පසුගිය සති හතරක පමණ කාලය තුළදී මෙරට ප්‍රදේශ කීපයක එක දිගට සිදුවූ 16 වැනි වෙඩි තැබීම ඉකුත් දෙසැම්බර් 28 දා වාර්තා විය. එකම පවුලේ තිදෙනෙකු ඉලක්ක කරගනිමින් සිදුවූ එම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයකු මියයද්දී දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය. ත්‍රාසජනක චිත්‍රපට දර්ශනයක් බඳු වූ එම වෙඩි තැබීමේ සිද්ධියට පාදක වූ කරුණු කාරණා පොලිසිය හෙළි කරගන්නේ මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදීය.
බස්රථ ප්‍රවාහන ව්‍යාපාරයක නිරත පුද්ගලයකු පදිංචිව සිටින සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සෙනසුරාදා පස්වරු 5.35ට පමණ කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණ කරගෙන පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු තැබූ වෙඩි පහරවලින් එක් අයෙකු මියගියේය. තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව සහ කොළඹ ජාතික රෝහල් වෙත ඇතුළත් කරන ලදි. මේ වෙඩි තැබීමේ සිද්ධියෙන් ප්‍රදේශවාසීහු තවමත් කම්පාවට පත්ව සිටිති.
එම වෙඩි තැබීම ටී56 තුවක්කු දෙකකින් සිදුකර ඇති බව සීදුව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි විය. එම වෙඩි ප්‍රහාරයෙන් 53 හැවිරිදි ව්‍යාපාරිකයකු වන ටෙරන්ස් ප්‍රසන්න ප්‍රනාන්දු ජීවිතක්ෂයට පත් විය. බරපතළ තුවාල ලැබුවේ ඔහුගේ පියා වන 74 හැවිරිදි නොයෙල් ප්‍රනාන්දු සහ ඔහුගේ තවත් පුත්‍රයෙක් වන 45 හැවිරිදි සම්පත් වසන්ත ප්‍රනාන්දුය. එම දෙදෙනා මේ වන විටත් මීගමුව සහ කොළඹ ජාතික රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටිති.
මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණීමට භාවිත කළා යැයි සැක කෙරෙන 65-2758 දරන ටොයෝටා කොරෝනා වර්ගයේ මෝටර් රථය හදිසි ගිනි ගැනීමකට ලක් වීමෙන් අනතුරුව කටුනායක, කෝවින්න ආදාහනාගාරය අසල අත්හැර දමා තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්වත් කිරීම මත පොලිසිය විසින් සොයා ගැනිණි. එම කාරයට වෙඩික්කරුවන් විසින් ගිනි තබා පලා ගොස් තිබූ අතර පසුව එම ස්ථානයට පැමිණි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගිනි නිවීම් ඒකකයේ රථයක් මඟින් එම ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණි.
ත්‍රාසජනක චිත්‍රපට දර්ශනයක් බඳු එම වෙඩි තැබීම මෑතකදී සිදුවූ කැරොකේ වසන්ත ඝාතනය හා සමාන වන්නේ ටී56 ගිනිඅවි දෙකක්ම භාවිත කරමින් සිදුවූ වෙඩි ප්‍රහාරයක් නිසාය. එසේම කැරෝකේ වසන්ත ඝාතනයට ද පැමිණ තිබූ මෝටර් රථයෙන් වෙඩික්කරුවන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබූ බව පොලිසිය සිදුකළ විමර්ශනයෙන් අනාවරණය විය. මෙකී වෙඩි ප්‍රහාරයට ද එලෙස මේ වෙඩික්කරුවන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බව සැල වේ.
වෙඩි ප්‍රහාරය සැලවීමත් සමඟ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත විමර්ශන සඳහා සීදුව පොලිසියට අමතරව අවට පොලිස් ස්ථානවල නිලධාරින් ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය ද පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරමින් සිටී.
එහිදී විමර්ශන නිලධාරින්ට අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරය සඳහා කාන්තාවකට සමාන හැඩරුව ඇති පුද්ගලයකු ද පැමිණ ඇති බවයි. ඒ අනුව යම් හෙයකින් එම වෙඩි ප්‍රහාරයට කාන්තාවක පැමිණ ඇති බව තහවුරු වුවහොත් එය මෙරට ඉතිහාසය තුළ එවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් සඳහා කාන්තාවක් ද එක්වූ මුල්ම අවස්ථාව එය විය හැකි බව විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය ටෙරන්ස් ප්‍රසන්න ප්‍රනාන්දු මුදල් පොලියට දෙන ව්‍යාපාරයක් ද කරගෙන ගිය අයෙකි. මුදල් ආරවුලක් මේ ඝාතනයට හේතු වූවා ද යන්න සැකයක් ද විමර්ශන සිදු කරන නිලධාරින්ට ඇතිවී තිබේ.
