මුහුණුපොත, අන්තර්ජාලය වැරදි අරමුණු ඇතුව පරිහරණය කරන පිරිස නිසා සමාජයට සිදුවන හානිය ප්‍රබලය. මේ හේතුව නිසා හිංසනයට පීඩාවට ලක්වන තරුණ කතුන්, සිසුවියන්, ළමයින්ගේ සංඛ්‍යාව ද සුළුපටු නැත. අන්තර්ජාලයේ ‘ටික් ටොක්’ සෙල්ලම ද බොහෝ අවස්ථාවලදී ඇතැම් කතුන්ට, තරුණියන්, සිසුවියන් සහ ළාබාල දැරියන්ට ‘වින කටින’ තැනක් බවට ක්‍රම ක්‍රමයෙන් පත්වෙමින් තිබීම ද කනගාටුදායකය.
සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනා ගත් වයස අවුරුදු 17යි මාස 10ක පෙම්වතියක් රවටා අතවර කළැයි සැකපිට තරුණයකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය.
සැකකාර දහනව හැවිරිදි පෙම්වතා මේ දැරිය හඳුනාගන්නේ මුහුණුපොත ඔස්සේය. පෙම්වතිය මිතුරියකගේ නිෙවසේදී හමුවන මේ පෙම්වතා ඇය රවටා ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් තේක්ක කැලයක් අසල ත්‍රිරෝද රථය නවතා පෙම්වතියට අතවර කර තිබුණ අතර බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
ඊට නොදෙවැනි ‘ටික්ටොක් සෙල්ලම’ ද පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පුවත් ගණනාවක් මවා තිබිණි. ටික්ටොක් සමාජ මාධ්‍යයේ ‘ප්‍රසිද්ධ චරිත දෙකක්’ එම පුවත්වලට මූලික විය. ඉන් එක් ‘චරිතයක්’ පාණදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ පාණදුර ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය අයකු කුලී පදනම මත ලබාගෙන තිබුණු සුඛෝපභෝගී වාහනයක් අදාළ ‘ටික් ටොක් චරිතයට’ රුපියල් ලක්ෂ 10කට උකස් කර තිබීම සම්බන්ධයෙනි.
අදාළ ‘ටික් ටොක් චරිතය’ පොලිසියට කොටු වන්නේ නඩුවකට පෙනී සිටීම සඳහා මාරවිල ප්‍රදේශයට ගොස් සිටියදීය.
මේ අතර තවත් කනගාටුදායක සිද්ධියක් පසුගියදා වාර්තා වුණේ මුන්දලම පොලිස් ස්ථානයේ නිලධාරින් සිදුකරන ලද විමර්ශනයකදීය. එයත් ‘ටික් ටොක් සෙල්ලමට’ සම්බන්ධ වූවකි.
ටික්ටොක්හි මෙරට ජනප්‍රිය තරුණියක දුම්රියට පැන සිය දිවි නසා ගැනීම එම සිද්ධියයි. පෙම්වතා සමඟ ඇතිවූ ආරවුලකින් අනතුරුව මේ ටික් ටොක් පෙම්වතිය දුම්රියට පැන සියදිවි නසා ගන්නට ඇති බවට සැක කැරේ.
මේ ආකාරයේ අනෙක් කනගාටුදායක සිද්ධිය වාර්තා වූයේ කැස්බෑව පොලිස් නිලධාරින් සිදුකරන ලද විමර්ශනයකදීය.
ඇය 14 හැවිරිදි දැරියකි. ඇය ‘ටික් ටොක්’ ඔස්සේ තරුණයකු දැන හැඳිනගත්තාය. ඒ ටික කලකට පෙරදීය. මේ තරුණයා 21 හැවිරිදිය. ටික් ටොක් සෙල්ලම දුරදිග යන්නේ දෙදෙනාම නොදැනුවත්වමය. ටික් ටොක් ඔස්සේ හඳුනාගත් 21 හැවිරිදි තරුණයා පෙම්වතා කරගැනීමට 14 හැවිරිදි දැරියට වැඩි කලක් ගියේ නැත.
පෙම්වතා හමුවීමට ඇය සූදානම් වූවාය. ඒ බව ඇගේ හොඳම මිතුරියට ද පැවැසුවාය. 14 හැවිරිදි දැරියගේ හොඳම මිතුරියගේ වයස 15කි. මේ දෙදෙනා දුම්රියෙන් කොළඹ එන්නේ ඔය අතරතුරේදීය. ඒ දාහතරේ දැරියගේ පෙම්වතා හමුවීම සඳහාය.
තනියෙන් එන්නැයි කියූ දාහතරේ පෙම්වතිය වයස පහළොවේ මිතුරියක ද කැඳවාගෙන පැමිණ ඇති බව දැනගත් විසිඑකේ පෙම්වතා ඔහුගේ මිතුරකුට ද මේ බව දැන්වීය. මිතුරාගේ වයස 17කි. කැස්බෑව හල්පිටදී මේ සිවුදෙනා කතාබහ කරන්නේ යන – එන තැනක් පිළිබඳවය. බීර ද සූදානම් කැරිණි. කැස්බෑව හල්පිට නවාතැන්පොළකට මේ සිවුදෙනා යන්නේ ඉන් අනතුරුවය.
මේ නවාතැන්පොළේ කාමර දෙකක් ලබාගත් සිවුදෙනා එදින රාත්‍රිය ගත කරන්නේ එහිදීය. පසුදින ද එහිම ගත කිරීමෙන් අනතුරුව එදින දාහතරේ දැරිය පහළොවේ මිතුරිය සමඟ නිවසට යාම සඳහා බසයකට ගොඩවීමට කැස්බෑව බස් නැවතුමේ සිටියදී කැස්බෑව ප්‍රදේශයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටි කැස්බෑව පොලිස් ස්ථානාධිපති රංජන සමරසිංහට කිසියම් පුද්ගලකු ඒ පිළිබඳව දැනුම් දී තිබිණි.
ළමයින් දෙදෙනා සිටි ස්ථානයට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔවුන් දෙදෙනාගෙන් විස්තර විමසා පොලිසියට කැඳවාගෙන විත් ප්‍රශ්න කරද්දී සියලු තොරතුරු හෙළි විය.
මේ දැරියන් දෙදෙනාට අතවර කළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කැරිණි. ඔවුන් දෙදෙනා කොටුකර ගැනීමට හැකිවන්නේ එම විමර්ශනවලදීය.
දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ පිණිස රෝහල්ගත කැරුණු අතර එහිදී හෙළිවන්නේ 14 හැවිරිදි දැරිය 21 හැවිරිදි පෙම්වතා අතින් අතවරයට ලක්ව ඇති බවයි.
ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එල්. වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර