Home » නෙතට නැඟි කඳුළු බිඳු පරිසරය වෙනුවෙනි!

නෙතට නැඟි කඳුළු බිඳු පරිසරය වෙනුවෙනි!

සිරිපා කරුණා කරද්දී අකරුණාවට ලක්වෙන පරිසරය

by Mahesh Lakehouse
December 28, 2024 12:31 am 0 comment
කැලෑ පැපිළියා

කැලෑ පැපිළියා

පැය ගණනාවක් පුරා දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ කඳු තරණය කරමින් පැමිණි ගමනේ ගමනාන්තයට ළඟා වූ මසිතට කවරදාකවත් නොදැනුණ සුවපහසුවක් දැනෙන්නට පටන් ගෙන ඇත. ගතෙහි වන විඩාව පහව යන්නේ ඇසිල්ලකින්ය. උඩ මළුවට පහළට වන්නට රත්නපුරා පාරත්, නල්ලතන්නි පාරත් අතර පිහිටා ඇති පිය ගැට පෙළේ කොනක හිඳගත් මම පහළින් දිස් වන මිටියාවත් කඳු මුදුණේ සිට හොඳින් නිරීක්ෂණය කළෙමි. මින් පෙර දිනෙක ගවරවිල සොයා ගෙන වනයේ ඇවිද ගිය අයුරු මතකයට නැඟුණේ මා සිටිනා ස්ථානයට එය විසල් වූ තැනිතලාවක් ලෙසට කඳු නිම්නයන් අතරින් හොදින් දිස් වන බැවින්ය. ප්‍රපාතාකාර දළ බෑවුම් අතර ඇදී යන සුදුපැහැ ඉරි කියා පාන්නේ සමනල වනපෙතේ දිය සීරාවෙන් පෝෂිතව ඉපිද හැදී වැඩී වර්ධනය වූ දිය ඇලිවල හැඩකාර කතාවයි. මධ්‍යම කඳුකරයේ කේතු හැඩැති සමනල කන්ද වට කර ගත් කදු පන්ති සියල්ලම පාහේ හරිත පැහැයෙන් බබළයි. බෑන සමනල, දෝකුරුගල, කුණු දිය පර්වතය, දෙතන ගල, ගෝනමොල්ලිය, මිරියකෝට්ටේ කඳු අතරේ රජයන හරිත සිරි විසිතුරු මිහිදුම් සේලයෙන් වැසී ගිය කඳු විසින් සඟවා ගෙන සිටින හැඩයි.

ආවේණික ශාක හා සත්ත්ව සම්පත

පලා පොළඟා

පලා පොළඟා

වන්දනාව පිණිස සමනල අඩවියට පිවිසෙන බැතිමතුන් තමන් පසු කර යන වනපෙතේ පවත්නා අගය ගැන නොසිතන්නේ මන්දැයි සිතෙනුයේ පරිසරයේ ගුණාත්මක බව කෙලසනු වස් සිදුව ඇති මානව ක්‍රියා නිසාවෙන්ය. ශාක හා සත්ත්ව ආවේණිකත්වයේ ඉහළ ප්‍රතිශතයක් සමනල වනපෙත සතුව පවතින බව සිරිපා මං පෙතේ තබනා පියවරක් පියවරක් පාසා සිහිපත් කළ යුතුය. සමනල වනපෙත තුළ ශාක කුල 747ක් (ආවේණික 351), ක්ෂීරපායි විශේෂ 35ක් (ආවේණික 10), පක්ෂි විශේෂ 162 ක් (ආවේණික 33), උරග විශේෂ 66 ක් (ආවේණික 37), උභය ජීවී විශේෂ 48ක් (ආවේණික 42), මත්ස්‍ය විශේෂ 15ක් (ආවේණික 08), සමනල විශේෂ 100 (ආවේණික 14), බත්කූරන් විශේෂ 46ක් (ආවේණික 22) සහ මිරිදිය ආවේණික කකුළු විශේෂ 07ක් ලෙස සමනළ අඩවිය සතු ජෛව විවිධත්වය සාරාංශ කර දැක්විය හැකිය. තෙත් කලාපයීය කඳුකර වන වැස්මකින් සහ වලාකුළු වන වැස්මකින් හෙබි වන වැස්මේ අරිද්ද, කටුකිතුල්, දොරණ, කීන, රන් දෝතලු, නෙළු පඳුරු, බොවිටීයා, උඩවැඩියා, ඉරුරාජ-සදරාජ-වනරාජ වැනි දුර්ලභ සහ වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටිනා ශාක බොහෝමයක්ම හමු වේ. ශාක විශේෂයන් අතරේ මල් පිපෙන ශාක විශේෂ 497කට පමණ ආසන්න සංඛ්‍යාවක් වාර්තා වේ. ඉන් ශාක විශේෂ 184කට ආසන්න සංඛ්‍යාවක් ආවේණික වන අතර ශාක ආවේණිකත්ත්වය ප්‍රතිශතයක් ලෙස සියයට 34කට පමණ ආසන්න බව අධ්‍යයන වාර්තා මඟින් සොයා ගෙන ඇත.

