Home » ස්පෝට්ස් ටූල් එක හරි හැටි පාවිච්චි කරමු!

ස්පෝට්ස් ටූල් එක හරි හැටි පාවිච්චි කරමු!

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

ක්‍රීඩාව යනු මෙවලමකි. නැතහොත් බොහෝ දෙනාට හුරු පුරුදු වචනවලින් කිවහොත් ස්පෝට්ස් කියන්නෙ ටූල් එකක්. ඕනෑම මෙවලමක් මානවයාගේ යහපතට මෙන්ම අයහපතට ද යොදාගත හැකිවනවා සේම ස්පෝට්ස් නම් ටූල් එක ද සමාජයක හෝ රටක යහපත වෙනුවෙන් යොදා ගත හැකිය. තවත් විදියකින් කිවහොත් මෙකී මෙවලම හරි පුද්ගලයන් අතට පත්වුණොත් යහපත් ප්‍රතිඵල බලාපෙරොත්තු විය හැකි අතර, වැරැදි පුද්ගලයන් අතට ගියහොත් අප කාට කාටත් අයහපත් ප්‍රතිඵල අත්විඳීමට ද සිදුවනු ඇත.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් මේ සඳහා ඕනෑතරම් උදාහරණ සැපයිය හැකි අතර 2018-පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා එවකට සිටි ක්‍රීඩා බලධාරීන් ඇතුළු රජය රුපියල් මිලියන 700ක පමණ මූලික මුදලක් වැයකරමින් 2011 වසරේදී නිෂ්ඵල උත්සාහයක යෙදී ඇනගත් ආකාරයත් එවකට මලල ක්‍රීඩා මට්ටමෙන් අපිට වඩා පිටුපසින් සිටි අසල්වැසි ඉන්දියාව 2010දී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලළේ සත්කාරකත්වය ලබා ගත් ආකාරයත් මතකයට නැඟේ.

ප්‍රධාන කුලුනු තුන

“ක්‍රීඩාව යහපත් මිනිසෙකු බිහි කරවයි” යන පැරැණි කියමනක් ඇතත් එම කියමනට වර්තමානයේදී කොතරම් වලංගුභාවයක් ඇත්දැයි සංවාදයක් මතුකිරීමට තරම් හේතුව වී ඇත්තේ ක්‍රීඩාව කරන අයගේ ක්‍රියාකාරකම් නිසාම නොව මෙරට ක්‍රීඩාව කරවන අයගේ අකටයුතුකම් නිසා බව කිව යුතුය. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත මෙරට තුළ සම්මත වූ දිනයේ සිට ඊට අදාළව පත්කරන ලද බොහෝ ක්‍රීඩා පරිපාලකයින් ක්‍රීඩාව නම් මෙකී මෙවලම පාවිච්චි කළේ තමන්ගේ යහපත වෙනුවෙන් මිස ක්‍රීඩාව කරන අයගේ යහපත වෙනුවෙන් නොවන බව ගෙවී ගිය දශක 5කට අධික කාලය තුළ රටක් වශයෙන් අප ලබා ඇති ප්‍රතිඵල දෙස බැලූ විට පැහැදිලිය. මෙකී සම්මත ක්‍රීඩා පනතට අනුකූලව බැලූ විට ක්‍රීඩාවේ පැවැත්ම රැඳී තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජාතික ඔලිම්පික් කමිටුව යන ප්‍රධාන කුලුනු තුන මතය.

