– පැහැර ගත් ත්‍රීරෝද රථය සොයා ගන්නේ නෝර්වුඩ් ප්‍රදේශයේදී
– මහනුවර කිරිබත්කුඹුර ත්‍රීරෝද රථ නැවතුමෙන් රියක නැගී යන අතරේ ත්‍රීරෝද රථ රියැදුරුට විස පොවලා
– ඇල්ලූ පහම පල් හොරු
විවිධ අපරාධ හේතුවෙන් බන්ධනාගාරගතව එහිදී සංවිධානය වී යළි එළියට විත් වෙළෙඳසල්, නිවාස සහ බැංකු මංකොල්ලකෑමේ අරමුණින් ගමන් කරමින් සිටි පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, පැහැරගත් ත්‍රීරෝද රථයක් ද සමඟ ගලහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මහනුවර අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය මඟින් එම සැකකරුවන් ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පසුගියදාය.
ඒ අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයෝ පස්දෙනෙකි. මොවුහු පුත්තලම, කටුගස්තොට, නාවලපිටිය සහ ගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝය. දරුණු ගණයේ අපරාධකරුවන් වන මොවුන් විවිධ අපරාධවලට වරදකරුවන් වී කලක් බන්ධනාගරගතවූවන් බව හෙළි වී ඇත්තේ විමර්ශනවලදීය.
පසුගිය වසරේ ගම්පොළ පෞද්ගලික බැංකුවකට රාත්‍රියේ ඇතුළු වූ පිරිසක් මුරකරු බැඳ දමා රුපියල් ලක්ෂ 97ක් සමඟ එහි තිබූ මුදල් යන්ත්‍රය (ඒටීඑම්) රැගෙන ගොස් තිබුණි. එහි ප්‍රධාන සැකකරුවන් වූයේ මෙම පුත්තලම පදිංචි අයියාමලෝය.
එසේම නාවලපිටිය සහ ගම්පොළ පදිංචිකරුවන් දෙදෙනා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සොරකම් සහ කොල්ලකෑම්වල ද යෙදෙන අය බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම පිරිස බන්ධනාගාරයේ සිට එළියටවිත් පසුගිය දිනක සාකච්ඡාවක් සිදුකර පසුව පේරාදෙණිය, කිරිබත්කුඹුර ත්‍රිරෝද නැවතුම්පොළට ගොස් එහි තිබූ ත්‍රීරෝද රථයකට ගොඩවී දෙල්තොට ප්‍රදේශයට කුලී ගමනක් යන මුවාවෙන් ගොස් තිබේ. උදෑසන දහයට කුලී ගමන ගිය තම සගයා යළි සවස පහ වනතුරුත් නොපැමිණි නිසා නැවතුම්පළේ අනෙකුත් අය ඔහුට දුරකතන ඇමතුමක් දී ඇත.
56 හැවිරිදි සමරකෝන් මුදියාන්සේලාගේ වසන්ත මද්දුම බණ්ඩාර සමරකෝන් නමැති ත්‍රිරෝද රියැදුරු තවත් අයකුගේ ත්‍රීරෝද රථයක් මෙසේ කුලී ගමන් සඳහා යොදාගෙන තිබූ අතර ත්‍රිරෝද නැවතුම්පළේ අය වසන්තගේ අතුරුදන් වීම එම ත්‍රීරෝද රථයේ නිසි හිමිකරුට දන්වා ඇත.
ත්‍රීරෝද රථයේ නියම හිමිකරු එම ත්‍රීරෝද රථයට ජී.පී.එස්. තාක්ෂණය යොදා තිබී ඇති අතර ඔහු එය පරික්ෂා කිරීමේදී දෙල්තොට ප්‍රදේශයට ගොස් ඇති ත්‍රීරෝද රථය පසුව හැටන්, නෝර්වුඩ් ප්‍රදේශයේ ධාවනය වන බව හඳුනාගෙන ඇත.