ඉදින් සමනල කඳු මුදුනතට දිස් වන අවට සොබා අසිරිය විඳ ගනිමින් ගමන් විඩාව සන්සිඳුවා ගත් මම උඩමළුවට රැගෙන ආ මල්, වට්ටියකට සරසා ගෙන ශ්‍රී පද්මය සනිටුහන්ව ඇති උඩ මළුව දෙසට ළඟා වුණෙමි. උතුම් සිරි පතුල පසෙක මල් අතුරණය මත විවිධ පැහැ මල් ජූජා කර ඇත. ඒ අතරේ තද රත්පැහැ මල් කිනිත්තක්ද පූජා කර ඇති සැටි මම දුටුමි. මා පමණක් නොව සිරිපතුල වැඳ පුදා ගනු පිණිස පෝලිමේ පිය ගැට නඟිමින් උඩ මළුවට පිවිසෙන සියලුම දෙනාගේම නෙත් තමන් වෙත ඇද ගැනීමේ හැකියාවක් අනෙක් මල් අතර රත් පැහැයෙන් බබළන මේ මල් කිනිතිවලට ඇති බව වැටහෙන්නට වැඩි වේලාවක් ගත වන්නේ ද නැත. රත් පැහැ මල් කිනිති වලින් පිරුණු පුවක් කිනිත්තක් හා සමැ නමුත් තදවන් වූ රත් පැහැයෙන් බබළන්නේ රන් දෝතලු මල් පොකුරු කිහිපයක්ය. බැතිමතෙක් විසින් පූජාව පිණිස මේ අයුරින් රන් දෝතලු මල් මල් අසුන මත තැම්පත් කර ඇත. වන්දනා මානය පිණිස භාවිත කරනා සුපුරුදු මල් අතරේ රන් දෝතලු මල් පොකුරුවලට හිමිව ඇත්තේ විශේෂයකි. මේබඳු පූජා විදි දුටු සිතකටද රන් දෝතලු මල්ම පූජාව පිණිස රැගෙන ආ යුතුය යන ඇල්මක් ඇති නොවන්නේ නම් එය පුදුමයකි. එය දුටු කල සිතේ ඇති වුයේ කනගාටුවකි. එනම් අන්ධ වූ මිත්‍යා භක්තියක් මුල් කර ගෙන තමා සහ තම ලබැඳියන්ට ආශිර්වාද පතා සොබාදහමේ අමිල වූ දායාදයන් නිස්කාරණයේ විනාශ මුඛය තෙක් තල්ලු වන බව හැඟෙන කල නිරායාසයෙන්ම සිතේ ඇති වන්නේ දුකක්මය.

