගරයේ කුමාර දිවියත්, එබන්දක් පතන පිරිසකුත් සමඟ තුරුණු වියේ චමත්කාරය හා ඉරණම ළගන්නා සුලු අන්දමින් නිරූපිත ‘ආදරණීය වස්සානය’ මතකයෙන් ගිලිහී නොයන සිනමාපටයක් වන්නේ ප්‍රධාන චරිත නිරූපණය කළ රොෂාන් රවීන්ද්‍ර හා චතුරිකා පීරිස් නිසා. ඇතුළු හදට තරමක් පිවිසුණු නිහඬ හා හැඟීම්බර යෞවනයකුගේ චරිතයට රොෂාන් මෙහිදී වටිනාකමක් ලබා දෙන්නේ රූපණය තමාගේ සමත්කම පෙන්විය හැකි හොඳම ආකාරය යන අදහස තීව්‍ර කරමින්. ‘ආදරණිය වස්සානයත් සමඟ රොෂාන් සමකාලීන නාගරික පෙම්වතාට යම් පරමාදර්ශී මුහුණුවරක් සපයා දුන් වග පැහැදිලියි.
රූපවාහිනී වෘත්තාන්ත හා දැඩිව බැඳෙන්නට සිදුවීම ද නිසා ඉනික්බිතිව රොෂාන්ට සිදුවූයේ සිනමා රූපණයේ සමත්කම් වඩවා ගැනීමේ අවස්ථා වෙතින් දුරස් වන්නට. සැබැවින්ම මේ වනවිට ඔහු රූපණයෙන් එක්වූ සිනමාපට සංඛ්‍යාව ඉතා අඩු අගයකුයි පෙන්නුම් කරන්නේ. මේ අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘උප්පලවණ්ණා’, සනත් ගුණතිලකගේ ‘එකමත් එක රටෙක’, වසන්ත මොරගොඩගේ ‘මවුස්’ හා චත්‍ර වීරමන්ගේ ‘ආලෝකෝ උදපාදී ‘ කැපී පෙනෙනවා. රූපවාහිනී රූපණය හා සිනමා රූපණය අතර වෙනස්කම් පිළිබඳ ඔහු වගා කර ගන්නා අවබෝධයේ තරම මේ හැම විටෙකම දත හැකි වූයේ ආයාසයකින් තොරවයි.
රොෂාන්ගේ එක් විශේෂත්වයක් වනුයේ සම්මත තරු ලකුණු සහතික කර ගැනීමට උනන්දු නොවීම. විටෙක ඔහු තරු ගුණය යටපත් කර ගන්නේ විකල්ප රූපණයක ඇති සංකීර්ණ බව හසු කර ගැනීමේ අරමුණු සහිතව. මෙමඟ ඔස්සේ ඔහු තව දුර යායුතු වනවා. ඇවැසි වන්නේ උචිත අවස්ථා කාලානුරූපව සේම අවස්ථාවෝචිතව ද සහතික කර ගැනීමයි.
කෙසේ නමුදු රූපවාහිනී රූපණය සමඟ වන ඔහුගේ ඇයි හොඳයිකම් වැඩිදියුණු වීම ද නිසා සිදුවුයේ සිනමා රූපණය යටපත් වීමක්. රූපවාහිනී රූපණයේදී ඔහු පළ කළ කුසලතා බොහෝ විට විචාරක ඇගැයුමට ලක් වූයේ රසික මනාපය ද සමඟ. සැබැවින්ම රොෂාන් රවීන්ද්‍ර යනු රූපවාහිනී රූපණයේම සමතකුය යන ආකල්පය වැඩෙන්නට ඒ හැටි කාලයක් ගතවූයේ නැහැ.