එහෙත් ගෙවී ගිය දශක තුනක පමණ අතීතයකට දිව යන පරිදි මෙම කුලුනු තුනම දිරාපත් වෙමින් පවතින බව පැහැදිලිය. ඒ බව සනාථ කරන්නට ඕනෑ තරම් කරුණු කාරණා තිබෙන අතර ඇත්ත සහ බොරුව අතර පරතරය නොසලකා හැරීමත් වරදට දඬුවම් නොදීමේ කලාව රජ කරවීමත් නිසා ක්‍රීඩාව නම් මෙවලම අතට ගත් බෙහෝ පුද්ගලයන් තම තමන්ට රිසි පරිදි ක්‍රීඩා පරිපාලන අච්චුව කපා ගත්තේය. මෙම අදහස මීට මාසයකට පමණ පෙර ක්‍රීඩාවේ මහගෙදර භාර ගත් ඇමතිවරුන්ට අදාළ නොවන අතර වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ රාජකාරී භාර ගැනීමෙන් පසුව කළ පළමු කතාවෙන්ම අප රටට මෙන්ම ක්‍රීඩාවට ද පුනරුද යුගයක ඇරැඹුමක් අවශ්‍ය බව අවධාරණය කර සිටියේය. දූෂණය නාස්තිය හා අක්‍රමිකතාවන් නම්වූ කුනු-දූවිලි-මළකඩ වලින් ක්‍රීඩාව නම් මෙවලම අපවිත්‍ර වී ඇතැයි නව ක්‍රීඩා අමාත්‍යවරයා ද තේරුම් ගෙන තිබෙන බව ඉන් පැහැදිලිය.

දශක තුනක කාලයේ තත්ත්වය

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ගෙවී ගිය වසර 76ක කාලය තුළ ක්‍රීඩාව නම් මෙවලම අතට ගත් පුද්ගලයන් ගණන නොහොත් පත්වූ ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ ගණන (වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ද ඇතුළුව) 21කි. ඉන් අමාත්‍යවරුන් 18 දෙනෙකු සමඟම මෙම ලියුම්කරුට කටයුතු කිරීමට අවස්ථාව උදාවූ අතර මෙරට 21වැනි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වූ සුනිල් කුමාර ගමගේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව කළ පළමු කතාවේ පෙර සිටි ක්‍රීඩා ඇමතිවරුන්ගේ මංගල කතාවට වඩා වෙනසක් අඩංගු විය. එනම් තම මංගල කතාවේදී ක්‍රිකට් ක්‍රීඩාව ගැන සඳහන් නොකරමින් මාධ්‍ය ඇමතූ එකම ක්‍රීඩා අමාත්‍යවරයා ගමගේ පමණක් වන තරම්ය. අපේ කාලයේ බලයට පැමිණි සියලුම ක්‍රීඩා අමාත්‍යවරුන් පාහේ ක්‍රිකට් ගැන වැඩි බැල්මක් හෙලු අතර ඉන් බොහෝ දෙනෙක් ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පැමිණ ගෙදර යන විට ගියේ ක්‍රිකට් ඇමැතිවරුන් ලෙසය.

මෑත අතීතය දක්වාම දිස්ත්‍රික්-පළාත් මට්ටමෙන් ක්‍රිකට් පරිපාලනය තුළ දේශපාලකයන් අරක්ගෙන සිටීම මඟින් ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වී තිබීමත් එවන් තත්වයකට හේතු පාදක වී තිබූ අතර ක්‍රිකට්වලින් එම තත්ත්වය යම් තරමකට පහවෙද්දී ක්‍රීඩා පනතට අනුව වර්තමානයේ ලියාපදිංචි වී තිබෙන ක්‍රීඩා 72න් ඉතිරි ඒවායේ පරිපාලනයට දේශපාලකයන් සහ ඔවුන්ගේ පහස ලබන බිස්නස්කාරයන් රිංගා සිටීම ද අද කාලයේ මෙරට ක්‍රීඩාව වැහැරීයාමට තවත් එක් හේතුවක් වී ඇත. මෙකී පුද්ගලයන් විසින් කලින් කලට පත්වී එන ක්‍රීඩා ඇමත්වරුන් අන්දවා තමන්ද ඇඳගෙන කටයුතු කරමින් තමන් ක්‍රීඩාවට ආභරණයක් නොවී ක්‍රීඩාව තමන්ට ආභරණයක් කරගෙන කටයුතු කිරීම මඟින් ක්‍රීඩා පරිපාලනය තම ප්‍රධානම රැකියාව බවට පත්කර ගත් මහත්වරුන් අද බහුලව දැකිය හැකිය.