රන් දෝතලු වරුණ

කඳුකර ගස් මැඩියා

කඳුකර ගස් මැඩියා

සමනල වනපෙතේ නියෝජන අතරේ හමු වන රන් දෝතලු බදු ඉතාමත් දුර්ලභ වූ ශාක සාමාජිකයන්ට ජෛව විවිධත්ව විෂයයෙහිලා හිමි වන්නේ වෙසෙස් තැනකි. දුර්ලභ බවෙත් අවසන් අදියර පසු කරමින් සිටිනා රන් දෝතලු ශාක වර්තමානය වන විට වඳ වීමේ අවදානම් තත්ත්වය දක්වා තල්ලු කර ගෙන විත් ඇත්තේ ද මිනිසාමය. අන්ධ භක්තිය මුල්වූ බැතිමතුන් රවටමින් රන් දෝතලු අලෙවි කරමින් මුදල් උපයනා පුද්ගලයන්ද සිරිපා වන්දනා සමයට තම ව්‍යාපාර හොර රහසේම සිදු කර ගෙන යයි. ඒ ආශීර්වාද ලබා ගනු පිණිස පූජා කිරීමට රන් දෝතලු මල්වලට ඇති ඉල්ලුම ඉහළයන නිසාවෙන්ය.

කැහිබෙල්ලා

කැහිබෙල්ලා

ලොක්සෝකොකොස් රුපිකෝලා (Loxococcus rupicola) ලෙස විද්‍යාත්මකව හඳුන්වන රන් දෝතලු ශ්‍රී ලංකාවේ පමණක් හමු වන ශාකයකි. එනම් රටට ආවේණික ශාකයකි. ගස අයත් වන්නේ තාල වර්ගයටය. බාහිරින් පුවක් ගස හා සමැ වුව ද පුවක් ගස තරම් ගසේ කද මහත් වන්නේ නැත. රන් දෝතලු ගසේ සාමාන්‍ය විශ්කම්භය සෙන්ටී මීටර් 10කට ආසන්න වේ. බීජ මඟින් රෝපණය සිදු වේ. සෑම මල් කිණිත්තක් තුළම ඇති බීජවලින් පැළ හට ගන්නේ ඉතාමත් අඩු ප්‍රතිශතයක්ය. එකී අඩු ප්‍රතිශතයෙනුත් බාහිර පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දී බීජ ව්‍යාප්තියට සුදුසු තත්ත්වය තෙක් පැළ රෝපණය වන්නේ ඉතාමත් අඩුවෙන්ය. තෙතමනය සහිත සිහිල් කඳුකරය ආශ්‍රිත නිරිත දිග වැසි වනාන්තර බදව රන් දෝතලු ශාක ව්‍යාප්තියට හිතකර වූ පාරිසරික තත්ත්වයන් නිර්මාණය වෙයි. සමනල වනපෙතද ඒ අතරට අයත්ය.

නිල් බිනර

නිල් බිනර

දීප්තිමත් වු රත් පැහැති මල් පූදින බැවින් සහ මල් දරනා කිනිත්ත ද දීප්තිමත් වූ රත් පැහැයෙන් සමන්විත වන බැවින් රත් දෝතලු නමින්ද මෙම ශාකය හදුන්වයි. බීජ හරහා රෝපණය සිදු වන බැවින් මල් කිනිති නිසි කල මෝරා බීජ ව්‍යාප්තිය සිදු වීමට යම් කාලයක් අවශ්‍ය වේ. නමුත් ඊට පෙරම එනම් දෝතලු මල් කිනිත්ත ආවරණය වී ඇති බාහිර කොපුව පුපුරා මල් නිරාවරණය වීමට ද ප්‍රථම දෝතලු මල් කිනිති කැඩීම සිදු වේ. කඳු බෑවුම්, ගල් තලා ආශ්‍රිතව සමූහවාසී ගස් ගොන්නක් ලෙස රන් දෝතලු වර්ධනය වේ. උස් ගස් මත්තේ හට ගන්නා මල් කිනිති නෙළීමට ඇති අපහසුතාව මත ගස් මුලින්ම කැපීම ද සිදු කරයි. මේ කරුණු ඉදිරි ශාක ව්‍යාප්තිය හීනව යාමට බෙහෙවින්ම බලපෑම් ඇති කරන්නාසේම සමහර ජාවාරම්කරුවන් ස්වභාවික වාසස්ථානවල ඇති කුඩා පැළ ගලවා විකිණීම ද සිදු කරයි. එය හිතකර වූ පාරිසරික හා දේශගුණික සාධක සපුරා ඇති සුදුසු බිමක රෝපණය වන ශාකවල ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීමකි.