යළිත් වරක් රොෂාන්ගේ සිනමා රූපණය පිළිබඳ කතාබහක් ඉස්මතු වෙමින් පවතිනවා. ඒ උපාලි ගම්ලත්ගේ පළමු සිනමා නිර්මාණය වන ‘ගුරු ගීතය’ හේතු කොටගෙන. ‘ගුරු ගීතය’ මේ දිනවල තිරගත කෙරෙන්නේ වසර කිහිපයක අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් ලෙස. සිනමාපට නිපැයුම හා තිරගත කිරීම අතර සාධනීය සබඳතාවක් නොමැති වීමේ අනිටු පලයක් ලෙසිනුත් ‘ගුරු ගීතය’ හඳුනා ගන්නට පුළුවන්.
කීර්තිමත් සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව් රුසියානු බසින් ලියා පළ කළ ‘දුයිෂෙන්’ නමැති නවකතාව ‘ගුරු ගීතය’ට පාදක වන්නේ අදාළ පුවත, චරිත හා සිදුවීම් වත්මන් ලෝකයට වුව ගැලපෙන බව තහවුරු කර ගත හැකි නිසා. කෙසේ වුවද සිනමාකරු උපාලි ගම්ලත්’ ගුරු ගීතය’ නිර්මාණය කරන්නේ අයිත්මාතව්ගේ දැක්ම සේම එපුවත නිරූපිත සමය මත ද රැඳෙමින්. මෙනිසා ප්‍රධාන චරිතයට පන දෙන රොෂාන් ඇතුළු පිරිසට යම් අභියෝගයකට මුහුණදෙන්නට සිදුවන බවයි පෙනී යන්නේ. වසර සියයකට පමණ පෙර සෝවියට් දේශය පිහිටවූ මුල්සමයේ දුෂ්කර ගමක දරු දැරියන්ට සිප් සතර හැදෑරීමේ උනන්දුව හා පහසුකම් සැපයූ දුයිෂෙන් කාරුණික, තරුණ ගුරුවරයාගේ චරිතයයි රොෂාන් නිරූපණය කරන්නේ
‘දුයිෂෙන්’ හා එහි සිංහල පරිවර්තනය වූ ‘ගුරු ගීතය’ පරිශීලනයෙන් ආනන්දයක් සේම ප්‍රඥාවක්ද සිරිලක සිනමා රසිකයන් ලබා ගනිම්න් විශ්වාසනීයත්වය නොඅඩුව දිනා ගනිමින්. සිනමාපටයේ එන ඇතැම් පසුබෑම් වළක්වා ගන්නට ද රොෂාන් යම් පමණකින් වුව වෑයම් කරන බව පෙනී යනවා. එසේම උපාලි ගම්ලත්ගේ මේ වෙහෙසකර පැතුම යථාර්ථයක් කරලීමේ වගකීමෙන් සැලකිය යුතු කොටසක් දරන්නට ද රොෂාන් සූදානම් වන බව දකින්නට පුළුවන්.
රොෂාන්ගේ සිනමා රූපණය තුළ එන ඒකාකාර නොවන බව මෙතැනදී සිහිපත් වන කාරණයක්. එහෙත් දුයිෂෙන් නමැති සෝවියට් ගුරුවරයා බඳු චරිතයක් එහිලා හඳුනා ගැනීම දුෂ්කරයි. දුයිෂෙන්ලා සුලබ නැහැ. රොෂාන්ගේ රූපණය පවසන්නේ විමසුම් දෙනෙතින් හාත්පත පිරික්සා දුයිෂෙන්ලා සිටි දැයි විපරම කර බලන ලෙසයි. ඇත්තෙන්ම දුයිෂෙන් යනු හුදු චරිතයක් පමණක්ම නොවන බවයි කිව යුත්තේ.එය ලොව ජය ගනු පිණිස සිප් සතර හැදෑරීම හා ඊට මනා අවකාශයක් සලසන පසුබිමක් සකසා ගැනීම පිළිබඳ කරුණු දක්වන පිවිසුමක්ද වනවා.
තුසිත ජයසුන්දර