ඒ අනුව ත්‍රීරෝද කුලී රියැදුරු වන වසන්තගේ දෙල්තොට සිටින ඥාතියකුට කතා කළ ත්‍රිරෝද රථයේ හිමිකරු මෙම ත්‍රීරෝද රථය දෙල්තොට නවතා තිබූ ප්‍රදේශ පරීක්ෂා කර බලන ලෙස දන්වා ඇත. එහිදී එම ඥාතීන් දැක ඇත්තේ තම ඥාතියා අවසිහියෙන් දෙල්තොට ලුල්කඳුර ප්‍රදේශයේ වැටී සිටින බවයි.
ඒ අනුව මෙම පිරිස 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ඒ බව ගලහ පොලීසියට දන්වා රෝගියා ගලහ රෝහලට රාත්‍රියේදී ඇතුළත් කර ඇත. මෙම පුද්ගලයා මත්කොට බිම දමා පැහැරගෙන යන ලද ත්‍රීරෝද රථය පිළිබඳව යළි ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ බලන විට නෝර්වුඩ් ‘අප් කන්ට්‍රි’ ප්‍රදේශයේ එය ඇති බව දැක ගලහ පොලීසියේ කණ්ඩායමක් රාත්‍රියේම එම ප්‍රදේශය වෙත ගොස් තිබේ.
පොලිස් කණ්ඩායම හැටන්, වටවල ප්‍රදේශයෙන් යන විට දැක ඇත්තේ ත්‍රීරෝද රථය, නාවලපිටිය, පහළ ගොරකඔය ප්‍රදේශයේ නිවෙසක නවතා ඇති බවයි.
යළි වහා නාවලපිටිය දක්වා පැමිණි පොලිස් කණ්ඩායම මෙම නිවෙස වෙත යනවිට ත්‍රීරෝද රථය නිවෙසේ එළියේ නවතා මෙම පිරිස නිවෙස තුළ සිටින බව දැක තිබේ.
මෙම අපරාධකරුවන් පස්දෙනා මෙම ත්‍රීරෝද රථය සමඟ තවත් ත්‍රීරෝද රථයක් මෙම ගමන සඳහා යොදාගෙන තිබූ අතර මොවුන්ට ආහාර ගෙන ඒම සඳහා එම රථය සමඟ දෙදෙනෙකු රාත්‍රියේදී නාවලපිටිය නගරය වෙත ගොස් ඇති බව හෙළි විය. පසුව මෙම සැකකරුවන් පස්දෙනා සමඟ මෙම ත්‍රීරෝද රථ දෙක අත්අඩංගුවට ගෙන අලුයම දෙකට පමණ ගලහ පොලීසිය වෙත රැගෙනවිත් විමර්ශන පවත්වා මහනුවර අංක දෙක අධිකරණය වෙත මොවුන් ඉදිරිපත් කර තිබුණි.
මෙම පිරිසේ සැලසුම වී තිබී ඇත්තේ කිරිබත්කුඹුරින් පැහැරගත් ත්‍රීරෝදකරුට ඖෂධ ලබා දී මත් කොට බිම අතහැර දමා මංකොල්ලකෑම සඳහා නිවාස, වෙළෙඳසල්, බැංකු හා පුද්ගලයන් සොයා අදාළ ත්‍රිරෝද රථයෙන් යාමයි. පෙර අත්දැකීම් තිබූ ආකාරයට බැංකුවක ඇති මුදල් යන්ත්‍රයක් පැහැර ගැනීම සහ විශාල මුදල් මංකොල්ලයක් සිදු කිරීම ද මොවුන්ගේ සැලසුමට ඇතුළත්ව තිබූ බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
ගලහ රෝහලට ඇතුළත් කළ ත්‍රිරෝද රථ රියැදුරු වසන්ත මහනුවර මහ රෝහලට යවා ඇති අතර අවසිහියෙන් ඔහු එහි ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලකගේ උපදෙස් මත පොලිස් අධිකාරි ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් ගලහ පොලිස් ස්ථානාධිපති සමන් ගුණසේකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ, කොස්තාපල්වරුන් වන (73168) රත්නායක, (100206) කෞෂාන්, (103843) උමයංග යන නිලධාරීහු පරීක්ෂණ කටයුතු සිදු කළහ.
ගම්පොළ - සුරංග දිල්හාන්