– තාත්තාගේ ඒ වචන පේළියේ රැඳුණු ආරක්ෂක වළල්ල මේ තරම් දුර එන්න මට රැකවරණය සැලසුවා
– කලාවට එද්දි ඒ ගැන මෙලෝ හසරක් මම දැනගෙන හිටියේ නැහැ
– කලාව නිසා පවුල් ජීවිතයවත්, පවුල් ජීවිතය නිසා කලාවවත් අවුල් කර ගත්තේ නැහැ
මොරින් ඔහාරා කියන්නේ බටහිර රංගන ශිල්පිනියක් වුවත් අපේ රටේ ඉතා ම දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියකට මේ නම උරුම බව ඇතැම් විට බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. බටහිර සිනමාවට බෙහෙවින් ඇලුම් කළ තම පියා සිය ලෙයින් පවුලට එක් වූ කුලුඳුල් දරුවාට ඒ නම තබන්නට දෙවරක් කල්පනා නොකළේ යම් මතු දිනක මේ දියණිය මොරින් ඔහාරා නම් බටහිර රංගනවේදිනීය ලෙසින් දක්ෂ රංගන ශිල්පිනියක් වේ යැයි සිහිනයකුදු නොසිතාය. කොටින් ම පසු කලෙක මේ කුලුඳුල් දියණිය සිංහල සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙද්දී ඔහු ඊට දැඩි ලෙස විරෝධය ද පෑවේය. එහෙත් මොරින් චාරුනීගේ දෛවය වෙනස් කරන්නට මේ ආදරණීය පියාට හැකි වූයේ නැත. සිනමාවට පිවිසීමට දෙපා පෙරටු කරන්නට සැරසෙද්දී ඔහු තම දියණියගෙන් ආදරණීයව විමසා ඇත්තේ මෙපමණකි.
“දුවේ, ජීවිතය අවුල් කර ගන්නේ නැතුව රංග කලාව දිගට ම කරගෙන යන්න ඔයාට පුළුවන් ද…?”
“ඔව්, ඇත්තටම මම කවදාවත් මගේ රංගනය හෝ කලාව හෝ වෙනත් කිසිම දෙයක් නිසා මේ දක්වා මගේ ජීවිතය අවුල් කරගෙන නැහැ. මම ඉපදුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වදාකඩ ග්‍රාමයේ ඇඹලවත්ත කියන පුංචි ගම්මානයේ. ගැමි සුන්දරත්වය වගේම ගැමි ජන ජීවිතය මම පුංචි කාලේ හොඳටම අත්වින්දා. ඒ ගම තවමත් ග්‍රාමීයයි, දුෂ්කරයි. මගේ මල්ලි මට වඩා අවුරුද්දක් වගේ පරතරයක් නිසා මාව පුංචි කාලේ වැඩිපුර බලා ගත්තේ කිරි අම්මා. මගේ පුංචිලාත් මාව බලා ගත්තා. මම වැඩි කාලයක් එයාලාගේ ආදරය ලබමින් සතුටින් ජීවත් වුණා. මම පවුලේ වැඩිමලා. මගේ මල්ලි ජානක පවුලේ දෙවැනියා. අපි දෙන්නාට බාල නංගිලා දෙන්නා මාලා සහ මීනා. අපි හරිම එකමුතුයි. ගෑනු ළමයි තුන්දෙනාව බාලිකා පාසලකට යවන්න ඕනේ කියලා තාත්තා ටික කාලෙකින් වෙන්නප්පුවට පදිංචියට ආවා. තාත්තාගේ ගම වෙන්නප්පුවයි. මමයි නංගිලා දෙන්නයි කටුනේරිය බාලිකා විද්‍යාලයට ඇතුළත් කළා. මම වෙන්නප්පුව බාලිකා විද්‍යාලයේත් ඉගෙන ගත්තා. මගේ මල්ලිට ගමේ යාලුවෝ ගොඩාක් හිටියා. එයාලා එක්ක අපිත් එකතු වෙලා සෙල්ලම් කරනවා. රණ්ඩු වෙනවා. ගහ ගන්නවා. මම වගා කටයුතුවලට ගොඩාක් කැමතියි. මම එලවලු, මල් වගාව හොඳටම කළා. දැන් නම් මට ඒවායේ යෙදෙන්න කාලයක් නැහැ. දැනටත් මගේ එලවලු කොටුව මගේ අම්මා නඩත්තු කරගෙන යනවා. වෙලාවක් ලැබුණු ගමන් මම වෙන්නප්පුවේ අපේ ගමේ මම හදපු එලවලු කොටුවට ගිහින් වැඩ කරනවා. ඒක වෙනමම තෘප්තියක් ජීවිතයට ගෙන එනවා. ජීවත් වෙද්දි නොයෙකුත් ගැටලු, කඩා වැටීම්, බිඳ වැටීම්, අඩාළවීම් වෙලා තියෙනවා. නමුත් කවදාවත් කලාව නිසා ජීවිතය අවුල් කර ගත්තේ නැහැ. ඒ නිසා මුලදි විරුද්ධ වුණු තාත්තා පස්සේ කාලෙක මගේ කලා කටයුතු දැකලා සතුටු වුණා.”