වලස් වඳුරා

වලස් වඳුරා

රන් දෝතලු පැළ රෝපණය වී ඇති වාසස්ථානවලින් පැළ ගැලවීම, වෙනත් තැනකට රැගෙන ගොස් රෝපණය කිරීම, රන් දෝතලු මල් කැඩීම, මල් කිනිති නෙළනු පිණිස ගස් කැපීම සහ රන් දෝතලු ශාකයක කොටසක්, ඉන් තැනූ යම් භාණ්ඩයක් ළග තබා ගැනීම, ප්‍රදර්ශනය හෝ වෙලෙඳාම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. ඒ කොතෙක් බරපතළද යත් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදකි. රන් දෝතලු ශාකයන් අරඹයා කාලීනව සිදු වෙමින් පවතින තර්ජනකාරී තත්ත්වයන් අභිමුව සීග්‍රයෙන් හීන වෙමින් පවතින ශාක විශේෂයක් ලෙස මෙම ශාකය හඳුනා ගෙන ඇත. ඒ නිසාවෙන් ජාතික රතු දත්ත ලැයිස්තුවට රන් දෝතලු නම එකතු වී ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ශාක විශේෂයක් ලෙසටය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනතේ අට වන උපලේඛනය වෙන්වන්නේ ආරක්ෂිත ශාක වෙනුවෙන්ය. එහිද රන් දෝතලු නාමයට හිමි වන්නේ සුවිශේෂි තැනකි. කුමන හෝ පරමාර්ථයක් මුල්ව ආරක්ෂිත ශාකයකට හානි පමුණුවීම යනු අවුරුදු 02ත් 05ත් අතරේ වු බන්ධනාගාරගතව සිර දඩුවම් ලැබිම හෝ දඩමුදල් නියම විය හැකි වරදකි.

පරිසරයට කරන හානි

සිරිපා වන්දනා සමයට වාර්ෂිකව වන්දනා බැතිමතුන් දළ වශයෙන් ලක්ෂ විස්සකට – තිහකට ආසන්න සංඛ්‍යාවක් සිරිපා වන්දනාවේ නිරත වන බවට සංඛ්‍යා ලේඛනවලින් හෙළිව ඇත. බොහෝ බැතිමතුන් දුෂ්කර වූ කඳු තරණය පහසු කර ගනු පිණිස වනයේ ඇති ගස් කපා දමමින් දිගු රිටි සාදා ගැනීම සිදු කරන බව වන්දනා සමයන් තුළ නිරීක්ෂණය වී ඇත. ඉඳින් එක් බැතිමතෙක් එක් රිට බැගින් සකස් කර ගැනීමට වනයේ ඇති ගස් කඩා බිද දැමුවොතින් ඒ හරහා වනයට සිදු විය හැකි හානිය කෙබඳු විය හැකි දැයි සඳහන් කළ යුතුද? ඒ හා සමැව වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් කොටසක් හෝ රන් දෝතලු මල් පූජා කරනු පිණිස සිතුවොතින් රන් දෝතලුවලට අත් වන ඉරණම කෙබඳු විය හැකිද? සමනල වනාන්තර ප්‍රදේශය වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් වුවත්, වනය මැදින් ගමන් ගන්නා බැතිමතුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සඳහා නීතියෙන් වැට කඩොලු බැඳෙන්නේ නැති පසුබිමක, එය අවභාවිතයට ගන්නා පිරිස් නැත්තේද නොවේ.

