Home » මන්නා පෙන්නා මාල කැඩූ දෙන්නා

මන්නා පෙන්නා මාල කැඩූ දෙන්නා

by sachintha
January 4, 2025 12:30 am 0 comment

අපරාධකාරයාට තැනක් නොතැනක් නැත. ඔහුගේ අරමුණම අපරාධ සිදු කිරීමයි. ඒ සඳහා සැලසුම් සිතියම් සකස් කිරීමයි. පුද්ගලයා කවරෙක්දැයි අපරාධකාරයට අදාළ ම නැත. මේ අපරාධකරුවන් අතරින් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ වෙති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අපරාධකාරයාගේ චර්යාව මුළුමනින්ම වෙනස් එකකි.

මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් හදල් සොයා ගැනීම මතට ඇබ්බැහි වූ අපරාධකාරයාගේ ප්‍රධාන කාර්යයි. ඒ සඳහා ඔහු ගමන් කරන්නේ බොහෝ විට තනිවමය. එහෙමත් නැත්නම් සගයකු සමඟය. ඒ සගයා ද බොහෝ විට මත්ලෝලියෙකි.

එදිනෙදා අවශ්‍ය මත්ද්‍රව්‍ය මිලදී ගැනීම මත්ලෝලි අපරාධකාරයාගේ ප්‍රධාන අවශ්‍යතාවයි. ඒ සඳහා මේ අපරාධකරුවන් වැඩිපුරම භාවිතයට ගන්නේ දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී මුදල් රන් ආභරණ සොරකම් කිරීම සහ මහමඟ යන එන ඇතැම් කතුන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමයි.

මේ අතරිනුත් මත්ලෝලී අපරාධකරුවන් වැඩිපුරම භාවිතයට ගන්නේ මඟතොට යන එන කතුන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමයි. බොහෝ අවස්ථාවල මේ අපරාධකරුවන් ඒ සඳහා යොදා ගන්නේ හුදෙකලා ස්ථානය. වැඩිපුරම එම අපරාධ සඳහා යොදා ගන්නේ සොරකම් කරන ලද මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථයි.

මෙලෙස සොරකම් කරන ලද මෝටර් බයිසිකල්වලින් ගොස් රන්මාල කොල්ලකන මත්ලෝලී අපරාධකාරයෝ බොහෝ අවස්ථාවලදී එම මෝටර් බයිසිකල් මහමඟ දමා යන අතර ඇතැම් අවස්ථාවල කැබලිකර විකුණා දමයි. ටික කාලයක් කිසියම් ස්ථානයක රඳවාගෙන නැවත අපරාධ සඳහා යොදා ගන්නා අපරාධකාරයන් ද සිටිති.

මෙසේ සොරකම් කරන ලද මෝටර් බයිසිකල්වලින් ගමන් කරමින් මහමඟ යන එන කතුන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා පලා යන කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මොරගහහේන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය.

අඩි තුනක් පමණ දිග මන්නා පිහියක් අත දරාගෙන මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් මහමඟ යනෙන කතුන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකන දෙදෙනෙකු ගැන මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මධුෂංක යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් ද ඇස ගසාගෙන සිටියේ ටික දවසක සිටය.

මොරගහහේන පොලිස් නිලධරයෝ මේ අපරාධකාරයන් දෙදෙනා ගැන සෙවිල්ලෙන් සිටියදී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නට තොරතුරක් ලැබිණි. ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය සහිතව සිටින පුද්ගලයකු පිළිබඳවය.

ක්ෂණයකින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නේ ටික වේලාවක් ඇතුළතදීය. එම සැකකරු සන්තකයේ තිබුණ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,200ක් සොයා ගැනීමට ද පොලිස් නිලධරයන්ට හැකි විය.

එලෙස අල්ලා ගත් පුද්ගලයා ගැන තවදුරටත් සැක පහළ කළ පොලිස් නිලධරයෝ ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ එම පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ එක්ව සිදුකළ රන්මාල කොල්ලකෑම් රැසක තොරතුරුය. පොලිස් වසම් 10ක පමණ මේ දෙදෙනා එක්ව සිදුකරන ලද රන්මාල කොල්ලකෑම් ගණනාවක තොරතුරු හෙළි වන්නේ ඒ අනුවය.

කුඩාඋඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී සෙසු පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළිකර ගත් මොරගහහේන පොලිස් නිලධරයෝ ඔහු කළුතරදී අල්ලා ගන්නේ අලුත්ම මෝටර් බයිසිකලයක් සමඟය. එම මෝටර් බයිසිකලය ඔහු සොරකම් කර තිබුණේ ඉකුත් දිනකය. ඒ කළුතර ප්‍රදේශයේදීය. එම පුද්ගලයා සන්තකයේ තිබුණ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,300ක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකිවිය. සැකකරුවන් දෙදෙනා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිකර ගත් පොලිසිය ඔවුන්ගේ නිවාස පරික්ෂා කරද්දී තවත් මෝටර් බයිසිකල් දෙකක් සොයා ගැනිණි. එම මෝටර් බයිසිකල් ද සොරකම් කර තිබූ ඒවා බව හෙළි විය.

අඩි තුනක් පමණ දිගැති මන්නා පිහියකින් සන්නද්ධ වූ මේ සැකකරුවන් දෙදෙනා සොරකම් කරන ලද මෝටර් බයිසිකල්වලින් ගමන් කරමින් මොරගහහේන, හොරණ, කළුතර උතුර, කළුතර දකුණ, පාණදුර, වාද්දුව, ඉංගිරිය, බණ්ඩාරගම, මොරටුව, හිරණ පොලිස් වසම්වල ඉකුත් මාස 6ක කාලයක් ඇතුළතදී කොල්ලකෑම් ගණනාවක් සිදුකර තිබුණි.

මේ දෙදෙනා සොරකම් කර තිබියදී සොයා ගන්නා ලද සෙසු මෝටර් බයිසිකල් දෙක හොරණ, පොකුණවිට සහ බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකුට අයත් ඒවා බව හෙළි වී ඇත. සැකකරුවන් විසින් කොල්ලකා තිබුණ රන්මාල සොයා ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුනට මත්ද්‍රව්‍ය ලැබුණ ආකාරය හෙළිකර ගැනීම සඳහා ද පරීක්ෂණයක් පැවැත්වෙයි.

මේ සැකකරුවන් දෙදෙනා 22 සහ 36 වයස්වල පසුවන අය වෙති.

කළුතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි උදය කුමාරගේ අධීක්ෂණයෙන් මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මධුෂංක, සැරයන්වරුන් වන (12428) කේ.ජේ. සම්පත්, (60377) ඉන්ද්‍රජිත්, (46226) සමන්, කොට්ඨාස බුද්ධි අංශ නිලධාරි (91214) වන්නිනායක, (31292) ජීවන්ත, (102465) මධූෂ, (32120) කුමාර යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division