එතකොට විවාහ ජීවිතය, සැමියා, දරුවන් නිසා කලාවට බාධාවක් වුණෙත් නැද්ද…?
මගේ සැමියා ගිහාන් රංජිත් ඉඹුලාන සංචාරක කර්මාන්තයට සම්බන්ධ කෙනෙක් නිසා නිතර ලංකාවේ රැඳුණේ නැහැ. ලංකාවේ හිටියත් ගෙදර ඉන්න එයාට ලොකු වෙලාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපේ එකම දරුවා ඉපදිලා වසර හතරක් යනතුරු ඉඳහිට වැඩවලට සම්බන්ධ වුණත් මම ඒ කාලයේ බොහෝ දුරට කලාවෙන් ඈත් වුණා. දුවගේ කඩඉම් විභාග කාලවලදි මම සම්පූර්ණයෙන්ම කලාවෙන් ඈත් වෙලා දරුවා වෙනුවෙන් කාලය කැප කළා. එ් කැපකිරීම්වල ප්‍රතිඵල දුව උපරිමව නෙළා ගත්තා. දුව කළමනාකරණය, ගිණුම් අංශවලට වැඩි නැඹුරුවක් දක්වමින් ඉදිරියට ඇවිත් ආචාර්ය උපාධියත් ලබා ගෙන මේ දිනවල වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. එයා විවාහ වෙලා සතුටින් ඉන්නවා. දියණියක්, බිරිඳක්, මවක්, ස්ත්‍රියක් හැටියට වගේම කලාකාරිනියක හැටියටත් මම ජීවිතය දිනුවා. ඒ කිසි තැනකදි ජීවිතයවත්, කලාවවත් මම අවුල් කර ගත්තේ නැහැ. මගේ සැමියාත් මගේ තාත්තා වගේම මම කලාවට සම්බන්ධ වෙනවාට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම ජීවිතය අවුල් කර ගන්නේ නැතුව කලාව කලාවක් සහ රැකියාවක් විදිහට බොහොම සීරුමාරුවට පවත්වාගෙන ගිය නිසා එයත් මගේ කාල වැඩවලට ලොකු විරෝදයක් පෑවෙත් නැහැ. ජනප්‍රිය වෙන්න වෙන්න මම උදම් වුණේ නැහැ. කවදාවත් ගෙදරදි බිරිඳ සහ මව මිස මම නිළිය වුණේ නැහැ. ගෘහිණියකගේ කාර්ය සියල්ල මගේ අතින් ම මම ඉටු කළා. මවකගේ යුතුකම් කළා. පවුල් ජීවිතයේදීත් මම කලාව නිසා පවුල් ජීවිතයවත්, පවුල් ජීවිතය නිසා කලාවවත් අවුල් කර ගත්තේ නැහැ. මම අදටත් බොහොම හෙමින් මේ ගමන බොහෝ දුරක් මේ විදිහට නොවැටී ඇවිත් තියෙන්නේ ඒ නිසා යි. හැමෝගේ ම සහාය මට නොඅඩුව ලැබෙනවා. ඒක ලබා ගන්නත් මම දැන ගන්න ඕනේ. බොහෝ අය ජීවිතය වරද්ද ගන්නේ තමන්ගේ ම නොහික්මුණු නොඉවසුම් ගති නිසා යි.”
කලාවට එනවාට විරුද්ධ වෙද්දි තාත්තා ගැන මොනවගේ හැඟීමක් ද ඇති වුණේ…?