ඉන්දියන් ජම්පින් වේයා

ඉන්දියන් ජම්පින් වේයා

රන් දෝතලු

රන් දෝතලු

මම සිරිපතුල අබියස දණ නමා තෙවරක් නළලත සිරිපතුල මත තබා වැඳ වැටුණෙමි. කෙතරම් තදින් සිරිපතුල් සටහන මත නළලත වැදුණත් නොරිදෙන බවට වන්දනා බැතිමතුන් අතරේ තද බල විශ්වාසයක් පවතියි. එය එසේ වුවද සිතේ නම් ඇත්තේ තද බල වූ වේදනාවකි. සිරිපා වන්දනා මාර්ගයේ මුල සිට අගට තැන තැන ඇත්තේ මිනිස් අකටයුතුකම් හේතුවෙන් පරිසරය උදෙසා එල්ල වන බවට වන සාක්ෂිය. උඩ මලුවේ ස්ථාපිත කර ඇති ඝණ්ඨාවේ ටං ගෑම දිගටම හැඬවෙන්නට පටන් ගෙන ඇත. ඒ සිරිපතුල වැද නමස්කාර කළ නඩයක් තම පැමිණීම සනිටුහන් කිරීම ආරම්භ කර ඇති නිසාවෙන්ය. තමන් සිරිපතුල නැමදි වාර ගණන සිහිපත් කරමින් හැඬවෙන ඝණ්ඨාව කිරි කෝඩු, දඬු කෝඩු හමුයේ එක් වරකදී පමණක් හැඬවෙයි. පළ පුරුදු වන්දනා බැතිමතුන් අභිමුව එක පිට එක වැදෙනා ටාං ගෑම් කිහිපයක්ම නින්නාද වේ. ඒ එම බැතිමතුන් දහ දොළෙස් විසි තිස් වරක් පැමිණි බව ඝණ්ඨා නාදය තුළින් සනිටුහන් වන බැවින්ය. කෙතරම් වරක් සිරිපතුළ වැද නමස්කාර කළ ද එහි සැබෑ ආනිශංසයන් හිමි වනුයේ පරිසරහිතකාමී වූ වන්දනා ගමනක නිරත වුයේදැයි යන තම හෘදය සාක්ෂිය දෙන සැබෑ පිළිතුර මත බව ද සිහිකටයුතුය.

මම උඩ මලුවේ සිට යළිත් පහත් නිම්නයන් දෙස බැලුම් හෙලුවෙමි. රන් දෝතලු පිපෙන මහ වනය මේ උතුම් සිරිපතුල පිහිටා ඇති සමනල කදු වැටිය පාමුල ව්‍යාප්තව ඇති වනය තුළ සැඟව පවතියි. ඒ වන්දනා මානයට පැමිණෙන බැතිමතුන් විසින් පූජා කරනු පිණිස තම ජීවත් වීමේ අයිතිය උදුර ගනිත්දෝයි යන බියෙන් දැයි මට සිතේ. බොදු දර්ශනයට අනුව තමන් සුපහන් වූ සිතින් යම් ක්‍රියාවක් කරත් නම් එහි ප්‍රතිඵලයත් යහපත් බැව් අවිවාදිතය. රන් දෝතලු පූජා කිරීමට ඒවා සීමිතව ව්‍යාප්තව ඇති වනයට රිංගා නීතියට පටහැනි සේ ගස් කඩා සිද බිද දමා පූදින්නට ආසන්න වු මල් කිණිත්ත නෙළා ගත යුතුමද? සිතින් රන් දෝතලු මල් කිනිත්තක් මවා ගෙන, ඒ අති දුර්ලභ ශාකය මතම මල සුපිපි තිබියදීම පූජා කළ නොහැකිද?

කුසුමං පුල්ලිතං ඒතං – වර්ණ ගන්ධ යුතං මුදා
බුද්ධ සෙට්ඨං සරිත්මාන –  ආකාසේපී සුපෝජයේ

“වර්ණයෙන්ද, සුගන්ධයෙන්ද යුක්ත වු මේ මල් උතුම් බුදු හිමි සිහිපත් කොට ආකාසය මත, ගසේ සුපිපි කුසුමක් සේ තිබියදීම, ඉතා තුටු සිතින් යුක්තව පූජා කරමි”

ලේ තිත්තයා

ලේ තිත්තයා

සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division