ගෙවී ගිය දශක තුනක පමණ කාලය තුළ අපේ රටේ ක්‍රීඩාවේ පසුබෑම පිළිබඳව ඕනෑ තරම් උදාහරණ ඇති අතර ගෙවී ගිය වසර 24 තුළ ශ්‍රී ලංකාව ඔලිම්පික් ක්‍රීඩා උලෙළ 7කට සහභාගී වී ඇතත් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ එක් පදක්කමක් පමණි. එනම් 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී මීටර් 200 කාන්තා ඉසව්වෙන් සුසන්තිකා දිනාගත් රිදී පදක්කමයි. එවකට මලල ක්‍රීඩාවෙන් අපිට වඩා බොහෝ පිටුපසින් සිටි ඉන්දියාව 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී ලබා ගත්තේ කාන්තා කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ ලෝකඩ පදක්කමක් පමණි. එහෙත් මෑතකදී නිමාවූ 2024-පැරිස් ඔලිම්පික් උලෙළේදී ඉන්දියාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනාගන්නා විට ශ්‍රී ලංකාව නොකඩවා 6වැනි වතාවටත් හිස් අතින්ම ගෙදර ආවේය. මෙසේ අවස්ථා 6කදී රටට කිසිවක් නොලැබුණද ඊට වගකිවයුතු ක්‍රීඩාව කරවන අයද ඔලිම්පික් ගොස් නැවත එන විට අතට ගත් දෙයක් මිස හිතට ගත් දෙයක් තිබුණේ නැත. ඒ බව පැහැදිලි වන්නේ අද වන විට ජාතික ඔලිම්පික් කමිටුවට (එන්ඕසී) ලබා දුන් මුල්‍යමය ආධාර නවත්වමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයිඕසී) විසින් සම්බාධක පැනවීමට හේතු සාධක සලකා බලන විටය.

තීරණ ගැනීමේ දුර්වලතා

මෙවන් තත්වයකට මෙරට ක්‍රීඩා පරිපාලන යන්ත්‍රය දෙදරා යන්නට ප්‍රධානම හේතුව ඉහත සඳහන් කළ ක්‍රීඩාව රැඳී ඇති කුලුනු තුනෙහි සමබරතාව මුසුවූ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දුර්වලතා නිසාය. තවත් විදියකින් කිවහොත් ක්‍රීඩාව නම් මෙවළම හෙවත් ස්පෝට්ස් නම් ටූල් එක මෙතෙක් සිටිය ක්‍රීඩා ඇමතිවරුන් විසින් හරි හැටි පාවිච්චි නොකළ නිසාය. එහෙත් රටට ඉල්ලූ වෙනසත් සමඟ රටේ ක්‍රීඩාව වෙනස් කිරීමටද නව ක්‍රීඩා ඇමැතිවරයෙක් පත්කර ඇත. ඔහුට ශක්තියක් දෙමින් ජාත්‍යන්තරය ජයගත් මලල ක්‍රීඩකයෙක් නියෝජ්‍ය ක්‍රීඩා ඇමැතිවරයා ලෙසද පත්කර ඇත. එනිසා අතීතයේ සිදුකළ වැරදි හෝ සිදුවූ වැරදි යළි නොවන්නට ඉඩ ඇතැයි අපිට බලාපොරොත්තු තැබිය හැකිය. ඒ අනුව නව වසරේ සිට අපේ රටේ ක්‍රීඩාවටද නව පුනරුද යුගයක් උදාකර ගැනීමට සියලු දෙනාම අවබෝධයෙන් හා උනන්දුවෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

 

සිරිනාම රාජපක්ෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division