මගෙ තාත්තා කොහොමටත් ටිකක් සැර පරුෂ කෙනෙක්. නමුත් තාත්තාගේ ආදරය අපට දැනිලා තිබුණා. මම දන්නවා තාත්තා මට තියෙන ආදරය නිසයි මම කලා ශිල්පිනියක් වෙනවාට ඒ කාලේ විරුද්ධ වුණේ කියලා. ඒ කාලේ තරුණියන් රංගන ක්ෂේත්‍රයට එනවාට සමාජයේ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. තාත්තා මම නිළියක් වෙනවාට විරුද්ධ වුණාට මගේ ජීවිතයේ මට ලොකු නිදහසක් දීලා තිබුණා. තාත්තා ලොකු පෞර්ෂයක් තිබුණු හරිම සාධාරණ ව කටයුතු කළ කෙනෙක්. අපි තාත්තා එක්ක ලොකු කාලෙත් එකට සෙල්ලම් කළා. අපි හැමෝම ගොඩාක් ආදරයෙන්, බැඳීමෙන් සිටියා. මගේ තාත්තා අර්ධ නාගරිකයි. අම්මා ගැමි කාන්තාවක් වුණත් මගේ දක්ෂතා තියෙන පැත්තෙන් මම ඉදිරියට යනවා දකින්න අම්මාට ලොකු උනන්දුවක් තිබුණා. මගේ අම්මා මගේ ජීවිතයේ සෙවණැල්ල වගේ හිටියා. අදටත් ඇය නීරෝගිව තමන්ගේ වැඩ කටයුතු කරගෙන, වගා කටයුතුවලත් යෙදෙමින් සතුටින් ඉන්නවා. පවුල් බැඳීම හරියට ශක්තිමත් ව තියෙනවා නම් අපේ ජීවිත අවුල් වෙන්නේ නැහැ. අපි කොහේ ගියත්, කොතැන සිටියත් අපේ සිත් පවුලත් එක්ක බැඳිලා තියෙනවා නම් වරදින්නේ නැහැ. අනිත් දේ තමයි අහුවෙන අහුවෙන දේවල් අල්ල ගන්න ගියොත් ඒක අවසානය තමයි. අපි එක දෙයක් අල්ල ගන්න යද්දි අල්ලගෙන ඉන්න දේ අතහැරෙන බව තේරුම් ගන්න පුළුවන් නම් අනවශ්‍ය දේවල් එක්ක ඇලෙන්නේ නැහැ. මම කොහොමටත් මගේ ආගම දහම එක්ක ජීවත් වෙනවා. පවුල් පසුබිමෙන් ලැබුණු සමාජ හැදියාවයි, ආගමික නැඹුරුවයි, අපි අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය සහ සහායෝගයයි නිසා අපි හැමෝගෙම ජීවිත ආරක්ෂා වෙලා තියෙනවා. අද සමාජයේ බොහෝ යෞවනියන් ජීවිතය අවුල් කර ගන්නේ මේ අවබෝධය සහ සංයමය නැති නිසායි.
ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසෙද්දී රංගනය ගැන යම් හැදෑරීමක් තිබුණා ද…?
අනේ නැහැ. මෙලෝ හසරක් මම දැනගෙන හිටියේ නැහැ. මම උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවෙන් ඉහළින් සමත් වෙලා, බාහිරව තාර්සි වර්ණකුලසූරිය ගුරුතුමා සහ සහාය ගුරු ඇන්සස් සර් යටතේ සිතාර් වාදනයත්, අනු විෂය ලෙස ගායනයත් හදාරලා ඒ විෂයත් උසස් පෙළට පුද්ගලිකව ඉල්ලලා ඉහළ ප්‍රතිඵල ලබාගෙන පසුව ලංකාවේ විභාගත්, ඉන්දියාවේ විශාරද පාර්ට් වන් දක්වාත් කළා. ඊට පස්සේ උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා උපාධිය ලබා ගත්තා. අධ්‍යාපන සුදුසුකම් අනුව මට ගුරු පත්වීමක් ලැබුණා. බොහොම ටික කාලයක් ගුරු වෘත්තියේ නිරත වුණා. මම ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි සාහිත්‍ය සහ සිතාර් වාදනය දරුවන්ට ඉගැන්වීම් කළා. මම ඉංග්‍රීසි සාහිත්‍ය වගේම සිංහල සාහිත්‍ය බොහෝ සේ කියවන කෙනෙක් නිසා විවිධ චරිත ගැන හොඳ දැනුමක් මට තිබුණා. ඔහොම ඉන්න අතරේ මගේ පන්තියේ මගේ ළඟම හිටපු යාළුවා දීප්තිටයි, මගේ මාමා පියල් කුමාරතුංගටයි ලොකු උනන්දුවක් රඟපෑම ගැන තිබුණා. “කරදිය වළල්ල” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා කියලා ඒ දෙන්නා වෙන්නප්පුවේ ඉඳලා කොළඹ එන්න සූදානම් වෙලා මටත් යමු කියලා කතා කළා. මට රඟපාන්න ආසාවක් තිබුණේ නැහැ. නමුත් කොළඹ එන්න ලොකු ආසාවක් තිබුණා. ඒ කාලේ කොළඹ එනවා කියන්නේ ගම්වල අපට මහා ලොකු දෙයක් වුණා. අම්මාත් මගේ තනියට මා එක්ක කොළඹ එන්න ලෑස්ති වුණා. තාත්තා විරුද්ධ වුණා. අන්න ඒ වෙලාවේ තමයි තාත්තා කිව්වේ ජීවිතය අවුල් කර ගන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන් කියලා හිතෙනවා නම් විතරක් මේ ගමන යන්න නැත්නම් නවතින්න කියලා. මම ඒ මොහොතේ දැඩි කර ගත්ත හිත තමයි අදටත් මට තියෙන්නේ කියලා දැනෙනවා. තාත්තාගේ ඒ වචන පේළියේ රැඳුණු ආරක්ෂක වළල්ල මේ තරම් දුර එන්න මට රැකවරණය සැලසුවා. එදා ආරම්භ කළ ගමනට අම්මා මට පුදුමාකාර ශක්තියක් වුණා. එහෙම කොළඹ ඇවිත් කරදිය වළල්ලේ රංගනයට මාව තෝරා ගත්තා. එතැනදි සිනමාවේ දැවැන්තයින්, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් සමඟ එකට වැඩ කරන්න මට සිදු වුණා. අනේ ඒ හැමෝම මට පුදුමාකාර විදිහට රංගනයේදී උදව් කළා. එදා මෙදාතුර මම චිත්‍රපට හැට පහක පමණ, ටෙලි නාට්‍ය පන්සීයක විතර, වේදිකා නාට්‍ය පහක රඟපාලා සම්මාන ලබමින්, සම්මාන සඳහා නිර්දේශ වෙමින් ලොකු ගමනක් ආවා. ඒ ගමනේදී මට හමුවුණු සෑම අධ්‍යක්ෂවරයෙකුගෙන්ම, සෑම රංගන ශිල්පියෙකුගෙන්ම විතරක් නෙවෙයි නිර්මාණය සඳහා සම්බන්ධ වන වෙස් ගැන්වීම් ශිල්පියාගේ සිට සහාය කාර්මික ශිල්පීන්, අත් උදව්කරුවන්ගෙන් පවා මම මගේ රංගන ජීවිතයට බොහෝ දැනුමක් එකතු කර ගත්තා. එකින් එක නම් කියන්න ගිහිල්ලා එක්කෙනෙක් හරි අතපසුවීමකින් කියන්න අමතක වුණොත් ඒක මගේ හිතට පසුතැවීමක් එකතු කරන නිසා මම නම් වශයෙන් කියන්නේ නැහැ. විශේෂයෙන් ම මම ආධුනිකයෙක් විදිහට ක්ෂේත්‍රයට එද්දි ප්‍රවීණයින් ලෙස මේ ක්ෂේත්‍රයේ සිටි සෑම කෙනෙක්ම වාගේ මට ඉතා හොඳින් මගේ නොදන්නාකම් නැති කරගෙන, දන්නා දේ වැඩිදියුණු කර ගන්න පුදුමාකාර අත්වැළක් වුණා. කටහඬ හැසිරවීම, චරිතවලට ප්‍රවිශ්ට වීම, වැඩමුළුවලට සහභාගි වෙමින් රංගන හැකියාව ඔප මට්ටම් කර ගැනීම සම්බන්ධයෙන් විශාල මඟ පෙන්වීමක් තිස්ස අබේසේකරයන්ගෙන් මට ලැබුණා. අනෙකුත් සෑම අධ්‍යක්ෂවරයෙක්ම විවිධාකාරයි. ඒ සෑම කෙනෙක් තුළම සුවිශේෂතා මම අත්දුටුවා. සෑම රංගනයකදීම මම අලුතෙන් යමක් ඉගෙන ගත්තා. මට ලැබුණු චරිතත් විවිධාකාරයි. නොලැබුණු චරිතයක් නැති තරම්.”
ඇය එසේ කියාගෙන යද්දි බර්ට්‍රම් නිහාල්ගේ ගම්පෙරළිය ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ නන්දාගේ චරිතය මතකයට නැගෙන්නේ නිරායාසයෙනි. තිස්ස අබේසේකරගේ තුන්කල් සිහිනය, මායා, ඇයගේ රංගනයන් ඔසවා තැබූ නිර්මාණයන් ය. එක පෙළට නම් කිහිපයක් කියාගෙන යද්දී සරා, පබා, සඳගලතැන්න, චණ්ඩින්ගෙත් චණ්ඩියා, ගොළු මුහුදේ කුණාටුවක්, ත්‍රිෂූලය, අංජලිකා, පානාමංකඩ, ටීචර් අම්මා, ආලියා මතකයට නැගේ. මේ කතා කරන මොහොතේදීත් ඇය ප්‍රියන්ත කොළඹගේ ගේ “ඉරණම් කරණම්” සිනමා නිර්මාණයේ රූගත කිරීමක නිරත ව සිටියාය. තවමත් ඇයට රංගන ජීවිතයේ නම් ඉස්පාසුවක් නැත.”
තුෂාරී කළුබෝවිල