වෙඩි වැදුණු ටෙරන්ස් ප්‍රසන්න සහ ඔහුගේ සහෝදරයා සම්පත් වසන්ත නිෙවසට ආසන්න ඔවුනගේ වාහන අංගණයේ ඉදිරිපිට වාහනයකට ඉන්ධන පුරවමින් සිටියදී එක්වරම කාරයෙන් පැමිණි ටී56 තුවක්කු අතැති දෙදෙනා කිසිවකුට කිසිවක් සිතා ගැනීමටවත් තරම් කාලයක් ඉතිරි නොකරමින් පිට පිට වෙඩි තබා තිබිණි. වෙඩික්කරුවන් දෙදෙනා අනතුරුව මීටර් 50ක් පමණ දුරකින් පිහිටි නොයෙල් ප්‍රනාන්දුගේ නිවෙසට ද ගොස් නිවෙසේ සාලයේ පුටුවක නිදා සිටි 74 හැවිරිදි නොයෙල් ප්‍රනාන්දුට ද වෙඩි තබා තිබිණි.
‘චිකාගෝ‘ පන්නයේ එම වෙඩි ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයටම නැඟි පලා ගොස් තිබිණි. වෙඩි වැදුණු නොයෙල් ප්‍රනාන්දු බස්රථ කීපයකම හිමිකරුවෙකි. එම නිසා ඔහුගේ නිෙවස ගම්වාසීන් අතර ප්‍රකටව ඇත්තේ ‘බස් ගෙදර‘ යනුවෙනි. වර්තමානයේ එම බස් ව්‍යාපාරය මෙහෙයවමින් සිට ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලත් 45 හැවිරිදි වසන්තය. ඔහු ඉකුත් 24 වැනිදා ජපානයේ සිට මෙරටට පැමිණ සිටියේය. ප්‍රසන්න ප්‍රනාන්දු පොලියට මුදල් දීමේ ව්‍යාපාරයට අමතරව තව තවත් ව්‍යාපාරවල නිරත වූ අයෙකි.
වාර්තා වන ආකාරයට එම පවුලේ උදවිය නොයෙක් ව්‍යාපාරවල නිරත වුවද ඔවුහු කිසිම ආකාරයක නීතිවිරෝධි ව්‍යාපාරවල නිරත නොවන්නන් බව ද සැල වේ.
කෙසේ හෝ වෙඩි ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කරන නිලධාරින්ගේ නිරීක්ෂණයට බඳුන් වී ඇත්තේ වෙඩික්කරුවන් ටී56 වැනි තුවක්කු භාවිතයට මනා පළපුරුද්දක් ඇති පුද්ගලයන් බවය. ඒ අනුව පළපුරුදු වෙඩික්කරුවන් යොදා කිසියම් කෙනෙක් හෝ කණ්ඩායමක් විසින් පාතාල කණ්ඩායමකට කොන්ත්‍රාත්තුවක් දී මෙකී වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කෙරේ.
මෙතෙක් වෙඩික්කරුවන් පිළිබඳව කිසිම තොරතුරක් අනාවරණය නොවුවද සීදුව පොලිසිය සහ විමර්ශන සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායම් විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල වූ නිෙවස අවට සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කරමින් අවට දුරකතන කුලුනු වාර්තා විශ්ලේෂණය කරමින් විමර්ශන සිදු කරමින් සිටී.
ඝාතකයන් සාක්ෂි වසන් කිරීමට කාරයට ගිනි තැබුවද අවට පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ ගිනි ගනිමින් තිබූ එම කාරය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගිනි නිවීම් ඒකක නිලධාරින් ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීම හේතුවෙන් කාරය මුළුමනින්ම විනාශ නොවීම විමර්ශනවලට කිසියම් අස්වැසිල්ලක් වී ඇත්තේ කාරය ඔස්සේ ද විමර්ශන සිදුකළ හැකි හෙයිනි. ඒ, එම කාරය ධාවනය වන අයුරු අවට සීසීටීවී කැමරාවලට ද හසුවී ඇති නිසාය. එසේම ආර්එම්වී පරීක්ෂාවෙන් ද තොරතුරු විමර්ශනය කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක මද්දුම බණ්ඩාරගේ මෙහෙයවීමෙන් සීදුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජී. කුමාර ඇතුළු කණ්ඩායමක් මෙන්ම අවට පොලිස් ස්ථාන වන කටුනායක, රද්දොළුගම, කටාන, කොටදෙණියාව පොලිස් ස්ථානවල නිලධාරීන් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු ද මේ වන විට මේ ගැන විමර්ශනවල නිරතව සිටිති.
අමිල මලවිසූරිය
ඡායාරූප – කටුනායක ටී.කේ.ජී. කපිල